මිල්ලනියේ විදුහල්පතිනියට හා පොලිසියේ දෙදෙනාට ඇප

475

පන්ති කාමරය තුළදී ගුරුවරියකගේ මුදල් පසුම්බියක් අස්ථානගත වීමේ සිද්ධියක් මුල්කරගෙන බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ පිහිටි පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති එම පාසලේ විදුහල්පතිනිය, මිල්ලනිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේවින්ද පෙරේරා මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

පසුගිය 8 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නඩුව ලබන ජනවාරි 18 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන මූලික විමර්ශන මේ වනවිට අවසන් වී ඇති බවත් එලෙස පහරකෑමට ලක්වූයේ යැයි කියන පාසල් සිසුන් අතරින් කිහිපදෙනකු වෛද්‍ය පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ භාරකරුවන් අකැමැත්තක් දක්වන බවත් ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන් (13275) ලක්ෂ්මන් මහතා අධිකරණයට පැවසීය.

සිය සේවාදායකයන්ට විමර්ශනවලට බාධාවක් සිදුකිරීමට හෝ ඒ සඳහා මැදිහත්වීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, රසික සංජීව බමුණුහේන්දර, අචිනි උමයංගනා ඇතුළු නීතීඥ මණ්ඩලය අධිකරණයට පැවසූහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment