මිනුවන්ගොඩින් පැහැරගත් දරුවා අම්මා සමග රට ගිහින්ද… උසාවිය වාර්තාවක් ඉල්ලයි

403

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත, ගැමුණු මාවත ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට සිටිය දී පෙරේදා (27 දා) සවස වෑන් රථයකින් පැහැරගෙන ගිය අවුරුදු හතරක් වයසැති පිරිමි දරුවා සහ එම දරුවාගේ මව විදේශගත වී ඇද්ද යන්න පරීක්ෂා කර බලා අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය ආගමන හා විගමන පාලකට ඊයේ (28) නියම කළාය.

දරුවාගේ සහ එම දරුවාගේ මවගේ තොරතුරු ඉදිරිපත් කරමින් මිනුවන්ගොඩ පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය ආගමන හා විගමන පාලකට එසේ නියම කළාය.

ජයසිංහ ආරච්චිගේ කෙවින් චියෝ නමැති අවුරුදු 04ක් වයසැති පිරිමි ළදරුවා බාප්පා සමග නිවස ඉදිරියේ සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ වෑන් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.

මෙම පිරිමි දරුවාගේ මව සහ පියා ජපන් රටේ සේවය කර ඇති බව පොලිසිය කීය. දරුවා ඉපදී ඇත්තේ ද ජපන් රටේ දීය. මව සහ පියා අතර ජපන් රටේදී ඇතිවූ විරසකයක් හේතුවෙන් මව දරුවා රැගෙන ලංකාවට පැමිණ තිබේ.

දරුවාගේ පියා දැනටත් ජපන් රටේ සේවය කරන බව පොලිසිය කියයි. දරුවා පියාගේ මවගේ (මිත්තණිය) භාරයේ බොරගොඩවත්ත, ගැමුණු මාවතේ පිහිටි නිවසේ පදිංචිව සිට ඇත. දරුවාගේ මව ඩුබායි හි රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබූ බවට මිත්තණිය පොලිසියට ප්‍රකාශ කර ඇති බවත් මව ලංකාවට පැමිණ කිසියම් පුද්ගලයකු යොදවා දරුවාව පැහැරගෙන ඩුබායි රටට රැගෙන ගිය බවට පොලිසිය සැක පහළ කරන බවත් පොලිසිය කීය. දරුවා පැහැරගෙන ගිය වෑන් රථයේ අංකය ව්‍යාජ අංකයක් බව ද පොලිසිය අධිකරණය හමුවේ කීය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර, මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. ප. අතුල ගමගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො. ප. නිමල් කරුණාරත්න, උප. පො. ප. ජයවර්ධන සහ එම්. කේ. රමනි යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment