මිරිහානෙන් පත්තු වූ දේශපාලන සංඥාව කියවමු

358

පැහැදිලිවම කිවහොත් දැන් මුළු රටම අවුල්ය. ආණ්ඩුව අසමත් බව ඔප්පු කර අවසන්ය. රාජ්‍ය පාලනයක් එසේ වැරදි පාරේ යමින් ජනතාව පීඩාවට පත්කරද්දී එයට එරෙහිව නැගී සිටිමින් විරෝධය දක්වන්නට රටේ ජනතාවට සාධාරණය වූ අයිතියක් ඇත. මේ සියල්ල තර්ක නැතුවම පිළිගත යුතු කරුණුය.

එහෙත් බලලෝභී දේශපාලන භාවිතාවක් තුළ කිසියම් ආණ්ඩුවක අසමත්කම හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එය බලයෙන් පහකරනු මිස කිසියම් පිරිසක් මළමිනී මතින් බලපෙරළියක් වෙත ගමන් කිරීමට සැරසේ නම් ඒ තුළ කිසිදු සභ්‍යත්වයක් ඇත්තේම නැත.

මෙකී මළ මිනී මතින් බලයට පැමිණීම යනු මෙරට දේශපාලනයේදී නිතර අසන්නට ලැබෙන වදනකි. එහිදී ඇතැමුන් කියනුයේ මගේ දෑතේ රුධිරය නැතැයි කියාය. එහෙත් මෙරට දේශපාලනය දෙස ගැඹුරට ගොස් බැලීමේදී බොහෝවිට වැඩිපුරම රුධිරය ඇත්තේ එසේ පවසන උන්ගේ දෑත්වලය.

එය කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවේ අසමත් බව හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පසෙක තබා මළ මිනී මතින් බල පෙරළියක් වෙත ගමන් කිරීමට කිසිවකු විසින් හෝ උත්සාහ දැරුවේදැයි සිතෙන තරමට බරපතළ වූ සිදුවීම් පෙළක් ඉකුත් බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේ නුගේගොඩ මිරිහාන පැඟිරිවත්ත මාවත ආසන්නයේදී සිදුවිය.

එය ආරම්භ වූයේ බ‍්‍රහස්පතින්දා පස්වරු 7.30 ට පමණය. මේ රැය උදා වෙමින් තිබියදී ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෝ යැයි කියාගත් පිරිසක් වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට රජයට විරෝධය දක්වමින් සාමකාමී උද්ඝෝෂණයක් ආරම්භ කරනු ලැබූහ.

එහිදී ඔවුන්ගේ ඉල්ලීම් වූයේ ඉන්ධන, ගෑස් සහ විදුලිය ලබා දී සිය ජන ජීවිතය යහතින් පවත්වාගෙන යන්න කටයුතු කිරීමට ආණ්ඩුව පියවරගත යුතු යන්නය. රට තුළ පවතින වත්මන් තත්ත්වය හමුවේ එකී ජනතා ඉල්ලීම ඉතාම සාධාරණය.

මේ අන්දමට විරෝධතාව ඇරඹූ ඒ මිනිස්සු සාමකාමීව එය පවත්වන්නට වූහ. එමඟින් කිසිවකුටත් කරදරයක් හානියක් ඇතිවන තත්ත්වයක් නොවීය. මේ විරෝධතාව පැවැත්වුණේ බලයට ඒමෙන් පසු ජනාධිපති මන්දිරයේ සිටීම ප‍්‍රතික්‍ෂේප කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පදිංචිව සිටින මිරිහාන, පැඟිරිවත්ත පාරේ පිහිටි සිය පෞද්ගලික නිවසට මඳක් ආසන්න ස්ථානයකදීය.

මේ හේතුවෙන් විරෝධතාව ආරම්භ වීමෙන් පසු ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කිරීමට පොලිසිය හා ආරක්‍ෂක අංශ කටයුතු කර තිබිණි. මෙසේ විරෝධතාව දැක්වූවන් විවිධ සටන් පාඨ කියමින් එම ස්ථානයේ රැඳී සිටියදී කාලය හෝරාවක් පමණ ගෙවී යමින් තිබිණි.

ඒ අතරේ නුගේගොඩට ආසන්න විවිධ ප‍්‍රදේශවල සිට යතුරු පැදිවල නැඟුණු තරුණ පිරිස් රැසක් විරෝධතාව පැවැති ප‍්‍රදේශයට ළඟා වෙමින් සිටියහ. මේ අතරේ එදින ප‍්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා පැමිණෙමින් සිටි පිරිසක් ද එම ප‍්‍රදේශය පසුකර ගමන් කරන්නට වූහ.

ගතවූයේ සුළු වෙලාවකි. එතෙක් සාමකාමීව පැවැත්වෙමින් තිබූ විරෝධතාව එක්වරම මහා ප‍්‍රචණ්ඩ බවක් ගනිමින් ජනාධිපතිවරයා පදිංචිව සිටින මිරිහාන පැඟිරිවත්ත මාර්ගය දෙසට ඇදෙන්නට වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අන්දමටය.

ඒ වන විට තැනින් තැන සිටිමින් විරෝධතාවේ පෙරමුණ ගෙන සිටියේ මුලදී සිටි පිරිස අභිබවා නැගී සිටි යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳූ තරුණයන් පිරිසක් විය.

ප‍්‍රචණ්ඩකාරී ලෙස පිරිස මෙසේ ජනාධිපතිවරයාගේ නිවස පිහිටි ප‍්‍රදේශයට ළඟාවන විට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාද මිරිහාන නිවසේ සිටි අතර එම තත්ත්වය හේතුවෙන් වහාම ක‍්‍රියත්මක වූ ආරක්‍ෂක අංශ පැඟිරිවත්ත මාර්ගය වසා දැමීමට කටයුතු කරනු ලැබීය.

මාර්ග බාධක දමා එසේ මාර්ගය වසා දැමුවද ප‍්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් ඉදිරියට පැමිණි පිරිස මාර්ග බාධක පෙරළා දමමින් ජනාධිපතිවරයාගේ නිවස දෙසට යන්නට උත්සාහ දැරීමත් සමඟ කඳුළු ගෑස්සහ ජලප‍්‍රහාරයක් ඔවුන් වෙත එල්ල කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබීය.

ඒ සමඟ තව තවත් ප‍්‍රකෝපකාරී වූ පිරිස ආරක්‍ෂක අංශ සහ පොලිස් නිලධාරීන් රැඳී සිටි ප‍්‍රදේශයට ගල් ප‍්‍රහාර එල්ල කරමින් ප‍්‍රදේශයම යුද පිටියක් බවට පත් කරනු ලැබූවේ වියරු වැටුණාක් පරිදිය. මෙහිදී පොලිසියට සහ යුද හමුදාවට අයත් බස් රථයක්, ජීප් රථයක්, ති‍්‍රරෝද රථයක් සහ යතුරු පැදි දෙකක් ගිනි තබා විනාශ කිරීමට ද ඔවුහු කටයුතු කළහ.

මෙහිදී විවිධ ප‍්‍රහාර හේතුවෙන් තුවාල ලද සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකු මෙන්ම විරෝධතාවට එක්වූ කිහිප දෙනකුද රෝහල්ගත කිරීමට ද කටයුතු කෙරිණි.

අවසානයේ තත්ත්වය පාලනය වූයේ පොලිස්පතිවරයා විසින් කොළඹ ප‍්‍රදේශ රැසකට සහ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩකාරී විරෝධතාවක් පැවත්වුණු කැලණිය පොලිස් බල ප‍්‍රදේශයට ද පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසුවය.

මෙවැනි ප‍්‍රචණ්ඩකාරී විරෝධතා මේ රටට ආගන්තුක නැත. එවැනි විරෝධතාවන්හි අත්දැකීම් සහ ප‍්‍රතිඵලද රටක වශයෙන් අප බොහෝ සේ අත්විඳ ඇත. මේ ඇතැම් ඒවා මහා ජීවිත විනාශයන් තුළින් නිමාවට පත්වූ දේ ලෙසින්ද පෙන්වා දිය හැකිය.

එසේ නම එවැනි අතීත අත්දැකීම් රාශියක් තිබියදීත් මේ රටේ මජර දේශපාලනය ඉදිරියේ මෙවැනි ප‍්‍රචණ්ඩත්වයක් ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේදීම මුදා හැරියෝ කවුරුහුද?

ඒ සම්බන්ධව මෙතෙක් සිදුකර ඇති විමර්ශන අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියද උඩුයටිකුරු කරනු ලබන එක්තරා දේශපාලන කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් සාමකාමීව පැවති විරෝධතාව අතරට කඩා වැදී පිරිස් ප‍්‍රකෝප කරමින් සියල්ල මෙහෙයවූ බව මේ වන විට ආරක්‍ෂක බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

අප මෙහි මුලින් ද කී පරිදි අද මුළු රටම වෙලා ගත් බරපතළ අර්බුදයක් පවතින බව සැබෑවකි. එක් අතකන් රට මුහුණ දී සිටින ඩොලර් හිඟය ය. තවත් පැත්කින් විදුලිය, ඉන්ධන, ගෑස් ආදී වශයෙන් වූ අත්‍යවශ්‍ය දේ නොමැති වීමෙන් ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතාවන්ය.

මේ සියල්ලට රට පාලනය කරනු ලබන ආණ්ඩුව වගකිව යුතුයි යන්නද සත්‍යයකි. එහි කතා දෙකක් නැත. අද රට පාලනය කරනු ලබන ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂයන් ය.

ඔහු ජනාධිපතිවරයා මෙන්ම එම ධුරයට අනුව මේ රටේ පළමු පුරවැසියා ය. එහෙත් රටේ අර්බුදයක් පවතින්නේ යැයි සහ එයට වගකිව යුත්තේ ආණ්ඩුව යැයි කියමින් ප‍්‍රචණ්ඩකාරීව ගොස් ගෝත‍්‍රිකයන් එසේ ජනාධිපතිවරයාගේ නිවස පහර දෙන්නට රටේ ජනතාවට අයිතියක් තිබේද?

එසේ කිරීමෙන් රට මහුණ දී සිටින අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නම් ඒ තුළ සාධාරණත්වයක් ඇතැයි පැවසීමට කිසියම් හැකියාවක් ඇත. එහෙත් අද රට තුළ පවතින කිසිදු ගැටලූවකට මෙවන් කි‍්‍රයාවන් තුළින් විසඳුම් නොලැබෙන්නේය.

එසේ නම් මෙහිදී ප‍්‍රචණ්ඩකාරී වූ පිරිස් බලාපොරොත්තු වන්නට ඇත්තේ කුමක්ද? රට තුළ පවතින වත්මන් අර්බුදයට විරෝධය දක්වා එළැඹෙන තුන් වැනිදා ළඟම තිබෙන නගරයට පැමිණ වීදි බසින්නැයි කියමින් ඉකුත් දිනවල ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ විශේෂ ප‍්‍රචාරයක් සිදු වෙමින් තිබිණි.

ඒ සඳහා මේ රටට විනාශයේ දොරටු විවර කිරීමට ප‍්‍රබල දායකත්වයක් ලබා දුන් ඇතැම් දේශපාලන හිපාටුවෝද සිටියහ. එහෙත් මේ කිසිවකුටත් අද රට මුහුණ දී ඇති අර්බුදයට දිය හැකි පැහැදිලි විසඳුමක් නැත.

එසේ නම් මේ සියලූ දෙනා එක්වී අත්තනෝමතික ලෙස ජනතා හැඟීම් අවුස්සමින් ඒ තුළින් කරන්නට සැරසෙන්නේ කුමක්ද? මේ සූදානම් වන්නේ රටේ ජනතාවගේ රුධිරය සහ මළ මිනී මතින් සිය බලය සඳහා යන මාවත කඩිනමින් සකසා ගන්නටය.

මේ අන්දමට රටේ ජනාධිපතිවරයාට පහර දෙන්නට ප‍්‍රචණ්ඩකාරීව පිරිස් පැමිණෙද්දී ආරක්‍ෂක අංශවලට ඒ දෙස බලා නිහඬව සිටීමේ කිසිදු හැකියාවක් නැත. පවතින රජය වෙනුවෙන් සේවය කිරීම ආරක්‍ෂක අංශ සහ පොලිසියේ වගකීමය.

ඒ අනුව ප‍්‍රහාරය අසික්කිත වන තරමට එල්ල වන ප‍්‍රති ප‍්‍රහාරයද අසික්කිත අතිශය දරුණු එකක්ම වනු ඇත. එහිදී නැති වන්නේ පීඩිත ජනතාවගේ අහිංසක ජීවිතය. ඇතැම්විට ජනතා රුධිරයෙන් වැජඹෙන්නට හදන පරපෝෂිත දේශපාලනඥයන් ලබා දුන් සොච්චම් යමක් හමුවේ මෙවැනි දේට පැමිණෙන අහිංසකයන්ගේ ජීවිතය.

එකී ජීවිත පිළිබඳ කිසිදු වටිනාකමක් හෝ වගකීමක් මෙවැනි විරෝධතා සංවිධානය කරනු ලබන දේශපාලන කුජීතයන්ට නැත. මෙවැනි තැනකදී කිසිවකු හෝ මැරී වැටුණහොත් ඊළඟට උන් සිය බලය ලබා ගැනීමේ අරමුණු වෙනුවෙන් ලෝකයට පෙනෙන්නට ඔසවාගෙන යන්නේ මියගිය මිනිසාගේ මළකඳය. ඉන් එහා සිදුවන දෙයක් නැත.

එහිදී බරපතළම විනාශය සිදු වන්නේ මියගිය මිනිසාගේ දරු පැටවුන් ඇතුළු පවුලේ සාමාජිකයන්ටය. ගෙවී ගිය 74 වසරක් තුළ කි‍්‍රයාත්මක මෙරට දේශපාලනයේදී එසේ දුකට පත්වූවෝ මේ රටේ බොහෝ වන්නාහ.

ඒ විනාශයන්හි පාඩම් මේ රටේ තරුණ පරපුර දැන්වත් විශේෂයෙන් අවබෝධ කරගත යුතුය. මෙරට කි‍්‍රයාත්මක මජර දේශපාලන දහරාවට මිනිස් ජීවිතයක කිසිදු වටිනාකමක් ඇත්තේම නැත.

එසේම මෙවැනි ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් තුළින් ජීවිත අහිමි වීම හැරෙන්නට කිසිදා මේ රටට සිදු වූ කිසිදු යහපතක්ද නැත. සිදු වූවා නම් හැමදාමත් වූයේ ගිනි අවි පත්තුවීම තුළින් තුවක්කු සංස්කෘතියක තවත් පරිච්ෙඡ්දයක් ආරම්භ වීම පමණය.

එසේ නම් මේ විරෝධතා පසුපස සිටින්නන්ට අද අවැසිව ඇත්තේ යළිත් රට එවන් මානයක් වෙත රැගෙන යන්නටද? ලේ ගංගා මැදින් තමන්ගේ බලලෝභි ගමන යන්නටද?

ඇතැම්හු අද රජයට එරෙහි විරෝධතා පවත්වමින් ලෝකල් අරාබි වසන්තයක සිහින දකිමින් සිටින්නාහ. එහෙත් ඒවා කිසිදා වසන්තයක් නොවුණු බවට ලෝක දේශපාලනය තුළ ඕනෑ තරම් උදාහරණ ඇත.

වසන්තය උදාවීම වෙනුවට එහිදී නියතවම සිදු වූයේ දුර්භික්‍ෂය ළඟා වීමය. එනිසා වර්තමානයේ රටේ පවතින අර්බුදයට පැහැදිලි ප‍්‍රායෝගික විසඳුමක් පෙන්වා දෙන්නකු හැරෙන්නට වෙන කිසිදු අම්බරුවකුගේ බහට රැවටී යළි මෙවන් දේට යොමු වීමෙන් වැළකී සිටීම සමස්ත ජනතාවගේම යුතුකමය. වගකීමය.

මන්ද එසේ නොවුණහොත් යළි ආපසු හැරවිය නොහැකි ආකාරයට අරාජික වන්නේ මේ රටය. පරදින්නේ සහ විඳවන්නේ අපිම ය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment