මියගිය අයිසිස් නායකයා අල්ලා ගැනීමට මාස ගණනක් සැලසුම් කළා – ඇමරිකානු ජනාධිපති

628

අයිසිස් (ඉස්ලාමික් ස්ටේට්) සංවිධානයේ නායක අබු ඉබ‍්‍රහිම් අල් හෂිම් අල් කුරේෂි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන මියයාමට තුඩු දුන් මෙහෙයුම මාස ගණනක් මුළුල්ලේ සැලසුම් කරන ලද්දක් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

අයිසිස් නායකයාගේ මරණය ලොවටම බලපෑ ප‍්‍රධාන පෙළේ ත‍්‍රස්තවාදී තර්ජනයක් ඉවත් කිරීමක් බව පවසා ඇති ඇමරිකානු ජනාධිපතිවරයා සිරියාවේ අල් කුරේෂි සැඟවී සිටි ස්ථානය ඇමරිකානු විශේෂ හමුදාවන් විසින් වට කළ අවස්ථාවේ හුවමාරු වූ වෙඩි ප‍්‍රහාරවලින් අයිසිස් සංවිධානයේ නියෝජ්‍ය නායකයෙකුද මරණයට පත් වූ බව අයිසිස් නායකයා සොයා සිදු කළ මෙහෙයුම පිළිබඳව අනාවරණය කරමින් පවසා තිබේ .කෙසේ වුවද මෙහෙයුමේ මරා දැමු අයිසිස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා පිළිබඳව ඇමරිකානු නිලධාරීන් විසින් මෙතෙක් විස්තර අනාවරණය කර නොමැත. උතුරු සිරියාවේ තුර්කි දේශසීමාවට ආසන්නයේ පිහිටි ‘ඉඞ්ලිබ්’ පළාතේ ‘අට්මේ’ නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ සැඟව සිට ඇති අයිසිස් නායකයා ඇමරිකානු හමුදාවන් විසින් එම

ගොඩනැගිල්ල වටකළ අවස්ථාවේ සිදු වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව සිය පවුලේ සාමාජිකයන්ද සමගින් බෝම්බයක් පුපුරවාගෙන මියගොස් තිබේ.

මෙම මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ සිටි අල් කුරේෂි ඔහුගේ බිරියන් දෙදෙනා හා ළමයෙකුද මියගොස් ඇති බව වාර්තා වී ඇති අතර ඇමරිකානු හමුදාවල වෙඩි පහරින් තවත් මහලක සිටි අල් කුරේෂිගේ භතිනන්වරයා හා ඔහුගේ බිරිය මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම මෙහෙයුමේ ඇමරිකානු හෙලිකොප්ටර් යානා මගින් එල්ල කරන ලද ප‍්‍රහාරයකින් අයිසිස් තුවක්කුකරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. අල් කුරේෂි සැඟව සිටි ගොඩනැගිල්ලේ පළමු මහලෙහි සිටි පවුලක් ඔහු විසින් සිය ආරක්ෂක පලිහ ලෙස භාවිත කර තිබීම නිසා කිසිදු සිවිල් වැසියෙකුට හානියක් සිදු නොවන අයුරින් සිය මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමට ඇමරිකානු හමුදාව විසින් පියවර ගත් බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසා තිබේ. අල් කුරේෂි විසින් පුපුරවා ගත් මරාගෙන මැරෙන බෝම්බය හේතුවෙන් ඔහුගේ හා පවුලේ සාමජිකයන්ගේ සිරුරු ඔවුන් සිටි ගොඩනැගිල්ලෙන් පිටතට විසි වී ඇති බව වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment