මියගිය බිරිය සොයා සිහිවිකල්ලෙන් ඇවිද්ද සැමියාත් මිය පරලොව ගිහින්

119

මළසිරුර දින හයකට පසු හමුවෙයි

මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ මළසිරුර එප්පාවල පොලිස් වසමේ යෝධ ඇළගම ගම්මානයේ පෞද්ගලික ඉඩමක කපා තිබූ බොරලු වළක තිබී ඉකුත් 06 දා එප්පාවල පොලිසිය සොයාගෙන ඇත.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ එප්පාවල, යෝධ ඇළගම පදිංචිව සිටි මූනා අලගල් (79) නමැති එක්දරු පියෙකි. මෙම පුද්ගලයා පසුගිය 01 දා සිට ආගිය අතක් නොමැති බවට ඔහුගේ පුතු විසින් එප්පාවල පොලිසියට පසුගිය 03 දා පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඔහු සම්බන්ධයෙන් සොයා බැලුවද පසුගිය දින කීපය පුරාවට කිසිදු තොරතුරක් නෙමැතිව සිටියදී ඉකුත් 06 දා පොස්පේට් රක්‍ෂිතයට දර කැඩීමට යමින් සිටි පුද්ගලයකුට දුඟදක් ආඝ්‍රාහණය වීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලීමේදී පෞද්ගලික ඉඩමක මායිමේ පිහිටි මීට වසර කීපයකට පෙර කැපූ බොරලු වළක් තුළ මෙම පුද්ගලයාගේ මළසිරුර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය දැනුම්වත් කර ඇත. “මියගිය පුද්ගලයාගේ ඇස් පේන්නේ නෑ.

කන් ඇහෙන්නෙත් නෑ. මාස 11 කට පමණ පෙර මියගිය පුද්ගලයාගේ බිරිඳ ද මියගියා. එතැන් පටන් ඔහු යම්කිසි කම්පන තත්ත්වයකින් පසුවන අතර නිරතුරුවම සිය මියගිය බිරිය සොයනවා. මෙලෙස තැන තැන යමින් සිටියදී බොරළු වළට වැටෙන්නට ඇතැයි සැක කරන බවද, වළ තුළට වැටී ගොඩ එන්නට නොහැකි වී මියයන්නට ඇතැයි සැක කරන බවත් ප්‍රදේශවාසීහු පවසති. තඹුත්තේගම මහෙස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දේහය අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ගෙන එන ලෙස පොලිසියට නියෝග කළේය. සිද්ධිය පිළිබඳ එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment