මියගිය ගවයකු වළ දැමූ පසු  යළි ගොඩගෙන මස් කර  විකුණන්න හැදූ දෙදෙනා අත්අඩංගුවට

80

මියයාමෙන් පසුව වළ දමා තිබූ  ගවයකුගේ මළ සිරුර ගොඩගෙන එය මස්කර අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු මස් තොගයද සමග අල්ලා පොලීසියට බාරදීමට ගවයාගේ අයිතිකරුවන් ඇතුළු පිරිසක් කටයුතු කළ බව කන්දකැටිය පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ මීගහකිවුල මොරහෙල ගම්මානයේ පුද්ගලයින් දෙදෙනෙකි.

මීගහකිවුල මොරහෙල ගම්මානයේ පුද්ගලයෙකු ආදරයෙන් රැක බලා ගත් ගව පට්ටියේ තරුණ ගවයෙකු කිසියම් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 09 දා හදිසියේම මියගොස් සිටිනු දුටු ගව හිමියා වළක් කපා මළ සිරුර වළ දමා ඇත්තේ ප්‍රදේශවාසීන්ගේද සහාය ලබාගෙනය.

ගවයා වළ දමනු බලා සිටි ප්‍රදේශයේම තවත් පිරිසක් රාත්‍රී කාලයේ දී ගවයා වළදැමූ ස්ථානය හාරා සිරුර ගොඩ ගෙන ගවයාගේ සිරුර මස් කොට මස් තොගය බෑග්වල දමා යාබද නගරය වෙත රැගෙන ගොස් ඇත්තේ ඉන් පසුවය.

එහෙත් සිද්ධිය කන වැකුණු ගව හිමියා මස් වැද්දන් පිරිස හඹා ගොස් එම මස්වැද්දන් සමග මස් තොගයද අල්ලා ගෙන ඇති අතර පසුව මස් තොගය හා සැකකරුවන් දෙදෙනා පොලීසිය වෙත බාර දී ඇත.

කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතාගේ උපදෙස් මත අත් අඩංගුවට ගත් එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් දෙදෙනා බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතාගේ උපදෙස් මත වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

කන්දකැටිය ජී. චතුරංග
 

advertistmentadvertistment
advertistmentadvertistment