මිනී පෙට්ටි මුදලාලි

1036

මනුෂ්‍යයාගේ ජීවිතයට සහ මරණයට කෙළින්ම සම්බන්ධ කිහිපදෙනෙක් සිටිති. මිනී පෙට්ටිකාරයාට කෙනකුගේ මරණය සමග ඍජු ගනුදෙනුවක් තිබේ. දොස්තරට කෙනකුගේ ජීවිතය සම්බන්ධයෙන් ඍජු ගනුදෙනුවක් තිබේ. ඒ ගනුදෙනුව තුළ තවත් කොටස්කාරයෝ කිහිපදෙනෙක් වෙති. ඉන් එක් කෙනෙක් නර්ස්ය. අනෙක් එක්කෙනා සාත්තු සේවකයාය. රසායනාගාර සේවකයා තව එකෙකි. රෝහලක සේවය කරන ඉතාම සුළු සේවකයාටද කෙනකුගේ ජීවිතය සම්බන්ධයෙන් කිසියම් වගකීමක් තිබේ. සෞඛ්‍ය සේවයට සම්බන්ධ වෘත්තීය සමිති 18 ක් මේ වන විට වැඩ වර්ජනයකට එක්ව සිටිති. පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රවීණ දේශක දාර්ශනික මතධාරී ජනක තිස්සකුට්ටිආරච්චි කියන පරිදි වැඩ වර්ජනයකින් පීඩාවට පත්වන සාමාන්‍ය ජනතාව වැඩ වර්ජකයන්ට පොලුවලින් පහර දිය යුතුය. සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රෝහිණි කවිරත්නට කුණුහරුප කීම නිසා ජනක තිස්සකුට්ටිආරච්චි පසුගියදා පොහොට්ටුවේ ඡුන්ද බේස් එකෙන් සෑහෙන කොටසක් කාබාසිනියා කළේය. එහෙත් ජනතාවට හිංසාවක් වන පරිදි සාමුහික ක‍්‍රියාමාර්ග ගන්නා ඕනෑම කෙනකුට පොලුවලින් පහර දුන්නාට කමක් නැතැයි යන හැඟීමක් ඉස්සර සිටම අප තුළ තිබුණි. දැනට වර්ජනයේ නියුතුව සිටින වෘත්තීය සමිති 18 ට පොලු පහර දියයුතු බව අපි නිකමටවත් යෝජනා නොකරමු. එසේම මේ වැඩ වර්ජකයන්ට පොලු වලින් පහර දියයුතු බව ජනතාව තීරණය කළොත් අපි එයටද විරුද්ධ නොවෙමු. එවැනි අවස්ථාවකදී ජනතාව පෙරළා අපට පොලුවලින් ගසනු ඇති. පොදු ජනතාව තුළින් මතුවන සාමුහික තීරණවලට විරුද්ධ වීම මාරාන්තික අවදානමකි. සාමාන්‍ය මිනිස්සු අසාධාරණයකට එරෙහිව නැගී සිටින්නේ බැරිම තැනකදීය. මිනිස්සු පොලිසිවලට බියය. එයට හේතුව පොලිසිය මිනිසුන්ගෙන් පලිගැනීම සඳහා තමන්ට හිතෙන ඕනෑම දෙයක් කිරීමය. තරුණයකු අත්අඩංගුවට ගෙන කුඩු පැකට්ටුවක් සමග උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ් කරවී යැයි කියන දකුණු පළාතේ පොලිසියක් වැටලු ගැමියන් පිරිසක් ඉතා ප‍්‍රචණ්ඩ ලෙස හැසිරෙන ආකාරය පසුගිය දිනක රූපවාහිනිය මගින් දැක ගැනීමට අපට හැකිවිය. මේ ජනතා විරෝධය ඉදිරියේදී ඒ පොලිසියේ මහත්වරු සියලු දෙනාම භ‍්‍රාන්තව සිටියහ. ඒ වෙලාවේදී පොලිසිය අතක් එසවූයේ නම් ගම පොලිසිය කනවා ඇත. සාමාන්‍යයෙන් සිදුවන්නේ පොලිසිය ගම කෑමය. ඉහත සඳහන් ප‍්‍රචණ්ඩ අවස්ථාවේදී අදාළ පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් අපගේ ප‍්‍රශංසාව හිමිවේ. ගැමියන්ගේ ප‍්‍රචණ්ඩ විරෝධය ගැන අපි මොකවත් නොකියමු. ඒ ගමේ අප හිටියා නම් අප ඉන්නේත් ඒ ප‍්‍රචණ්ඩ පිල සමගය. සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක වර්ජනය නිසා දුප්පත් රෝගීහු අසරණ වූහ. හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස යළි ඉපදිය යුතු බවක් අපේ හිත යටින් හීනියට තැන්පත්ව තිබේ. ඔහු ජනාධිපති ලෙස මේ රට පාලනය කළ කාලය ඉතා කෙටිය. ඒ කාලයේ කිසිදු දිනක කිසිදු වැඩ වර්ජනයක් තිබුණේ නැත.

මේ රට මේ වෙලාවේදී බහුවිධ අර්බුදයකට මැදිවී සිටියි. මේ අර්බුදය හටගෙන ඇත්තේ නිදහසින් පසු පහළ වූ හැම ආණ්ඩුවකම කළමනාකරණ දෝෂ නිසාය. කොවිඩ් පැමිණීමත් සමගම එම දෝෂ දෙගුණ වූ අතර පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා සහ මේ රටේ සිටින ධනපති පවුල් 6000 ක් (මෙයින් 10% ක් ප‍්‍රකෝටිපති පවුල්ය) හැරුණු විට සෙසු සියලුම දෙනා කබලෙන් ළිපට නොව කෙළින්ම ළිපට ඇද වැටුනාහ. දැනට පෙනෙන්නට ඇති පරිදි මේ අර්බුදය ළඟකදී කෙළවර වන්නේ නැත. ඒ නිසා වෘත්තීය සමිති කටෙන් නොව අනෙක් පැත්තෙන් ඉල්ලුවත් පඩි වැඩි කළ නොහැක. ආණ්ඩුව ගුරුවරුන්ගේ සහ විදුහල්පතින්ගේ පඩි වැඩි කළේ මන්දැයි මේ වෙලාවේදී කෙනෙක් විමසනවා ඇති. එය දේශපාලන පැලැස්තරයකි. ඒ පැලැස්තරය යටින් ඇති තුවාලය පැසවීම නැවතී නැත. ආණ්ඩුව පඩි වැඩි කළ නමුදු ඒ වැඬේ හරියට කෙරී නැති බව ගුරු සංගම් නායක ජෝෂෆ් ස්ටාලින් සහෝදරයා (රුසියාවේ නොවේ) නිතර මැසිවිලි නගයි. එහෙත් තවත් කාලයකට ඔහු ශේප් කරගත හැකිය. නැවත වරක් බස් ගාස්තු වැඩිවන විට, ලයිට් බිල් නගින විට, පෙට‍්‍රල් ඩීසල් මිල ඉහළ යනවිට පැලැස්තරය යටින් තිබෙන තුවාලය පැසවීමේ උපරිම ස්ථානයට පැමිණ අධික වේදනාවක් හටගනී. එවිට ඒ මිනිස්සු නැවතත් පාරට බසිනවා ඇත. ආණ්ඩුව මේ වෙලාවේදී රසායනික පොහොර තහනම් කර ජෛව පොහොර වලට යෑමෙන් විනාශකාරී විකට වැඩසටහනක් ඉදිරිපත් කළ බව අපගේ මතය වේ. එමෙන්ම මේ රටේ වැඩකරන ජනතාව වැඩි පඩි ඉල්ලා මේ වෙලාවේදී පාරට බැසීම අංක එකේ සහ අං දෙකේ මී හරක් වැඩකි. (තනි අෙඟ් මී හරකුන් පහළ වන බවක් මින් නොහැඟේ) සෞඛ්‍ය සේවකයන් වර්ජනය කරන්නේ වැඩි පඩි ඉල්ලාය. රාජ්‍ය සේවයේ සියලු වැටුප් මට්ටම් එකිනෙක බැඳුනු ජාලයකි. එක තැනකින් පඩි වැඩිකරන විට තව තැනක වැටුප් විෂමතා හටගනී. එවිට එතැන පඩි වැඩි නොකොළොත් ඒ මිනිස්සු පාරට බසිති. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමෙන් ආණ්ඩුව ප‍්‍රායෝගික දෙයක් කළේද යන්න සැක සහිතය. එක අතකට ජෝශෆ් ස්ටාලින් මාරයකු මෙන් විදගෙන ඉදිරියට ආ හැටියට පඩි වැඩි නොකරත් බැරිය. මේ පුවත්පත පොදු ජනතාවගේ සටන් සමග ඒකාබද්දව සිටී. ජනතාවට වෘත්තීය අයිතිවාසිකම් ලබා නොදෙන පාලකයන්ට මේ පුවත්පත හැමදාමත් විරුද්ධය. ඒ සමගම ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කරන වෘත්තීය සටන්වලට මේ පුවත්පත විරුද්ධය. මිනී පෙට්ටි මුදලාලි හොඳ මිනිහෙකි. ඔහුත් ජනතාවට කිසියම් සේවයක් කරයි. එහෙත් සෞඛ්‍ය සේවකයන් මිනී පෙට්ටි විකිණීමට යෑම සුදුසු නැත. ඔවුන් හාරන්නේ ජනතාවගේ මිනී වළය. ජනතාව ප‍්‍රකෝප වුණොත් ඒ මිනී වළට සෞඛ්‍ය සේවකයන් ඇද දැමෙනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment