මිල්ලනියේ පාසලක දරුවන්ට පහර දීම අද උසාවිය හමුවට

255

බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ පාසලක 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුවන් තිදෙනකු සම්බන්ධයෙන් අමානුෂික ලෙස කටයුතු කළ බව කියන එම පාසලේ විදුහල්පතිනිය, ගුරුවරියක සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනකු පිළිබඳව අද (8 දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරවංශ මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම පාසල් විදුහල්පතිනිය, ගුරුවරියන් හා පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු ප්‍රකාශ ලබාගැනීම සඳහා ළමා රක්‍ෂණ අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවීම් කර ඇතැයි ද ඒ මහතා කීය.

පහරකෑමට ලක්වූ දරුවන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පහරකෑමට ලක්වූ දරුවන්ගේ දෙමාපියන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව විමර්ශන ආරම්භ කර ඇතැයි ද අමරවංශ මහතා පැවසීය.

පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බිය අස්ථානගත වීමේ සිද්ධියක් මුල් කරගෙන 5 වැනි ශ්‍රේණියේ ළමුන් 12දෙනෙකු විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් විසින් රඳවා තබාගෙන දඬුවම් කර පොලිසියට භාරදී ඇති බවත් එහිදී පොලිසිය ද දරුවන්ට පහර දී ඇති බවට ළමා රක්‍ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇති බවත් ඒ මහතා කීය.

පොලිසිය දරුවන් ජීප් රථයකින් රැගෙන යමින් සිටිය දී එක දරුවකුට වයරයකින් විදුලි සර වැද්දවීමට ද කටයුතු කළ බව දරුවකු ළමා රක්‍ෂක අධිකාරියේ නිලධාරීන්ට පැමිණිලි කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්

සිද්ධිය සොයන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් කමිටුවක්

බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධනේ සොයාබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද කමිටුවක් පත්කර ඇත. ඒ අනුව කමිටුවේ නිලධාරීන් කණ්ඩායමක් එම පාසලට ගොස් සිද්ධිය පිළිබඳව සොයා බැලීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.

සොරකමක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන් කිහිපදෙනකු එම පාසලේ සිසුන් පිරිසකට පහරදී අනතුරුව ඔවුන් පොලිසියට භාරදී ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට මෙම කමිටුව පත්කර ඇති බවත් ඔවුන් ලබාදෙන වාර්තාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට භාරදීමට කටයුතු කරන බවත් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment