මියැදුණු දේශයක් යළි පණගන්වන  තුන් ඈඳුතු සංඝාඥාව

2083

රටේ පවතින තත්ත්වය අනුව වසර 75ක් පුරා දේශපාලනඥයන් විසින් අසීමිත ලෙස ණය ලබාගැනීමෙන් හා දූෂණයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ඉතාම ඛේදනීය තත්ත්වයකට මුහුණ දී ඇති බැව අප සැවොම අත්දැකීමෙන් දනිමු. ඒ වගේම භයානක කාරණය නම් මින් ඉදිරියට, අනාගතයේ මෙම තත්ත්වය මීටත් වඩා දරුණු හා භයානක විය හැකිය. ලෝකයේ දරිද්‍රතාව අතිමහත් හා උද්ධමනය අධිකම රාජ්‍යයන් අතර පෙරමුණ ගනිමින් සිටින අප ඉතා විශාල අවදානමක් අභියසට පැමිණ ඇත.

 දේශපාලනඥයින්ගේ අසාර්ථක භාවය නිසා රටේ බුද්ධිමතුන්, උගතුන්, විවිධ වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරීන් හා දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කරන යෝජනාවලිය සඳහා අප වේදිකාවක් තැනිය යුතුය. මන්දයත් මෙම දේශපාලන මඩ ගොහොරුවට පැමිණීමට ඔවුන් අකැමැතිය. කතරගම දෙවියන්ගේ මඟුල් ගෙදරට පත්තිනි දෙවියන් වැඩම කිරීමට ප්‍රථම ගරා යකා ගොස් පුළුටු ආදී දේ අනුභව කරමින් පිරිසිදු කළ පරිදි දේශපාලන පරිසරය හා සමස්ත රට දූෂණයෙන් හා වංචාවෙන් තොරව පිරිසිදු කළ යුතුය. එවිට රටේ මිනිසුන්ගේ විශ්වාසය දේශපාලනය පිළිබඳව ගොඩනැගෙනු ඇත.

 අද වන විට ලංකාවේ, යුරෝපයේ පැවතියාක් මෙන් නව අරගලයක් නිර්මාණය වී ඇත. දැන් අපි පොත්පත්වල කියවා ඇති ආකාරයට ගිලටීන ප්‍රංශ විප්ලවය වගේ ලංකාවේ මම දකිනවා විප්ලවයක් තිබෙන බව. ඒ විප්ලවයේ ඉල්ලීම් වන්නේ දේශපාලන පක්ෂ නොවේ. පසුගිය දිනවල අපිට දකින්නට ලැබුණා මැයි දින රැලියට, එක එක පාටවලින් මිනිස්සුන්ට අන්දලා, වේදිකා ඉස්සරහට ගෙනැල්ලා, අත්පොළසන් දීලා සිංදු කියවනවා, කොඩි උස්සනවා. දැන් මිනිස්සු ඉල්ලන්නේ එක එක පාටවලට අන්දන්න කියලා නෙමෙයි. නිර්පාක්ෂික දේශපාලන අරගලයක්. දැන් ගෝඨාභය, මෛත්‍රීපාල, සජිත්, අනුර කුමාර මේ සේරම ඉවරයි. දැන් රටට අවශ්‍ය ක්‍රමවේදයක්, System එකක්. දේශපාලනය සමස්තය විසින් ප්‍රතික්ෂේප කරන, නිර්පාක්ෂික දේශප්‍රේමී දේශහිතෛෂි ජනබලවේගයක්. ඒක දේශපාලනයක් නොවෙයි. ඒක ජනබලවේගයක්. එයයි අපි ගොඩනැගිය යුත්තෙ. රටේ අවශ්‍යතාවය එයයි.

 ඉතින් අපි ගෝඨාභයට කිව්වේ මේ System එක හදන්න. නමුත් System එක හැදුවේ නැහැ. දැනුත් එතුමාට කාලය තියෙනවා System එක හදන්න. කවුරු කියන එක අහලද System එක හදන්න අවශ්‍ය. ගාලු මුවදොර තරුණයෝ කියනවා System එක. ඒකට අනුවයි හදන්න ඕනී. මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු 9ක් ජනාධිපති වශයෙන් රට පාලනය කරලා අවසානයේ මිනිසුන්ට එපා වුණා. ඊටපස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතා හොඳයි කියලා අපි හැමෝම කිව්වා, මාත් කිව්වා. අවුරුදු 2 යනකොට එපා වුණා. ඊටපස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනාවා. සේරටම වඩා හොඳයි කියලා. අවුරුද්ද යනකොට එපා වුණා. ඊළඟ ජනාධිපති එපා වන්නේ මාස 6 කින්. ඒ නිසා මේ System එක සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි.

 අපි ලෝකේ පුරා සංචාරය කරන කොට අපි දකින ඒ සුන්දරත්ව මේ දූපතේ නැති වුණාම එක්තරා විදියක වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවට අපි හොයන කෙටිම පිළිතුර දේශපාලනය තුළ ඇතැයි අප සිතුවා. අපි එහෙම හිතලා උඩ බිම බලාගෙන හිටියේ නෑ. අපිත් අපිට පුළුවන් ආකාරයේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් කළා. හැමෝම එකතු වුණා ඒ වැඩපිළිවෙළ එක්ක. දේශපාලකයින්ගෙන් ඒ සඳහා උදව් අරගෙන කුරුණෑගල, මැල්සිරිපුර උමංදාව හදලා තියෙනවා. උදව් කළා කියලා දේශපාලකයෝ කරන සෑම දෙයක්ම නිවැරදි කියලා මම සුදු හුණු ගාන්න යන්නේ නැහැ.

 අනික අපි කියන සෑම කාරණාවක්ම දේශපාලකයෝ අහන්නේ නැහැ. කොසොල් රජ්ජුරුවන්ට බුදු හාමුදුරුවෝ බණ කිව්වද? ඒ කියපු බණ රජාට තේරුණාද? රජා සෝවාන් වුණාද? මේ අප විසඳා ගත යුතු ගැටලු. පාලකයෝ එන්නේ අපෙන් බණ අහගන්න නෙවෙයි. ඒගොල්ලොන්ට අපි ළඟ හිටියම බැබළීමක් තියෙනවා. ඒ උදවිය එන්නෙ ඒ බැබළීම ලබාගන්න. පාලකයාට බණ අහන්න වුවමනාවක් නැහැ. හැමදාම දේශපාලකයෝ ජාතිය, ආගම යොදාගන්නේ පාලනයට මිසක් දේශප්‍රේමීන්ට අනුග්‍රහ කරන්න නෙවෙයි. ඒක අපි තේරුම්ගන්න ඕන. අපි ඒක තේරුම් නොගන්නතාක් අපි මෝඩයි.

 ඉතිහාස කතාවන්හි සඳහන් වෙනවා ධාතුසේන රජතුමා ඝාතනය කරලා සීගිරි කාශ්‍යප රාජ්‍ය ලබා ගත් බව. ඉන්පසු සියලු හාමුදුරුවන්ට දානයක් ලබා දෙන අවස්ථාවේ පත්ත නික්කුජ්ජනය කළා. පාත්‍රය උඩුකුරු අතට හරවලා දානය ප්‍රතික්ෂේප කළා. එපමණක් නොව ධාතුසේන රජතුමා කියන්නේ ධාර්මික රජෙක්, බොහෝ දේවල් රට වෙනුවෙන් කරපු කෙනෙක්. එවැනි රජ කෙනෙක් ඝාතනය කරපු පිතෘ ඝාතකයෙකුගෙන් අපි දානය වළඳන්නේ නෑ කියලා සංඝ ආඥාවක් නිකුත් කළා. ඒ සංඝ ආඥාව හාමුදුරුවරුන්ට ඕනවට පැනෙව්වේ නෑ. මිනිස්සුන්ගේ ඉල්ලීම තමයි ඉටුකළේ. මේ ඉතිහාසයේ ඉන් පසුව හාමුදුරුවරු එවැනි ප්‍රබල මහජන ඉල්ලීමකට කන්දීලා නෑ. ඒක අකැමැත්තෙන් වුණත් කියන්න ඕන. නැවතත් දැන් කාලය පැමිණ තියෙනවා මහා සංඝයා සියලු දෙනාට සංඝ ආඥාවක් නිකුත් කරන්න. මම ආරාධනා කරනවා විශේෂයෙන් අපේ මල්වතු මහා විහාරයේ මහා නායක මාහිමිපාණන් වහන්සේට. උන්වහන්සේ ප්‍රගතිශීලි අදහස් දරන්නේ. ඒ වගේම අස්ගිරි මහා විහාරයටත් අනෙකුත් උභය මහා විහාරයන්ටත් සංඝ ආඥාවක් නිකුත් කිරීමට කාලයයි මේ. අන්තර්වාර රජයක් වැනි තාවකාලික දේශපාලන පැලැස්තරවලට යොමු නොවී දිගුකාලීන වැඩපිළිවෙළකට යා යුතුයි.

 අන්තර්වාර රජයක් උදෙසා සංඝ ආඥාවක් නිකුත් කළොත් බුද්ධ වචනයට අනුව ලොකු ගැටලුවක් වෙනවා. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පත්ත නික්කුජ්ජන සූත්‍රයෙන් පසුව ඊළඟ සූත්‍රය තමයි අප්පසාදවේදන සූත්‍රය. එම සූත්‍රයේ සඳහන් වන්නේ ගිහියන්ට හාමුදුරුවරු ප්‍රතික්ෂේප කළ හැකි කාරණා. දැන් අන්තර්වාර පාලනයට කැමති මන්ත්‍රීවරු කොටසක් පමණි. කොටසක් අකමැතියි. එතකොට ඒ අකැමැති කොටසට පුළුවන් අප්‍රසාදය පළ කරන්න මහා සංඝයාට. බුද්ධාගම ප්‍රජාතන්ත්‍රවාදියි. මහා සංඝයා ගිහියාට අප්‍රසාදය පළ කරනවා, ගිහියෝ මහා සංඝයාට අප්‍රසාදය පළ කරනවා. නැති අරගලයක් නිර්මාණය වෙනවා මෙම ක්‍රියාව මගින්. එනිසා අන්තර්වාර පාලනයකට නෙවෙයි සංඝ ආඥාව නිකුත් කරන්න ඕන. සමස්ත පද්ධතිය වෙනස් කිරීමටයි නිකුත් කළ යුත්තේ.

 අනුරාධපුර යුගයෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා සමාජයෙන් දුරස් වුණා. අද එතන උච්චම තැනට ඇවිල්ලා. මේ මොහොතේ සියලු මහා සංඝයා නිකාය භේද, කුල භේද නොබලා පොදුවේ මහජනයාගේ පැත්තේ හිටගන්න ඕන. මහජනයා පැත්තේ හිටගන්නවා කියන්නේ බෝඩ් අල්ලාගෙන පාරවල්වල කෑ ගහන එක නෙවෙයි. මහජනයා වෙනුවෙන් සංඝ ආඥාවක් සිව් මහා නිකායම එකතු වෙලා නිකුත් කරන්න ඕන. මම සඳහන් කරන්නම් සංඝ ආඥාව නිකුත් කරන්න අවශ්‍ය කාරණා. ඒ දේට සංඝ ආඥාවක් නිකුත් කරන්න ඕන. සංඝ ආඥාව නිකුත් කළ යුතු වන්නේ රටේ සමස්ත දේශපාලන පද්ධතිය නිවැරදි කිරීම සදහා මිස අන්තර්වාර පාලනයකට වැනි තාවකලික දේශපාලන පැලැස්තරවලට නොවේ. සංඝ ආඥාවක් නිකුත් කළ යුතු වන්නේ ප්‍රගතිශීලි ජනහිතකාමී දේශහිතෛශී වැඩපිළිවෙළක් උදෙසාය. අපි කියන්නේ “අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං” කියලා. ඒ කියන්නේ හැමෝටම සැප පිණිස, හිත පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස සංඝ ආඥාවක් නිකුත් කළ යුතුයි. මේ ආකාරයට සංඝ ආඥාව කවුරුහරි නිකුත් කළොත් ඒ පිළිබඳව අප්‍රසාදය පළ කරලා යෝජනාවක් සම්මත කරන්න බෑ. මොකද මහජන හිතවාදී වැඩපිළිවෙළකට කවුරුහරි අප්‍රසාදය පළ කරලා යෝජනාවක් සම්මත කළොත් ලොකු අමාරුවක වැටෙනවා ඒ අය.

 ඔළු ගෙඩිවල වෙනසක් දැන් අවශ්‍යව නැත. System වෙනසක්, පද්ධතියේ වෙනසක් අවශ්‍යව ඇත.

 ඔබාමාගෙන් පස්සෙ ඇමරිකාවේ ජනපති වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප් අපි එළියේ ඉඳන් දැක්කෙ කිසි වැඩකට නැති ජෝකර් කෙනෙක් වශයෙන්. නමුත් ඇමරිකාවේ පාලනයේ කිසිම පසුබෑමක් වුණේ නෑ. අන්න ඒ වගේ මට අවශ්‍යයි ඕනෑම ජෝකර් කෙනෙක් ජනාධිපති පදවියට තේරුණයින් පසුව රටේ පසු බෑමක් නොවී රට ඉදිරියට දුවන System එකක් හදන්න. එතකොට අපිට දේශපාලකයා හොඳ ද නරක ද සුභ ද අසුභ ද කළු ද සුදු ද කියලා බලන්න ඕන නැහැ. කොහොමත් උන්දැ යන්න ඕන ඒ පාරේ.

 අපි ලෝකේ පිටරටවල සංචරය කරද්දී දකින දෙයක් තමයි, ඒ රටවල තියෙන ව්‍යවස්ථාව, ඒ රටවල තියෙන වැඩ පිළිවෙළ, සාමාන්‍ය නූගත් කෙනෙක් ආවත් වෙනස් කරන්න බෑ. අපේ රටේ තිබෙන අවුල තමයි ඕනෑම ගොනෙකුට මේකට පැනල අනින්න පුළුවන්. මහා භාණ්ඩාගාරයට අනින්න පුළුවන්. මහ බැංකුවට අනින්න පුළුවන්. බැඳුම්කරයට අනින්න පුළුවන්, මට ඕන අනින්න බැරිවෙන්න අත් කපන්න. අපි මින් ඉදිරියටත්

 හැමෝගෙන්ම ඉල්ලන්නේ කිසිම දේශපාලකයෙකුට කඩේ යන්න එපා. පාට පාට ඇඳගෙන තොප්පි දාගෙන ඇඳුම් ඇඳගෙන පෙරහැරවල් පස්සේ ගිහිල්ලා ස්ටේජ් ඉස්සරහා කෑ ගහලා, හූ තියලා, අරක්කු කාලට බත් පැකට් එකට නටන්න එපා.

 ඇත්තටම අරගලය නිර්පාක්ෂිකම විය යුතුයි. පක්ෂ මාරු කිරීම හා නිර්පාක්ෂික වීම හරියට අහසයි පොළොවයි වගේ. මොකද අපි අවුරුදු 75 ක් තිස්සේ පැති මාරු කළා. පක්ෂ මාරු කළා. දැන් මින් ඉදිරියටත් එනම් 2023 දීත් අපි පක්ෂ මාරුවක් නම් ඉල්ලන්නේ. අපිට බත් නෙවේ කන්න වෙන්නේ මැටි. මින් ඉදිරියට කරන්න ඕන කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි ඔළුවේ තියෙන කුණු, කොළ පාට, නිල් පාට, රතු පාට, කහ පාට ඔය එක එක පාට විසිකරලා දාලා ඔළුවට වතුර පුරවාගන්න එක. පාටක් නෑනේ වතුරට. අපි වතුර වගේ වෙන්න ඕනි. අපි යන්න ඕනේ ඉස්සරහට. මම කියන්නේ කරුණු 3යි පනවන්න අවශ්‍යය. ගොඩක් පැනෙව්වොත් කරන්න බෑනේ. අපේ අය කරන්නේ ගොඩක් පැනෙව්වොත් ඕකේ තියෙන හොඳම ටික අයින් කරලා නරක ටික පනව

 ගන්නවා. එම නිසා මේ ගැන සලකා බලා මා ඉදිරිපත් කරන තුන් ඈඳුතු යෝජනාව…

 1. මේතාක් සිටි සියලුම දේශපාලනඥයින් හා ඔවුන්ගේ පවුල් වල සියලුම දෙනා විගණනයට හා විමර්ශනයට ලක් කළ යුතුය.

 2. දසවසරක ජාතික ප්‍රතිපත්තියක් (National Policy) ක්‍රියාත්මක කළ යුතුය.

 3. සියලු දේශපාලනඥයන් වරප්‍රසාද විරහිත දේශපාලනයක දස වසරක කාලයක් නිරත විය යුතුය.

 තුන් වැනි යෝජනාවට කවුරුත් කැමති නෑ. ඕකට කැමති රටට ජාතියට ආගමට ආදරය තියෙන මේ රට එක රටක් ලෙස ගොඩනගන්න ඕන කියන අවංක අදහස් තියෙන මිනිස්සු විතරයි. ලක්ෂ ගාණක් ඉන්නවා ඒ වගේ මිනිස්සු. මමත් කැමතියි. අපිට මුදල් අවශ්‍ය නැත. වැටුප් අවශ්‍ය ද නැත. මේ රටෙන් අපි ඉගෙන ගත්තා. මේ රටෙන් බෙහෙත් ගත්තා. මම විශ්ව විද්‍යාලයේ ගියා. මට උපාධි තියෙනවා. මම හිතන්නේ රජය උපාධියටම වියදම් කරන්න ඇති කෝටි ගාණක්. ඒවා රටේ මහ ජනතාවගේ බදු මුදල්. අපි රටට ණය ගෙව්වට පවක් නෑ. මේ කතාව ඕනෑම යමක් කමක් තේරෙන මිනිසුන්ට කිව්වහම කියනවා මමත් ණය ගෙවන්න එන්නම් ඔබ වහන්සේත් එක්ක කියලා. ඒවගේම මෙම යෝජනා ත්‍රිත්වය හතර වටින් නැගෙන තවත් එක යෝජනාවක් වෙන්න දෙන්නේ නැහැ. මම මෙම යෝජනා තුන ක්‍රියාත්මක වන විදියට යෝජනාවක් හදනවා. මම මේ වන විට ලෝකේ විවිධ අයත් එක්ක සාකච්ඡා කර තිබෙනවා. ලංකාවේ මිනිස්සු ලෝකේ තැන් තැන්වල ඉන්නවා. හැමෝම එකතු කරගෙන මෙම යෝජනා ක්‍රියාත්මක වන විදියට අවශ්‍ය පසුබිම හදනවා. අනික මෙවැනි ලිපි පළ වූ විට ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිස මේක වටා එක් රැස් වෙනවා.

 මට එදා ඉඳලා ඕන වුණේ දේශපාලකයෝ අපි කියන එක අහනවා දකින්න. මොකද මට දැක්මක් තිබ්බා. දර්ශනයක් තිබ්බා. භික්ෂුව දේශපාලකයාට අනුශාසනා කළ යුතුයි යන මතයක් තිබ්බා. කිව්වට අහන්නැති නිසා අපි එකට මොඩ්ල් එකක් හැදුවා. ඒ තමයි උමංදාව. හදලා ඉවරවෙලා එතැන්ට ඔක්කොම ගෙනල්ලා පෙන්නලා කිව්වා මෙන්න මේකයි රටට කරන්න ඕන කියලා. මුළු රටම උමංදාවක් කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළා. එතකොට සියලු දේශපාලකයෝ ඇවිල්ලා කිව්වා හරි ලස්සන වැඩපිළිවෙළක්. ඔබ වහන්සේගේ අදහස් හොඳයි. ඉතින් එච්චරයි. ඉන් එහාට රට තුළ එය ප්‍රායෝගික යථාර්ථයක් වුණේ නැහැ. මම ඊට පස්සේ තීරණය කළා කවුරු උදව් කළත් නොකළත් මම මට පුළුවන් කොටස කරනවා කියලා. මම ඒකට ඔයගොල්ලෝ හැමෝම එකතු කරගෙන මට පුළුවන් විදියට කෘෂි අරගලය දියත් කළා. ඒක සාර්ථකයි. අපිට පුළුවන් භෞතික සහයක් රටට දෙන්න. නමුත් අද මිනිසුන් ඉල්ලන්නේ භෞතික සහයෝගයකට එහා ගිය එකක්.

 රටේ මිනිසුන්ගේ ආර්ථිකය ගොඩ නගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළක්. රටේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළක්. ඒක ටිකක් ඔළුවෙන් කරන්න ඕන වැඩක්. දැන් බලන්න දෙහිවල බෙල්ලන්තර පිහිටා තිබෙන සිරි සදහම් ආශ්‍රමය දෙස. ඒ කාලයේ දොන් බාරොන් ජයතිලක මැතිඳුන්ගේ වලව්ව. අද එතන ලස්සන පන්සලක් හදලා තියෙන්නේ. එතන තියෙන පොඩි ඉඩේ පවා වගා කරලා තියෙනවා. දැන් මේ අරගලයට යන අයගෙන් මම අහන්නේ, ඔය අය ඔය අයගේ ගෙවල්වල කොච්චි ගහක්, මිරිස් ගහක් හිටවලා තියෙනවද? මහා ලොකු අරගලවලට කතා කරන්නේ. නමුත් ප්‍රායෝගික නැහැ. මිරිස් ගස් ටික ගෙදර හදාගත්තහම පිටරටින් මිරිස් ගේන එක අඩු වෙනවා. ඉතුරු වෙන්නේ මොනවද ඩොලර්නෙ. අරගලය කරන්න ඕනි. ඒ වාගේම අපි ක්‍රියාවෙනුත් යමක් කරන්න ඕනි.

 දැන් බලන්න පිටරටකට ගිහිල්ලා කොතරම් දේවල් නිෂ්පාදනය කරනවද කියලා. අපි කරන්නේ හැමදේම පිටරටින් ගේන එක. අපි ගෙදර මිරිස් පැළයක් හරි හිටව ගත්තොත් පිටරටට යන ඩොලර් එකක් හරි නවතිනවා. එතකොට තෙල් ගේන්න මුදල් හෙමිහිට ඉතිරි වෙනවා. ඇත්තටම මිරිස් ගහක් හිටෙව්වා කියන්නේ පෙට්‍රල් ගහක් හිටෙව්වා වගේ තමයි. ඩීසල් ගහක් හිටෙව්වා වගේ තමයි. ඒකෙන් ඩොලර් එක එක දන්නෙම නැතිව ඉතිරි වෙනවා. ඩොලර් ඉතිරි කරනවා කියලා එකපාර ලොකු ගණන් ඉතිරි කරන්න බැහැ. ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයක ජනතාව දවසකට එක ඩොලර් එකක් පිටරටට යන එක නැවත්වුවොත් නිකම්ම රටට ඩොලර් දෙකෝටි විසි ලක්ෂයක් ඉතිරිනේ. වැඩි දෙයක් අවශ්‍ය නැහැ. ගොටු කොළ පඳුරක් හිටෝ ගනිල්ලා. කැනඩාවේ ගිනි හීතලේ ගොටු කොළ හිටෝගෙන මුළු අවුරුද්දෙම ගොටු කොළ කනවා. අපේ මිනිස්සුන්ට ගොටුකොළ ගහක් හිටව ගන්න බහ. අපි වවන්න කියන්නේ දේශපාලනික රාමුව ඉගෙන නෙමෙයි. රටේ ඉන්ධන නැති වෙලාම ගියත් ආහාර අර්බුදයක් ඇති නොවන්න.

 මම මේ කයිවාරු දොඩනවා නෙවේ. මම මේක කරලා ඉවර වෙලා කියන්නේ. දැන් ලංකාවටම ලයිට් යනවා. උමංදාවට ලයිට් යන්නේ නෑ. අපි සූර්ය කෝෂවලින් හදලා තියෙනවා රාත්‍රීයට ආලෝකය ගන්න ක්‍රම වේදයක්. නමුත් ලංකාවේ ඉන්න විදුලි බල අමාත්‍යාංශ ලේකම්වරු සහ එම නිලධාරීන් සූර්ය කෝෂ පද්ධති හදන්න මිනිස්සුන්ට සහයෝගය දෙන්නේ නෑ. ගල් අඟුරු හා අනෙකුත් ඉන්ධන හරහා ලැබෙන කොමිස් අඩුවෙන නිසා. මෙවැනි තත්ත්වයක් උඩ මම හිතුවා ගෝඨාභය මහත්තයා හරි ඇවිල්ලා මේ හොරු ටික එළවලා දාලා රටේ සියලුම දෙනාටම, හැම දුප්පත් මනුස්සයෙකුටම සූර්ය කෝෂ පද්ධතියකින් නිවෙස් ආලෝකවත් කරගන්න ක්‍රමයක් හදලා දෙයි කියලා. එවිට කිසිදු විදුලි බලාගාරයක් අවශ්‍ය නැහැ. භාවිතයට නොගන්නා ඉඩම් උතුරු නැගෙනහිර පළාත්වල ඕනෑ තරම් ඇත. එවැනි ඉඩම්වල සූර්ය කෝෂ හයි කරලා මුළු රටටම විදුලිය ගන්න පුළුවන්. අද ගිහිල්ලා බලන්න කේරළයේ ගුවන් තොටුපළ. සම්පූර්ණ ගුවන් තොටුපළ භාවිතා කරන්නේ සූර්ය ශක්තිය. අපි කොහෙද ඉන්නේ. අපි ගිහිල්ලා බලලා ඇවිත් මේ කියන්නේ. නමුත් අපට දේශපාලන බලයක් නැති නිසා එවැනි දේ කරන්න බෑ. අපිට පුළුවන් කියන්න විතරයි.

 මම කියන්නේ දේශපාලනය විතරක් නෙමෙයි පිරිසිදු වෙන්න අවශ්‍ය. රාජ්‍ය නිලධාරින් පිරිසිදු වෙන්න ඕන. කොමිස් ගහනවා, අල්ලස් ගන්නවා. ග්‍රාම නිලධාරියගේ සිට ජනාධිපති දක්වාම දූෂිතයි. අපි දන්නවා සේරම දූෂණ හා අක්‍රමිකතා ගැන. අපි මේ නිකන් මෝඩයෝ වගේ කියනවා නෙවේ. අර මම දැක්ක හොඳ කතාවක්. “මගෙන් ප්ලෑන් එක පාස් කරන්න සල්ලි ඉල්ලපු ඔධ මහත්තයා අන්න බෝර්ඩ් එකක් උස්සගෙන අපෙන් හොරා කාපු සල්ලි දියව් කියලා”. ඒවගේම තවත් එකක් දැක්කා “අන්න ලොකු උද්ඝෝෂණයක් හොරා කාපු සල්ලි දියව් කියලා කොහෙද ඍඵඪ එක ඉස්සරහ.” මම මේක දකින්නේ යුරෝපයේ ඇතිවෙච්ච පල්ලියේ තිබිච්ච වැඩවසම් ඒකාධිපති සමාජ ක්‍රමයට විරුද්ධ ව ඇති වෙච්ච අරගලය වගේ කියලා.

 එක දිගට යන ජාතික ප්‍රතිපත්ති අවශ්‍යයි. එක එක දේශපාලනඥයන් ආවාම ඔවුන්ගේ කැමැත්ත පරිදි සංශෝධන දාගන්නවා. බලන්න ඇමරිකාවේ ව්‍යවස්ථාව අවුරුදු 250 ක් පරණයි. අපේ වගේ මහා සංශෝධන නැතිව කුඩා සංශෝධන සහිතව ලස්සනට රට ගමන් කරනවා. නමුත් අපේ රටේ සංශෝධන විහිළුවක් වෙලා. මේ විහිළු නවත්වන්න ඕන. එක්කෝ ඔය විහිළු ටික විනෝද සමයට ඇවිත් කරන්න ඕනි. මේ රටට විහිළු කරන කාලයක් නොවේ. මේ රටේ මිනිසුන්ගේ සැබෑ ජන විඥානය තේරුම් ගෙන දරිද්‍රතාවයෙන් පීඩනයට පත් වෙලා ඉන්න මිනුසුන්ට සහනය දෙන්න ඕනි. එක දේශපාලකයන්ට කරන්න බැහැ කියලා අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ පෙන්නුවනේ. තවත් මොකටද ඒ පස්සේ යන්නේ? ඒ නිසා ප්‍රබුද්ධ මිනිසුන් දැනගත යුතුයි ගෝත්‍රිකයෝ පාලනය කරන්න. දැන් ගෝත්‍රිකයෝ පාලනය කරන්න ක්‍රමයක් පහළ වෙලා අපි එකට උදව් කළ යුතුයි කොන්දේසි විරහිතව.

 අවුරුදු 30 පැනපු මිනිස්සුන්ගෙන් අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. වැඩි හරියක් ඉන්නේ හොරු කම්මැලියෝ. එළියට ඇවිත් වැඩක් කරන්න කිව්වොත් දන්නේ නැහැ. අවුරුදු 30 අඩු මිනිසුන් අත්දැකීම්වලින් පිරෙන්න ඕනි. එහෙම අත්දැකීම්වලින් පිරිලා ඒ අය බලාපොරොත්තු වන ලෝකය මේ මව් බිමේ ගොඩනගන්න දැන් වෙලාව. ඒකට දේශපාලනය අදාළ නැහැ. මම කියන්නේ පොදුවේ වෙන්න ඕන දේවල්. වැඩ වර්ජන තියෙනකන් මේ රට හදන්න බෑ. වැඩ කරන්න වැඩි වෙලාවක් සොයා ගත යුතුයි. එසේ නොමැතිව වැඩ නැවත්වීම නොවේ අප කළ යුත්තේ. වර්ජන තුළින් නොව අරගලය තුළින් ප්‍රශ්න විසඳගමු.

 අරගලයේ තරුණයෝ පමණක් නෙමෙයි ඉන්න ඕනි. මේ System ක්‍ය්බටැ එකට රටේ ඉන්න සියලු මිනිසුන් සහභාගි විය යුතුයි. මම මේ කියන්නේ පාට පක්ෂ නැතුව. මේකට සිව් නිකායේම මහා සංඝයා වහන්සේලා එකතු වෙන්න ඕනි. ඒ විතරක් නෙමෙයි, කාදිනල්තුමන් එකතු වෙන්න ඕනි. එතකොට තමයි පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වෙන්නේ. නැතුව යුක්තිය ඉටු වෙන්නේ නැහැ. යුක්තිය ඉටු වන්නට නම් System එකක් තියෙන්න ඕනි. සියලුම හින්දු පූජකවරු, කුරුක්කල්තුමන්ලා දේශපාලකයින්ගෙන් තොරව සහයෝගය ලබා දෙන්න ඕනි. සියලු ඉස්ලාම් පූජකවරුන් හා මුස්ලිම් මිනිසුන් මෙයට සහයෝගය දිය යුතුයි.

 ස්වයං පෝෂිත රාජ්‍ය සංකල්පයකට අපි යා යුතුයි. මම එයට පෙන්වන ආකෘතිය උමංදාවයි. අරගල කරන අපි හැමෝම එකතු වෙලා පටන්ගමු ගොවි අරගලයක්. අපි අරගලය නව මුහුණුවරකට ගෙන යමු. අපි අරගලය පටන්ගමු අපේ නිවසින්. බලන්න ඉඩ කඩ අඩු ප්‍රමාණයක් තිබෙන සිරි සදහම් ආශ්‍රමයේත් ඉඩ තියෙන හැම තැනකම වගා කරලා තියෙන්නේ. ඇවිත් බලන්න අපේ දාන ශාලාවේ බත් විසි කරනවද කියලා. දානයකට මිනිස්සු කොහොමත් වැඩියෙන් දානේ ගේනවා. මෙහෙ System එක හදලා තියෙන්නේ. ඉතිරි වන බත් වේලන්න ඕනි. වේලලා උමන්දාවේ යවන්න ඕනි. තවත් වැඩිපුර ව්‍යංජන හා බත් තියෙනව නම් පාර්සල් හදලා හිඟන්නන්ට දෙන්න ඕනි. විසි කරන්න තහනම්.

 මම යෝජනා කළ කරුණු තුන අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. නැතහොත් රට විශාල සාපයකට අසු වෙනවා. මේ පාලකයන් විසින් එය ඉටු කළ යුතුයි. ඒක හරියට මෙන්න මේ වගේ… හවසට ඉස්කෝලෙට පැනලා ළමයි ටිකක් යකා නටන කොට විදුහල්පති ආවොත් මොකද කරන්නේ… ඒ අය ලවාම බීපු කුරුම්බා කෑලි කපලා ගස් වටේ නවලා ගස්වලට වන්දවනවා. පෙරළපු මේස කෙලින් කරවනවා. පන්ති කාමර අතුගාගන්නවා… සේරම තිබ්බ විදියට හදවගෙන අන්තිමට ගහලා පන්නනවා. මේ පාලකයෝ ලව්වම System එක හදවන්න ඕනි. නැත්තම් අපි මෝඩයි.

මියැදුණු දේශයක් යළි පණගන්වන  තුන් ඈඳුතු සංඝාඥාව



 උමංදාව විහාර ආශ්‍රමාධිපති පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි

advertistmentadvertistment
advertistmentadvertistment