මියගියේ අධ්‍යාපනය සඳහා  රට ගිය ශ්‍රී ලාංකිකයෙක්

704

දකුණු කොරියාවේ උත්සවයකදී සිදුවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මියගිය ශ්‍රී ලාංකිකයා අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූවකු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඉටාවොන් නගරයේ පැවති හැලොවින් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය අය අතර එක් ශ්‍රී ලාංකිකයකු සිටින බවත් එම පුද්ගලයා රැකියාවක් සඳහා විදේශගත වූ අයකු නොවන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බවත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශය ඒ මොහොතේම දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සම්බන්ධවී මේ පිළිබඳ සොයා බලන ලදී. තානාපති කාර්යාලයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව මියගිය පුද්ගලයා සරණාගත වීසා මත එරට රැඳී සිටි අයෙකි. මියගිය සහ තුවාල ලැබූවන් අතර ඉහත සඳහන් පුද්ගලයා හැර වෙනත් කිසිදු ශ්‍රී ලාංකිකයකු සිටින බවට මේ දක්වා තොරතුරු වාර්තා නොවන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment