මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

532
මිරිහාන පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවස වටලා විරෝධය පළ කළ සිද්ධිය රටම උණුසුම් කර දමා ගතව ඇත්තේ හෝරා කිහිපයකි. ඉකුත් 31 වැනිදා රාති‍්‍රයේ ජනාධිපතිවරයා පදිංචි නුගේගොඩ, මිරිහාන, ජුබිලි කණුව මන්සන්ධියට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියහ. ‘‘සර් දැන් ගෙදර යන්න’’ කියා කියමින් ආර්ථික පීඩාවට පත්ව සිටින ජනතාව කෑ කෝ ගසමින් කලහකාරී ලෙස හැසිරීම සුළුවෙන් නොතැකිය යුත්තකි. දේපළවලට ද හානි සිදුවිය. කවුරුන් හෝ විසින් මෙම විරෝධතාකරුවන් මෙහෙයවූයේද නැද්ද යන්න පැහැදිලි නැත. නමුත් එම සිද්ධිය ඉතා තීරණාත්මකය. එම සිද්ධිය අතිශය සංවේදී චිත‍්‍රයක්ද මවාපා ඇත. ‘‘අනේ සර් දැන් යන්න. අපි ඉන්නෙ දැඩි පීඩනයෙන් කන්න නෑ. බෙහෙත් නෑ. තෙල් නෑ. විදුලිය නෑ’’ කියා කෑගැසූ පිරිස ඒ දේවල් කීවේ කාගේ හෝ උසිගැන්මට නොවන බව නම් සහතිකය. මිරිහානේ සිද්ධිය, ඒ ජනතා හඬ හා කලහකාරී හැසිරීම් පිළිබඳ පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්, සිවිල් කි‍්‍රයාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්ව විවිධ දේ කියති. මෙම සිද්ධිය පිළිබඳ පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන් හා විවිධ පාර්ශ්ව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට අදහස් දැක්වූයේ මේ ආකාරයටය.
මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකළ යුතුයි…හිටපු කථානායක කරු ජයසූරිය මහතා

මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

ජනතාවට ඔවුනගේ ප‍්‍රශ්න හමුවේ විරෝධය පළ කිරීමට අයිතියක් තිබෙනවා. එය මූලික අයිතිවාසිකමක්. නමුත් එලෙස විරෝධය පළ කළ යුත්තේ නීත්‍යනුකූලව හා සාමකාමීවයි. මිරිහාන පෙළපාලිය හා විරෝධතාව පිළිබඳ විවිධ මත තිබෙනවා. මීට විවිධ පාර්ශ්ව සම්බන්ධ බවට කියැවෙනවා. ජනතාව විසින්ම මෙම විරෝධතාවය කළ බවත් කියැවෙනවා. බලය ලබා ගැනීම සඳහා කළ එකක් බවත් කියනවා.

නමුත් මම දකින්නෙ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම මේ තත්ත්වයට හේතු වූ බවයි. මේ නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුණු විසුණු වී ගියා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීමට නම් පාර්ලිමේන්තුවට බලය ලබාදිය යුතුයි. පාර්ලිමේන්තු අධීක්‍ෂණ ආංශික කාරක සභා මගින් කළ දේ අද සිද්ධවෙන්නෙ නෑ. අද ජනතාව පත්ව සිටින ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමට නම් රටේ යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කොට පාර්ලිමේන්තුවට නිසි බලතල ලබාදිය යුතුයි.

මිනිස්සුන්ට ඇත්ත කියන්න, නැත්නම් ගුටි කන්න බලා ඉන්න -බොදුබල සංවිධානයේ මහලේකම් මෙන්ම එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමි

මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය කිව යුතුයි. නැත්නම් හැමෝම ගුටි කන්න සූදානම් විය යුතුයි. විදුලි බලය නෑ. පැය දොළහ දහතුන විදුලිය නෑ, ඉන්ධන නෑ, කිරිපිටි නෑ, ගෑස් නෑ, මිනිස්සු පෝලිම්වල. එක්කො කැබිනට් මණ්ඩලය සාමූහිකව එක්වී රටේ පවතින සැබෑ තත්ත්වය ජනතාවට කියලා ඉවසීමෙන් ඉන්න කියන්න ඕනේ.

ඇමැති කියනවා තෙල් හිඟයක් නෑ කියලා. ඊට පස්සෙ ආණ්ඩුව කියනවා තෙල් නෑ පෝලිම් ඇතිකර ගන්න එපා කියලා. ජනතාව අද කන්න බැරි තැනට වැටිලා. මේක බඩගින්න පිළිබඳ ප‍්‍රශ්නයක්. විපක්‍ෂයේ අය කියන දේවල්වලට ඇහුම්කන් දෙන්නෙ නෑ. මිනිස්සුන්ගේ ප‍්‍රශ්න අමාරුකම්වලට කන්දෙන්නෙ නෑ. සැකයක්, කුතුහලයක් ඇතිවීම සාධාරණයි. කැබිනට් මණ්ඩලය සාමූහිකව මේ තත්ත්වයට පිළිතුරු දෙන්නෙ නැත්නම් ජනාධිපතිවරයා තමයි අන්තිමට අහුවෙන්නෙ. ඒකයි මේ වෙලා තියෙන්නෙ.

මර්දනයෙන් ගැටලූ විසඳන්න බෑ – සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

රට පුරා පැතිර ඇති ඉන්ධන ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාරපාන පෝලිම්වලට ආණ්ඩුවට විසඳුම් නොමැත. විදුලි කප්පාදුව පැය දහතුන ඉක්මවා ඇත. ජීවන වියදම අහස උසට ගොසිනි. මේවාට ආණ්ඩුවේ විසඳුම්වලට බාලගිරි දෝෂය වැළඳී ඇත. සියලූ විසඳුම් අද නොව හෙටය.

ආණ්ඩුවේ ඇමැතිවරුන්ට මහමඟ හරස් කරමින් උත්සවවලට යෑමට පවා ඉඩ නොදෙමින් ජනතාව දෙන පණිවිඩය ආණ්ඩුවට නොතේරීම රටේ අවාසනාවකි. කුඩා දරුවන් ඇකයට ගත් මව්වරු මේ විරෝධතාවට එක්වූහ. වැඩකරන අහිංසක ජනතාව ඊට එක් වූහ. මේ පිටවූයේත්, පිටවන්නේත්, පක්ෂ පාට නොසලකන ජනතාවගේ පීඩනයයි. ආණ්ඩුව ඒ පිළිබඳව අංශු මාත‍්‍රයකින්වත් සංවේදී නොවී සුපුරුදු පරිදි අන්තවාදී සංවිධාන ගැන කියමින් තවදුරටත් මෙය දේශපාලනීකරණය කරන්නේ නම් රටේ අනාගතය අඳුරෙන් අඳුරට ගමන් කරනු ඇත.

අසංවිධානාත්මක අරගල කුමන්ත‍්‍රණවලට පාර කපනව – කොළඹ විශ්වවිද්‍යාල ශී‍්‍රපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා

මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

අරාබි වසන්තය ආරම්භ වූයේ 2010 දෙසැම්බර් පමණ කාලයේ දීයි. ලෝකයේ ඒකාධිපති පාලන පලවා හැරීමට අරාබි වසන්තය විවිධ ස්වරූපයෙන් කි‍්‍රයාත්මක වුණා. රට අභ්‍යන්තරයේ මෙන්ම වෙනත් රටවල් අරභයා මෙය විවිධ ස්වරූපයෙන් කි‍්‍රයාත්මක වුණා. ඊජිප්තුව, සිරියාව, ඉරාකය, ලෙබනනය ආදී රටවල්වල මෙය කි‍්‍රයාත්මක වුණා. රටවල් අභ්‍යන්තරයේ දුර්වල තැන් අල්ලාගෙන මේවා කි‍්‍රයාත්මක වුණා. විරැකියාව, තරුණ අසහනය, ජනතා අයිතීන් වෙනුවෙන් හා විවිධ සාධක මුල්කරගෙන මේවා කි‍්‍රයාත්මකයි. බටහිර ලිබරල්වාදය අර්බුදයට යෑමත් සමග ජාත්‍යන්තරව යම් යම් කි‍්‍රයාමාර්ග ගනිමින් සිටිනවා.

අපේ රට ගත් විට මේ වනවිට ඩොලරය ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. උද්ධමනය සියයට පනහ දක්වා ඉහළ ගිහින්. ඊට බලපා තිබෙන සාධක කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව අසමත්ව සිටිනවා. කොරෝනා වසංගත කාලය සහ කොරෝනා පශ්චාත් සමයේදී පාලක පංතිය ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට සමත් වුණේ නෑ.

විදේශ ණය හා පොලී ගෙවීම්වලදී නිසි පරිදි කළමනාකරණය කර නොගැනීම නිසා මේ වනවිට එය උච්ච තැනකට පත්වී තිබෙනවා. ජනතාවට දැන් පරණ විදිහට ජීවත් වෙන්න බෑ. පාලකයන්ට පරණ ආකාරයට ආර්ථිකය හසුරවන්න බැරිවෙලා තියෙනවා. ආර්ථික අර්බුදය මේ වනවිට සමාජ අර්බුදයක් ලෙස මතුවෙලා. මේ තත්ත්වය හමුවේ සංවිධානාත්මකව මෙන්ම අසංවිධානාත්මකව සිදුවන කලබලකාරී තත්ත්වය හමුවේ විරුද්ධ දේශපාලන පක්‍ෂ මෙය තම වාසියට ගන්න ඉඩ තියෙනවා. පාලක පංතිය මේ පවතින තත්ත්වය මොන ආකාරයකින් කළමනාකරණය කර ගනී ද යන්න මත මෙම තත්ත්වය අනාගතය තීරණය වේවි. එනිසා මීට විසඳුම් ලෙස කෙටිකාලීන, මධ්‍යකාලීන, දීර්ඝකාලීන විසඳුම් සෙවිය යුතුයි. මූල්‍ය හා ණය ප‍්‍රතිපත්තිය අලූත් කළ යුතුයි. එනිසා ජනතාව ඉතා කල්පනාකාරීව කි‍්‍රයා කළ යුතුයි. රටත්, ජාතික ආරක්‍ෂාවත්, ඉතා වැදගත්. විවිධ බලවේග විවිධ ආකාරයට මේ තත්ත්වය සිය වාසියට ගත හැකියි. එනිසා ජනතාව සිය අයිතිවාසිකම් දිනා ගන්නේ නම් ඊට නායකත්වය දෙන සංවිධානාත්මක ව්‍යාපාරයකට එක්වී කටයුතු කිරීම අතිශය වැදගත්.

ජනතාව විතරක් නොවෙයි අපිත් ඉන්නෙ පීඩනයෙන් – ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ සාගර කාරියවසම් මහතා

මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

මිරිහාන සිද්ධිය හෙළා දැකිය යුතුයි. රටේ තිබෙන ප‍්‍රශ්න පිළිබඳ ඊට හේතු වූ කාරණා ගැන ජනතාව දැනුවත්. මේවාට විසඳුම් අවශ්‍යයි. මිරිහාන සිද්ධියට සාමාන්‍ය ජනතාව සම්බන්ධ වූ බව සමාජ මාධ්‍යවලින් මමත් දැක්කා. මමත් ඉන්නෙ පීඩනයෙන්. ජනතාවත් ඉන්නෙ විවිධ ප‍්‍රශ්න ගොඩක බව අපි දන්නවා. අපිට වාහනවලට තෙල් ගහගන්න බෑ. ගෙදරට ගියාම විදුලිය නෑ. ගෑස් නෑ. නමුත් මීට විසඳුම් සෙවිය යුතුයි. මිරිහානේ සිද්ධිය ස්වාධීන ජනතා නැගිටීමක් කියලා මම නම් විශ්වාස කරන්නෙ නෑ. දැන් මේ තිබෙන ප‍්‍රශ්නවලට විසඳුම් දිය හැකි නායකයෙක් ඉන්නව නම් එයාට පුළුවන් රටටම කියන්න මෙන්න මම දෙන විසඳුම් කියලා. සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳෙව්වා. අඩුම තරමින් ඒකට වත් ඇවිල්ලා කිව්වද ඒ අයගෙ අදහස්. එහෙම අදහසක් වත් නැති අය රටේ ප‍්‍රශ්නවලට දෙන විසඳුම් මොනවද?

83 කළු ජූලිය, තිස් වසරක යුද්ධය, 71 කැරැල්ල, 88-89 භීෂණය, පාස්කු ප‍්‍රහාරය ආදියෙන් මේ රට හොඳට බැට කෑවා. මේ ප‍්‍රශ්න කාලයක් තිස්සෙ ඇති වූ දේවල්. විදේශ ණය ප‍්‍රශ්නය. ඒවා ආයෝජනය කරලා මුදල් ඉපැයීමට නොහැකිවීම ආදී කාරණා නිසයි මේ තත්ත්වය ඇති වුණේ. ඒ ප‍්‍රශ්නවලට විසඳුම බස් ගිනි තැබීමද? ඉකුත් මාර්තු මාසයේදී අපේ රටට වැඩිම විදේශ සංචාරකයන් ආපු මාසය. මේ අය හදන්නෙ ඒ සංචාරක පැමිණීම නතර කරන්න. එනිසා ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දේශපාලන ඉත්තන් බවට ජනතාව පත්විය යුතු නෑ…ඇල්ලේ ගුණවංශ හිමි

මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

ජනතාව ඉන්නෙ දැඩි පීඩනයකින්. ඒක ඇත්ත. අපි පවා පීඩනයට ලක්වෙලා. ජනතා පීඩනය, අපහසුතා විසඳා ගැනීමට කි‍්‍රයා කළ යුත්තේ ප‍්‍රබුද්ධ ආකාරයටයි. මොකද ජාත්‍යන්තර බලවේග අපේ රටට එරෙහිව කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. අපේ විපත තුළින් ඔවුන්ගේ ඉලක්ක වෙත යන්න විවිධ රටවල්, සංවිධාන උත්සාහ ගනිමින් සිටිනවා. එනිසා ප‍්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. අපි කබලෙන් ළිපට වැටිය යුතු නෑ.

මේ ආණ්ඩුව ගොඩක් වැරදි කරන ආණ්ඩුවක්. ඒකෙ තර්කයක් නෑ. මේ අය දෙවන පෙළක් නිර්මාණය කළේ නෑ. දේශපාලනඥයො හිටියට ජාතික නායකයන් නෑ. භික්‍ෂූන් වහන්සේලා අතර පවා තත්ත්වය එක හා සමානයි.

ජනතා ප‍්‍රශ්න හමුවේ පාලකයන්ට එරෙහිව විරෝධය පළ කළ යුතුයි. නමුත් දේශපාලන ඉත්තන් බවට ජනතාව පත්විය යුතු නෑ. අව් කණ්ණාඩි පැළඳගෙන, සපත්තු දාගෙන, බෙල්බොටම් ඇඳගෙන පාරේ සටන්වලට එන්නෙ කවුද කියන අවබෝධය අපට තිබෙනවා. කවුද මේ අය කියලා අපි මූණ දැක්කම දන්නවා. ඒ පිළිබඳ සුපරික්‍ෂාකාරීව අපි බලාගෙන ඉන්නවා. අපි ජනතා අභිලාෂයන් දිනාගත යුතු ක‍්‍රමයක් තියෙනවා. රට, මාතෘභූමිය රැකගනිමින් ඒ ඉලක්ක වෙත යෑමට අරගල කළ යුතුයි. එසේ නොකර එක එක දේශපාලන න්‍යාය පත‍්‍රවලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එන සංචාරකයෝ නවත්තන්න විපක්‍ෂය ඇති කළ කුමන්ත‍්‍රණයක් – සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා

මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

මේ රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමේ අයිතියක් තියෙනවා. එලෙස උද්ඝෝෂණය කිරීමට අයිතිය ඇත්තේ රටේ සුබසිද්ධිය උදෙසායි. නමුත් රට අරාජික කිරීමට අයිතියක් නෑ. විදුලි, ඉන්ධන, ගෑස් ආදී ප‍්‍රශ්න තිබෙන බව ඇත්ත. ජනතා උද්ඝෝෂණවලින් ඒවාට විසඳුම් ලැබෙනව නම් අපිත් ඒවාට විරුද්ධ වෙන්නෙ නෑ. නමුත් සමහර දේවල් අපට පාලනය කරගන්න බෑ. මෙවැනි දේ හරහා රට තවත් අරාජික කරලා හරියන්නෙ නෑ. 83 කළු ජූලිය වසර ගණනක් යනතුරු රටට විශාල බලපෑම් කළා. 88-89 භීෂණයත් ඒ වගෙයි. ඒවායෙන් රට ගොඩගියේ නෑ. සිද්ධ වුණේ ආපස්සට යෑමයි. කොරෝනා නිසා රට වහලා තිබුණා. නමුත් අපි කෙටි කාලයක් තුළ මාස පහක් ඇතුළතත් සංචාරකයන් ලක්‍ෂයක් ගෙන්වාගත හැකි වුණා. මේ වනවිට දෙලක්‍ෂ අසූදහස ඉක්මවලා සංචාරකයෝ ලංකාවට ඇවිත් තිබෙනවා. ඩොලර් මිලියන 500 ගාණක ආදායමක් ඉන් රටට ලැබිලා තියෙනවා. ඒ නිසා විපක්‍ෂයට යම් ගැටලූවක් මතුවෙලා තියෙනවා ඔවුන් යළි රට අරාජික කරලා විදේශිකයන් ඒම නතර කරන්න හදනවා. මේ රට තුළ ප‍්‍රශ්න තියෙනවා. ඒවා අපි හදපු ඒවා නෙවෙයි. නිදහසින් පස්සේ රට පාලනය කරපු දේශපාලන පක්‍ෂ කරපු ඒවා තමයි මේ අපි ගෙවමින් සිටින්නෙ.

නායකත්වයක් නැති වුණොත් සටන අයාලේ යනවා – හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා

මිරිහානේ සිදුවුණේ අරගලයක්…! නෑ… කඩාකප්පල්කාරී ක්‍රියාවක්…!

උත්තරයක් නැති වූ විට ජනතාව අරගලවලට යනවා. පීඩනය පිටකරන්න කටයුතු කරනවා. තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ඉඳලා ගෙදරට ගියාම විදුලිය නෑ. ගෙදර ප‍්‍රශ්න පිරිලා. එතකොට පාරට බැහැලා මේ ආකාරයට විරෝධය පළ කරන්න කාටද නොහිතෙන්නේ. නමුත් සංවිධානාත්මක නායකත්වයක් නොමැතිව මේ ආකාරයට විරෝධය පළ කළ යුතු නෑ. අවංක චේතනාවෙන් පාරට බහිනවා ඇති. පීඩනය දරාගත නොහැකිව ඒ තැනට පත්වෙනවා ඇති. නමුත් පටන්ගන්නෙ කොතැනින්ද අවසානය කොතැනද නොදැන මෙහෙම කටයුතු කළහම අන්තිමට වෙන වෙන අය ඒකෙ වාසිය ගන්න පුළුවන්. 83 කළු ජූලියත් ඒ වගේ එකක්. ලෝකෙ වගේම ලංකාවෙත් මෙවැනි අරගල අන්තිමට සතුරාට වාසිසහගතව අවසන් වූ අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නෙ ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නෙ මේ ජනතා විරෝධී ආණ්ඩුව පළවාහැරීමට සංවිධානාත්මකව, නායකත්වයක් යටතේ සිදුකරන්න එක්වන ලෙසයි. මේ ජනතා විරෝධී ආණ්ඩුව පළවාහැරලා මේ වගේම ආණ්ඩුවක් අරන් වැඩක් නෑ. මිරිහානෙ සිද්ධියෙන් වූ විනාශය බලන්න. අන්තිමට මේ ජනතා නැගීටීම් සතුරාට වාසි වන විදිහට නිමාවිය හැකියි. ඒ නිසා ජනතා විරෝධී ආණ්ඩුව පළවාහැර ජනතා ප‍්‍රශ්න විසඳීම සඳහා සංවිධානාත්මකව, නායකත්වයක් යටතේ කටයුතු කරන්න පෙළගැහෙමු. නමුත් මේ ආණ්ඩුව පළවාහැර මේ වගේ තවත් එකක් නොගත යුතුයි කියන කාරණයත් මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment