මිලිටරිමය පාලනයකට යන්න  රට අරාජික කරනවාද කියා සැකයි – අනුර කුමාර දිසානායක

215

● මහින්ද ඇතුළු අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණකරුවන් වහාම අත්අඩංගුවට ගන්න ඕනෑ

● අරගලය ප්‍රචණ්ඩ වෙන්න නොදීම නීතිය පසිඳලන අයගේ වගකීමක්

● දේශපාලන ස්ථාවරභාවය රැකගන්න

● මැතිවරණයකට පිරිවැයක් දැරිය යුතුයි

● ප්‍රචණ්ඩත්වය වැපිරූ රාජපක්‍ෂලාට යටි අරමුණක් තියෙන්න ඇති

● මහින්ද රාජපක්‍ෂට චරිත දෙකක් තියෙනවා

මහින්ද රාජපක්ෂ මහතාගේ ඔළුවේ තිබූ මෘග කුමන්ත්‍රණය අසාර්ථක වුවත් යම් මිලිටරිමය පාලනයක් ඇතිකර ගැනීම සඳහා අරාජිකත්වය යොදවා ගන්නේද යන්න ගැන දැඩි සැකයක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11 වැනිදා) සඳහන් කළේය.

ඇඳිරිනීතිය පනවා පොලිසිය සහ හමුදාව යොදවා තිබියදී පවා ප්‍රචණ්ඩකාරීත්වය පැතිරවීම පිටුපස ඉතා පැහැදිලිව ආණ්ඩුවේ දේශපාලන වුවමනා ඇති බව පැහැදිලි බවත් කී හෙතෙම එබැවින් මේ මොහොතේ ප්‍රචණ්ඩකාරීත්වය වැළැක්වීම ජනතාවගේත් වගකීමක් බවත් කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11 වැනිදා) එම අදහස් පළ කළේ පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

මේ මොහොත වනවිට අග්‍රාමාත්‍යවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැති, ආණ්ඩුවක් නැති විශාල දේශපාලන අස්ථාවරභාවයක් තිබෙනවා. ජනාධිපතිවරයා පමණක් රට පාලනය කරන තත්ත්වයට පත්වී තිබෙනවා. එම ජනාධිපතිවරයාත් ඔහුගේ ක්‍රියා කලාපයත් රටේ ජනතාව විසින් පිළිගන්නේ නැහැ. මේ නිසා රට තුළ විශාල දේශපාලන අස්ථාවරභාවයක් ඇතිවී තිබෙනවා. මෙම තත්ත්වයට පිළිතුරු සෙවීමට පෙර රට තුළ මේ මොහොතේ ඇතිවී තිබෙන තත්ත්වයට ක්ෂණික විසඳුම් ලබාදිය යුතුයි.

අද වනවිට රට තිබෙන්නේ අඛණ්ඩව දින තුනකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය යටතේයි. හදිසි නීතිය පනවා තිබෙනවා. සාමාන්‍ය තත්ත්වය වෙනුවට කැළඹිලිකාරී නොසන්සුන් තත්ත්වයක් පවතිනවා. රට තුළ පවතින අස්ථාවරභාවය අවසන් කිරීමට පෙර මෙම තත්ත්වයට ක්ෂණික විසඳුම් ලබාගත යුතුයි. එහිදී විශේෂයෙන්ම මාස දෙක තුනක් මුළුල්ලේ සාමකාමී උද්ඝෝෂණ පැවතුණා. ප්‍රචණ්ඩකාරීත්වයට කිසිම ඉඩක් තිබුණේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයට මැර කණ්ඩායම් කැඳවා ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කොට ප්‍රචණ්ඩකාරීත්වයක් ඇති කළා. රට සන්සුන් කරන්න නම් පළමුකොටම අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතුයි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු ආදී විවිධ පුද්ගලයන් රාජ්‍ය බලය යොදාගත් බව පැහැදිලියි. ඔවුන් සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතුයි.

මේ වනවිට ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සඳහා පවතින අරගලය යම් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. පෞද්ගලික පළිගැනීම් සහ මංකොල්ලකෑම් දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. නීතිය පසිඳලන ආයතන වර්ධනය වෙමින් පවතින මෙම තත්ත්වය වැළැක්වීම සඳහා කියාමාර්ග ගත යුතුයි. පොලිස්පතිවරයා තමන්ගේ වගකීම් ඉටුකරමින් මෙම තත්ත්වය වැළැක්වීමට වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඉන් පසුව මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා පොදු ජනතාවට පැවරී තිබෙන වගකීම් නිසි ලෙස තේරුම් ගෙන ක්‍රියාකළ යුතුයි. පොදු ජනතාවගේ වේදනාකාරී පීඩාකාරී අත්දැකීම් තුළින් පැනනැගුණු විරෝධයන් සැලසුම්සහගත මංකොල්ලකෑම් සහ ප්‍රචණ්ඩත්වය දක්වා යන තත්ත්වයට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. එය පොදු ජනතාවගේ මූලික වගකීමක්. ප්‍රචණ්ඩකාරීත්වය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රචණ්ඩකාරීන්ට කිසිසේත්ම අනුබල නොදිය යුතුයි.

මේ තත්ත්වය ඉක්මනින් සමනය කර නොගෙන අස්ථාවරත්වයට ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකියි. කෙටි කාලයකට ඇතිකර ගන්නා ස්ථාවරභාවය ස්ථිර වශයෙන්ම පවත්වාගෙන යෑම සඳහා යෝජනාවලියක් ජාතික ජන බලවේගය රට හමුවේ තබනවා.

මැතිවරණය සඳහා වැය වන මුදල් පිළිබඳව ඇත්ත ප්‍රශ්නයට වඩා මවපු තත්ත්වයක් තිබෙන්නේ. පසුගිය මැතිරවණය සඳහා වියදම් කළේ රු. බිලියන 08යි. හදිසියේ දැන් මැතිවරණයක් පැවැත්වීමට බිලියන 13ක් අවශ්‍ය බව මැතිවරණ කොමිසම යම් අවස්ථාවක ප්‍රකාශ කර තිබුණා. බැසිල් රාජපක්ෂ පසුගිය ජනවාරි 05 වැනිදා ඉදිරිපත් කළ පැකේජයට බිලියන 239ක් වැයවෙනවා. මේ අනුව බිලියන 13ක් කියන්නේ විශාල පිරිවැයක් නෙවෙයි. දේශපාලන ස්ථාවරභාවයක් ඇතිකර ගැනීමට යම් පිරිවැයක් දැරිය යුතුයි. දැන් මේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීම ඊට වඩා දරුණුයි. සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත, ඇතුළු සියලු ආර්ථික ක්ෂේත්‍ර විශාල වශයෙන් කඩාවැටෙමින් තිබෙනවා. එය නවත්වා ගැනීම සඳහා දේශපාලන ස්ථාවරභාවයක් වෙනුවෙන් මැතිවරණයකට දරන පිරිවැය අත්‍යවශ්‍ය බව පැහැදිලි වෙනවා.

ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් සමග සාකච්ඡා කරන්න අපි සූදානම්. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකම කොන්දේසියක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ තබාගෙන ක්‍රියාත්මක කළ යුතු යෝජනා මෙයට පෙර තිබුණා. නමුත් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයේ තබාගෙන ක්‍රියා කිරීමට පොදු ජනතාව කිසි සේත් සූදානම් නැති බව පැහැදිලියි.

ඇතිවී තිබෙන ප්‍රචණ්ඩකාරී ස්වභාවය වහාම නැවැත්විය යුතුයි. තැන තැන සිදුවන මංකොල්ලකෑම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා තව තවත් ආර්ථිකය ප්‍රපාතයට හෙළීමට හේතු වෙනවා. ඇඳිරි නීතිය පනවා තිබුණත් තවදුරටත් ඒවා නොපිළිගන්නා තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මේ නිසා පොලීසිය සහ පොලිස් දෙපාර්තමේන්තුව තමන්ට පැවරී තිබෙන වගකීම්වලට අනුරූපව කටයුතු කළ යුතුයි. ඒවගේම ප්‍රචණ්ඩකාරීත්වය වැළැක්වීමට කටයුතු කිරීම පොදු ජනතාවගේත් වගකීමක්. රාජ්‍ය අනුග්‍රහයෙන් ඇතිකළ ප්‍රචණ්ඩත්වය ඉතාමත් සැලසුම් සහගතව වැපිරූ ප්‍රචණ්ඩත්වය තුළින් ගෝඨාභය රාජපක්ෂටත් මහින්ද රාජපක්ෂටත් යටි අරමුණක් තිබෙන්න ඇති. නමුත් ආණ්ඩුවේ එම මෘග ප්‍රහාරයන්ට විරුද්ධව ජනතාව මේ තරම් පෙළගැසේ යැයි ඔවුන් කිසි විටෙකත් අපේක්ෂා නොකළ බව පැහැදිලියි. ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය ක්ෂණිකව පෙළගැසී ගෝල්ෆේස් පිටිය දක්වා ගමන් කළා.

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමේ යම් සූදානමක් තිබුණු බවට ප්‍රචාරයක් තිබුණා. ඒ තමයි ප්‍රබන්ධ මහින්ද රාජපක්ෂ. ඔහුට හැමදාමත් ද්විත්ව ස්වරූපයක් තිබුණා. එක් පැත්තක් මාධ්‍ය හරහා දියත් කළ ප්‍රචාර වගේම කවි, ගීත ලියා ඔහු පිළිබඳව ගොඩනගා තිබෙන ප්‍රබන්ධ රාජපක්ෂ හිටියා. හැබැයි අරලිය ගහ මන්දිරයේ හිටියේ ඇත්ත මහින්ද රාජපක්ෂ. ජනතාව ඔහුට ඉවත් වෙන්න බල කරනකොට අරලියගහ මන්දිරයේදී ඔහු ප්‍රකාශ කළේ එම ජනතාව මර්දනය කරන්න සූදානම් බවයි. ඒ බව ප්‍රකාශ කළ සැණෙකින් ඊට අදාළ ක්‍රියාමාර්ග දියත් කළා. මහින්ද රාජපක්ෂගේ ද්විත්ව ස්වරූපයේ ඉතාමත් භයානක මෘග ස්වරූපය තමයි අරලියගහ මන්දිරයෙන් ඉවත් කළේ. රටම බියජනක තත්ත්වයට පත්කර ඔහු ඉල්ලා අස්වුණා.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නීතිඥ උපුල් කුමරප්පෙරුම, ආචාර්ය අනුර කරුණාතිලක යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment