මියන්මාර දේශපාලන පක්ෂ 40ක් විසුරුවීමට එරට හමුදා පාලනය ගත් තීරණයට ඇමෙරිකානු විරෝධය

70

මියන්මාරයේ හමුදාව පාලනය විසින් එරට දේශපාලන පක්ෂ 40 ක් විසුරුවා හැරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා දැඩි විරෝධය පළ කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත. මෙම විසුරුවා හැරීමට නියමිත දේශපාලන පක්ෂ අතර අවුන්සාන් සුකී මහත්මියගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ජාතික සන්ධානය ද ඇතුලත්ය. මෙම තීරණය සමග මියන්මාරයේ ඉදිරියේ දී පවත්වන කිසිදු මැතිවරණයකදී එරට ජනතාව නියෝජනයක් සිදු වන්නේ නැතැයි ද රාජ්‍ය ලේකම්වරයාගේ ට්විටර් පණිවුඩයේ සදහන් කර තිබේ. මියන්මාරයේ හමුදා පාලනය විසින් ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචිය සම්බන්ධව නිකුත් කර ඇති මැතිවරණ නීති අනුව හිටපු අගමැති අවුන්සාන් සුකී මහත්මියගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 40කට වැඩි ප්‍රමාණයකට අදාල අවසන් දිනයට පෙර ලියාපදිංචි විය නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. මෙම තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකානු ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජ්‍ය ප්‍රකාශක වේදාන්ට් පටෙල් මහතා ද දැඩි විරෝධය පළ කර තිබේ. මෙමගින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් මැතිවරණයක් බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු පවසයි. එබැවින් මියන්මාරයේ හමුදා පාලනය විසින් නිකුත් කර ඇති නව මැතිවරණ නීති අනුව මැතිවරණයක් පවත්වන්නේ නම් ඊට විපක්ෂයේ සියලුම පකිෂ සහ ජනතාව විරෝධය පළ කළ යුතු බව ද සදහන් කරයි. ඒ සදහා තම සහාය ද ලබා දෙන බව පවසයි. මියන්මාරයේ 2020 වසරේ දී පැවැති මහ මැතිවරණයෙන් ජය ගෙන බලයට පත් අවුන් සාන් සුකී මහත්මියගේ අගමැති ධුරයෙන් යුත් රජය මාස තුනකටත් අඩු කාලයකදී මියන්මාර් හමුදාව විසින් අල්ලා ගනු ලැබීය. එසේම දේශපාලන විෂමචාර චෝදනා මත ඇයට වසර 33ක සිර දඬුවමක් ද නියම කිරීමට හමුදා පාලනය ක්‍රියා කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment