මිලිටරි අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය දෙකම නසන කේ.ඩී.යූ. පනත…

759

2021 ජූලි මස 25 වැනි ඉරිදා ‘‘දිවයින’ පුවත් පතෙහි පළ වු කේ. ඞී. යූ. එක යූ. ජීසියේ සියලූම නීති අනුගමනය කරනවා යන ශීර්ෂයෙන් උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා දක්වා තිබු අදහස් කිහිපයකට කරුණු දැක්වීම මෙම ලිපියේ එක් අරමුණකි. එසේම මේ වනවිට සමාජයේ පෘථුල සංවාදයක් මෙන්ම තීව‍්‍ර විරෝධයක් මතුව ඇති ජනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය පනත පිළිබඳ සාමාන්‍ය ජනතාව මුලා නොකර අනාවරණය කළ යුතු තොරතුරු පැහැදිලි කිරීම ද තවත් අභිලාෂයකි.
 
 1981 සිට ශ‍්‍රී ලංකාවේ මිලිටරි ක්‍ෂේත‍්‍රයට අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පිරිනමමින් සිටින කීර්තිමත් ආයතනයක් ලෙස කොතලාවල ඇකඩමිය හැඳින්විය යුතුය. එම ආයතනය පිහිටුවා ඇති මූලික පනතම කියා සිටින්නේ එමගින් විශේෂිත පිරිසකට උසස් අධ්‍යාපනය පිරිනමන බවයි. එනම් හමුදාමය ක්‍ෂේත‍්‍රවල කැඩෙට් නිලධාරීන් උදෙසාය. වර්ෂ 2007 සිට මෙම ආයතනය විශ්වවිද්‍යාලයක තත්ත්වයට සංශෝධන පනතක් මගින් පරිවර්තනය කර ඇත. දැනට කතාබහට ලක්වන නව පනත 2018 දී ප‍්‍රථම වරට ද 2021 දී දෙවන වරටද පාර්ලිමේන්තුවට ගෙන එන්නේ යට කී සරසවිය ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කරමිනි. ඉතිහාස තොරතුරුවලට වඩා මා වඩාත් ප‍්‍රවේශ වන්නේ ප‍්‍රධාන ගැටලූව දෙසටය. එනම් මේ අභිනව පනතට මුළු මහත් සමාජයේම දැඩි විරෝධය එල්ල වන්නේ ඇයි ද යන කේන්ද්‍රීය ප‍්‍රශ්නය විවරණයට ය. එය පදනමක් තර්කයක් සහිත මහජන අරගලයක් දක්වා මෝරා ගොස් ඇත්තේ මන්ද යන්න පරීක්‍ෂා කිරීමටය.
 
 * අධ්‍යාපනය යනු ශිෂ්ටාචාරමය කාර්යයකි.
 
 මා අධ්‍යාපනය අර්ථකථනය කරන්නේ ශිෂ්ටාචාරයක වගකීමක් දරන, කිසි විටෙකත් වෙළෙඳ භාණ්ඩයක් විය නොයුතු අමිල අවකාශයක් ලෙසය. විශ්වවිද්‍යාලයක් යනු ද හුදු ආයතනයක් නොව අධ්‍යාපන ප‍්‍රවේශයකි. සංකල්පමය අඩවියකි.
 
 එය නීති රීති මගින් පමණක් ශික්‍ෂණය කළ හැකි වට්ටෝරුවකට අනුව භාණ්ඩ නිපදවන කම්හලක් නොවේ. කොතලාවල සරසවිය සම්බන්ධව අසන්නට ලැබෙන ප‍්‍රධාන තර්කයක් නම් එය නීති රීති රැකෙන විනය උපරිම ලෙස සැලකෙන අඩවියක් බවය. එහි අසත්‍යයක් නැත. මිලිටරිමය ආයතන යනු දැඩි ලෙස විනයගත ක්‍ෂේත‍්‍රයකි. එම විනය යනු අණ පිළිපැදීමය. විනය යනු අණ පිළිපැදීම ඉතා පෘථුල ලෙස ඉක්මවා ගිය දියුණු මනුෂ්‍ය ක‍්‍රියාවකි. එසේම හමුදා විනය සහ සාමාන්‍ය සිවිල් සමාජයේ විනය යනු කිසිම ලෙසකින් සමාන ලෙස පිළිගත යුතු අඩවි නොවේ. සාමාන්‍ය සිවිල් සමාජයේ විනය යනු මනුෂ්‍ය ජීවිතවල සංකීර්ණතා සහ ආවේණිකතා ද සම`ග මෝරා ගිය දඬුවම් මගින් පමණක් ශීක්‍ෂණය කළ හැකි විෂය පථයක් නොවේ. කොතලාවල පනත මගින් කර ඇති අවුලක් නිසා මෙම තේමාවට පාර විවෘත වේ.
 
 එනම් එම පනත මගින් හමුදාව සහ සිවිල් සමාජයේ සිසු සිසුවියන් එකම පරිශ‍්‍රයක එකම නීතිරීති මගින් පාලනය වන එකම ව්‍යුහයකට ඇතුළු කිරීමය. එකම ප‍්‍රපංචයක් ලෙස පිළිගැනීමය. එය නීතිය මගින් ද සදාචාරය කෙරෙන් ද සාමාන්‍ය සමාජ සම්මතය අනුව ද වියවුලක් නිර්මාණය වීමකි. සමාජ කම්පනයකට මග කීමකි. අද සිදුව ඇත්තේ එයයි.
 
 රාජ්‍ය සරසවි, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, බහුජන සංවිධාන කලා සංස්කෘතික ක‍්‍රියාකාරිකයන් අද වීථි බසිමින් මාධ්‍ය සාකච්ඡා තබමින් ඉල්ලා සිටින්නේ මේ දෙක වෙන් කරන ලෙසය. නිර්වචනයක් ලෙස ද ප‍්‍රායෝගික ලෙස ද හමුදාව සහ සිවිල් ප‍්‍රජාව එකට පාලනය කිරීම කළ නොහැකිය. පරමාර්ථ සහ භාවිතය අතින් ඔවුහු නොගැළපෙති. දුරස්ථ වෙති. අරගලකරුවන් සරල ලෙස ඉල්ලා සිටින්නේ මේ මූලික, ප‍්‍රාථමික හා දියුණු තීරණය රැගෙන සමාජය අනාගතයේ යා හැකි මහා වියවුලකින් මුදන ලෙසයි. පනතෙහි අභ්‍යන්තර ව්‍යසනය මේ මූලික තර්කය දහස් ගුණයකින් අගාධයකට යොමු කර ඇත.
 
 යට කී පුවත්පත් ලිපියෙහි තේමාවම සාවද්‍ය. ජනතාව නොමග යවන සුළුය. එනම් කේ. ඞී. යූ. එක විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි සියලූ නීති අනුගමනය කරනවා යන්න අසත්‍යයකි. මේ නව පනත තනිකරම මිලිටරිමය අවශ්‍යතාව පමණක් ආරක්‍ෂා කරන්නකි. යූ. ජීසිය දැනට පවතින රාජ්‍ය සරසවි පාලනය කරන්නේ එසේ නොවේ. එහි අඩුලූහු`ඩුතා ඇත ද තුලනය සහ සංවරණය රැකෙන සේ සරසවි පද්ධතිය මහජන මුදලට ගෞරවය දෙමින් යට කී ශිෂ්ටාචාරමය වගකීම ආරක්‍ෂා කරයි.
 
 * කේ.එන්.ඞී.යූ. යනු ශ‍්‍රී ලංකාවේ නවතම යූ.ජී.සී. එකකි
 
 නව පනත මගින් සිදු කෙරෙන බරපතළම වියවුල නම් දැනට පවතින යූ. ජීසියට සමාන හෝ හැම අතින්ම එය ඉක්මවා යන ප‍්‍රබල ආයතනයක් අලූතින්ම ස්ථාපිත වීමයි. උසස් අධ්‍යාපනය නියාමනය කෙරෙන ප‍්‍රතිපාදන සම්පාදනය කෙරෙන සමාන්තර තවත් යූ. ජීසියක් බිහි වීමයි. මෙය දැඩි අනර්ථයක් ඇති කරවන්නකි.
 
 military

දැනට තිබෙන රාජ්‍ය සරසවි පද්ධතිය පාලනය කෙරෙන යූ. ජීසිය නම් ව්‍යුහය ස්ථාපිත කර ඇත්තේ සරසවි පද්ධතියට පිටතිනි. පද්ධතියට වඩා ඉහළිනි. එහෙත් කොතලාවල පනත මගින් එම සරසවිය පාලනය කරන ව්‍යුහය එම සරසවිය තුළම ස්ථාපිත කරයි. මෙය සාමාන්‍ය සරල දැනුමට වුවද අපරාධයක් ලෙස පෙනී යා යුතුයි. ඊට අමතරව සිසුන් බඳවා ගැනීම, උපාධි පිරිනැමීම, පාඨමාලා සම්පාදනය, ආචාර්යවරුන් හා සේවකයන් බඳවා ගැනීම, ඒ අය ඉවත් කිරීම, උසස්වීම් කිරීම, ද`ඩුවම් කිරීම, සරසවිය හා සම්බන්ධ අතිරේක ආයතන පාසල් ව්‍යාප්ත කිරීම, මුදල් අය කිරීම එම මුදල් පිළිබඳ තීරණ ගැනීම, පාඨමාලා ගාස්තු නිශ්චය කිරීම ආදී සියල්ල මෙම සරසවියේ උසස්ම අංශය වන පාලක මණ්ඩලයට පමණක් යටත් කර ඇත. එම ක‍්‍රමවේද කිසිවක් දැනට තිබෙන ප‍්‍රතිපාදන කොමිසමේ නිර්ණායක සමග එක`ග නැත. දැනට තිබෙන කේ. ඞී. යූ. සරසවියට සිවිල් සිසුන් බඳවා ගැනීම හා උපාධි පිරිනැමීම දැන් කාලයක සිටම කරගෙන යයි. ඒ සම්බන්ධ සම්මත කරගත් පනතක්, ගැසට් පත‍්‍රයක් ද නැති බව බොහෝ අය පෙන්වා දී තිබුණි. මෙය හමුදා සරසවියක් නිසාම මේ තත්ත්වය කිසිවකු ප‍්‍රශ්න කර නැත. ඒ අනුව දැනට කර ඇති සිවිල් බඳවා ගැනීම් ද නීති විරෝධීය. එය වෙනම සාකච්ඡා කළ යුතුය. හරි නම් වහාම මේ සිවිල් සිසුන් හැකි ඉක්මනින් රාජ්‍ය සරසවි වෙත අනුයුක්ත කළ යුතුය. සාකච්ඡා ඇරඹිය යුත්තේ එය නිවැරදි කළ පසුය.
 
 නව පනත මගින් එම සරසවිය පාලනය කරන ව්‍යුහයන් කිහිපයක් නිර්මාණය කර ඇත. එය හැම අතින්ම දැනට තිබෙන සරසවි ව්‍යුහයම බව යට කී මිලින්ද පීරිස් මහතාගේ ලිපිය සහ මේ ප‍්‍රයත්නය සාධාරණීකරණය කරන සියල්ලෝම පුනපුනා කියති. මෙය අපරාධ වරදකි. බොරුවකි. සමාජයට තොරතුරු වසං කිරීමකි. මුලා කිරීමකි. ඔබ දියුණු පුරවැසියන් නම් මේ ප‍්‍රචළිතව ඇති පනත ගෙන අධ්‍යයනය කරන්න. සවිඥානික මව්පියන් නම් එය වටහාගෙන දරුවන් මේ මිලිටරි ආයතනය තුළට යවන්න. ඉන් පසු එම දරුවන් පූර්ණ මිලිටරි මනසක්, මිලිටරි ශීක්‍ෂණයක් සහිත වීම ගැන පසුතැවිලි නොවන්න. එහෙත් ඔබ මේ කරුණ ද අමතක නොකරන්න. එම හමුදා ශීක්‍ෂණය සහිත තරුණ පිරිසට ශ‍්‍රී ලංකාවේ සියලූ බුද්ධිමය ක්‍ෂේත‍්‍ර භාර දිය නොහැකි බවයි. යෝජිත කොතලාවල සරසවියේ පාලක මණ්ඩලයේ ස්වභාවය එහි පස්වැනි කොටසහෙි විස්තර කර ඇත. මණ්ඩලයේ පුද්ගලයන් 09 කි. ඉන් 07 ක්ම පූර්ණ වශයෙන් මිලිටරි නියෝජිතයන්ය. එතන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, හමුදා උපකුලපති, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි, ත‍්‍රිවිධ හමුදාපතිවරු සිටිති. මෙය තනිකර හමුදා ව්‍යුහයකි. ඒ අය යුද්ධයට ප‍්‍රවීණ විය හැකිය. සරසවියක් බඳු ප‍්‍රඥාවේ ගිරි මුදුනක් සිවිල් බුද්ධියේ පාරාදීසයක් කිසිසේත් පාලනය කළ නොහැකිය. යටත් පිරිසෙයින් එබඳු අඩවියක් වටහා ගැනීම හෝ කළ නොහැකිය. මන්ද ඔවුන්ගේ පුහුණුව සහ කුසලතාව මේ ක්‍ෂේත‍්‍රයට දශමයක හෝ සම්බන්ධයක් නැත. අපි ඔවුනට අපමණ ලෙස ගුරු කරමු. එහෙත් මිලිටරියට විශ්වවිද්‍යාලය කිසි ලෙසකින් නොපවරමු. යට කී මණ්ඩලයේ සිවිල් නිලධාරීන් දෙදෙනෙකි. කෙනකු යූ.ජීසියේ නාමිකයෙකි. අනෙකා මහා භාණ්ඩාගාරයේ නාමිකයෙකි. මේ හුදු සරල, සිවිල් කේවල පුද්ගලයන් දෙදෙනාට අර හමුදා වළල්ල තුළ කිරීමට කිසිවක් නැත. යළිදු කියමි. හමුදා සිසුන්ට එම මණ්ඩලය සුදුසුය. අප ප‍්‍රශ්න කරන්නේ එබඳු තැනක සිවිල් සිසුන් ද සිටීම ගැන පමණි.
 
 * හමුදා දණ්ඩ නීති සංග‍්‍රහයක් බඳු ශිෂ්‍ය අත්පොත
 
 දැනට බඳවාගෙන ඇති සිසු සිසුවියන් සඳහා ඇති ශිෂ්‍ය අත්පොත ඔබ දන්නේ නම් සාමාන්‍ය විශ්වවිද්‍යාලයක අර්ථයෙන් දරුවන් එහි යවන්නේ නැත. එය එක්තරා දණ්ඩ නීති සංග‍්‍රහයකි. ප‍්‍රථම උපාධියේදී විවාහය තහනම්ය, එම උපාධි කාලයේදී ගර්භණී භාවයට අවකාශ නැත. ගුරුවරුන් සම`ග අනවශ්‍ය ලෙස වාද විවාද තහනම්ය. අනවශ්‍ය ලෙස රැස්වීම, සංවාද කිරීම තහනම්ය. මේ සියල්ලටම උපකුලපතිවරයාගෙන් අවසර ගත යුතුය. හරි නම් මේවාට දෙමාපියන් වෙනම අධිකරණ ක‍්‍රියාමාර්ග ගත යුතුය. මේ කඩවී ඇත්තේ මූලික මානව අයිතිවාසිකම් ය. සමාජය විසින් දිගුකල් රැකගත්, විශ්වීය මට්ටමින් නීතිගත කර ඇති හිමිකම්ය. සංවාද, විසංවාද, විවේචන සංස්කෘතික කලා අවකාශ චින්තන නිදහස ප‍්‍රශ්න කිරීමේ අයිතිය ඇඳුම් ඇඳීම ඇතුළු සාමාන්‍ය දෛනික හැසිරීමේ නිදහස ආදී විසල් පැවැත්ම මගින් සරසවි, සරසවි බවට පත් වේ. මෙතැන ඒ සියල්ල සාංරාධී ලෙස මරා දමා ඇත. යළි කියමි. ඒ සියල්ල හමුදා පුහුණුවට විනයට පිරිමසයි. සිවිල් ජීවිතය සම`ග නොගැළපෙයි. ‘නිල ඇඳුම අනිවාර්යයි, එතකොට පංති භේදයක් නෑ’ යනුවෙන් යට සඳහන් කළ දිවයින ලිපිය කියයි. නිල ඇඳුම මගින් සමාජයක පංති භේදය මකා දැමිය හැකි බව කීම මුග්ධ අදහසකි. අඩුම තරමින් හමුදාවට හෝ නොගැළපෙන තරමේ අපරිණත මතයකි. මුලාවකි.
 
 * මිලිටරිකරණය යනු තියුණු සංකල්පයකි.
 
 නව පනතට එල්ල වන විරෝධයේ ප‍්‍රධාන තේමා පාඨයක් නම් මිලිටරිකරණයයි. මෙය ඉහත ප‍්‍රබල අදහසකිි. අපට හමුදාව පිළිබඳ තීව‍්‍ර ගෞරවයක් ඇත. දැන් අපේ අති විශාල හමුදාව ගොවිතැන් කිරීම ඇතුළු සාමාන්‍ය ජන ජීවිතයේ බොහෝ අඩවිවලට පැමිණ ඇත. ඔවුන්ගේ කාර්යශූරත්වය, විනය, පිළිවෙළ ඉහළ ය. එම තර්කය නිසාම ඔවුනට සමාජ දේහයේ ඕනෑම විෂය පථයක් ‘හරියටම’ කළ හැකි ලෙස සිතීම මුලාවකටත් වඩා අපරාධ අදහසකි. කාලන්තරයක් තිස්සේ දියුණු කළ, සාධනය කළ දහසක් විෂය පථ හමුදාවට කෙසේවත් කළ නොහැකිය. කළ යුතුද නැත. මෙසේ සිතවන ජන මනස සිවිල් සමාජ මූලධර්ම කෙරෙන් පලා යයි. බොහෝ සමාජ ව්‍යසනවලට හමුදාවේ කාර්ය ශූරත්වය ලබාගැනීමට වඩා ඒ ඒ අඩවි පූර්ණ ලෙස හමුදාවට පිරිනැමීම සමාජයක් ලෙස අර්බුද රැසකට මග කියයි. යට කී මිලිටරි මනස සහිත සරසවි සිසුන් දිගුකාලීනව සමාජගත වීම ඔබට සිතාගත නොහැකි ලෙස දුර්විපාක ඇතිකරවන බව පමණක් දැනට කිව හැකිය.
 
 * කොතලාවල යනු රාජ්‍ය පෞද්ගලික සරසවියකි
 
 මේ අමුතුම මාදිලියකි. කොතලාවල සරසවිය දැනට ද ඉදිරියට ද නඩත්තු වන්නේ ජනතා අරමුදල් මගිනි. රාජ්‍ය වියදමෙනි. එහෙත් එය මුදල් අය කරයි. පිටරටට ඇදී යන මුදල් මේ මගින් නතර වන බව තවත් තර්කයකි. මේ සියල්ල පටලවා ඇත. උසස් පෙළ සමත් වන සිසුන්ට රාජ්‍ය සරසවි පුළුල් විය යුතුය. එය අපේ දෛනික ඉල්ලීමකි. එය කළ යුතුය. ඒ (A) සාමාර්ථ 3 ක් සහිතව සරසවි වරම් අහිමිව නිවසේ නතර වන සිසුන් අදට ද අපමණය. එය නතර කළ යුතුය. රාජ්‍ය නියාමනය යටතේ සාධාරණ පදනම් සහිතව පිළිගත් නිර්ණායක මත යම් ගාස්තු අයකිරීමක් සිදුකර යට කී විදේශ විනිමය අවශ්‍ය නම් රඳවා ගත හැකිය. ඒ සඳහා මිලිටරි හා සිවිල් ප‍්‍රජාව මිශ‍්‍ර කර නැති වියවුලක් අලූතෙන් ජනිත කිරීම අවශ්‍ය නැත. මේ ජනයා මුලාකර අවශ්‍යතා රැසක් එකවර ඉටුකර ගැනීමකි. දැනට පවතින රාජ්‍යයට අවශ්‍ය ලෙස කීකරු ප‍්‍රශ්න නොඅසන අනාගත නිවට ප‍්‍රජාවක් බිහිකරලීමේ වෙස් ගැන්වූ වුවමනාවට පාර කැපීමකි.
 
 * නව පනත සහ අමාත්‍ය බලතල
 
 නව පනත මගින් අරක්‍ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයාට අසීමිත හා අතාර්කික බලයක් පිරිනමා ඇත. විශ්වවිද්‍යාලය පාලනයට ඔහු ඕනෑම නියෝගයක් යට කී පාලක මණ්ඩලයට පැනවිය හැකිය. ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි ඔහු සිතන්නේ නම් ඕනෑම අවස්ථාවක එය වැළැක්වීමට ඔහු තීරණය කරන ඕනෑම දෙයක් කිරීමට බලය පිරිනමා ඇත. පුපුරන ද්‍රව්‍ය හා ආයුධ භාර ලූතිනන් කර්නල්වරයකු අධි බලැති තනතුරක පිහිටුවා ඇත. මූලස්ථානය නම් අමුතු ආයතනයක් මේ ව්‍යුහය තුළ ඇත. සනාතන සභා පීඨ මණ්ඩලවල තවතවත් හමුදා තනතුරු නිල බලයෙන් රඳවා ඇත. තොරතුරු ලබාදීම සඳහා නීතියෙන් බැඳුණු අය සරසවි සිසුන් ලෙස ද සිටිය හැකි බව පනත මගින්ම කියා සිටියි.
 
 ලාභ ලැබීම, භාණ්ඩාගාරයට බරක් නොවීම හා විනිමය ඉපැයීම යන වචන මගින් අ`ගවන්නේ ඔවුන් සිතන අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවයි. එය සපුරා සාවද්‍ය. අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය උදාර සංස්කෘතික ජයග‍්‍රහණයකි. නිදහස් අධ්‍යාපනයෙන් වරම් ලබා අද ලංකා සමාජයේ සිටින සියලූ පුරවැසියන් මේ පනත ගැන උනන්දු විය යුතුය. පනතට මුවා වී ගෙනඑන සාපරාධී සමාජ ව්‍යසනය වටහා ගත යුතුය. මේ තොරතුරු දැන් ඔබට පහසුවෙන් සොයාගත හැකිය. අපගේ අර්ථකථනයට හෝ සීමා වී නොසිටින ලෙස මම ඇරයුම් කරමි.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි – විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය

advertistmentadvertistment
advertistmentadvertistment