මිලියන විසි දෙකද? එකසිය දහතුනද? – දේශපාලන කනත්තකට ඇදගෙන යන රටක්!

423

ශ්‍රී ලංකාව අද මුහුණදී සිටින්නේ මෙරටේ වසර 300කට පමණ පසු ඇතිවූ බරපතළම අර්බුදයකට බව අගමැති රනිල් පසුගිය දිනක ඉන්දීය රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදිනියක් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පවසා තිබුණි. එසේම මේ අර්බුදවලට හේතුව වැරදි ආර්ථික කළමනාකරණය බවද අගමැතිවරයා සඳහන් කළේය. ඒ කාරණා දෙකම ඇත්තය. එහෙත් මේ අර්බුද කිසිවකට ආණ්ඩුවට විසඳුමක් නැති බව මෙතෙක් අප ඉදිරියේ තිබෙන යථාර්ථය වී තිබේ. එක් අතකින් උග්‍ර ආර්ථික අර්බුදයකට මෙන්ම දවසින් දවස උඩු දුවමින් තිබෙන දේශපාලන අවුල් ජාලයකටද මැදි වී තිබෙන ආණ්ඩුවට තවමත් ජනතාවගේ ප්‍රශ්නවලට සුළු සහනයක් හෝ ලබාදීමට නොහැකි වීමද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙන්නකි. ගෝඨාභය ජනාධිපතිවරයා විසින් පොහොට්ටු ආණ්ඩුවේ අගමැති ලෙස රනිල් පත්කිරීම ආන්දෝලනාත්මක සිද්ධියකි. එයට තිබෙන විවේචන චෝදනාද රහසක් නොවේ. එහෙත් රනිල් පත්වී මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක වනු ඇතැයි බොහෝ දෙනෙක් කල්පනා කළහ. එහෙත් තවමත් ඔහුට රටට දැනෙන සුළු පිළියමක් හෝ යෙදීමට නොහැකිවී තිබේ. අගමැති රනිල්ට නම් හිටපු මුදල් ඇමැතිවරයාට ඇතැයි කී මොළ හතක් නැත. ඇලඩින්ගේ පුදුම පහනද නැත. එහෙත් ඔහු තම බටහිර මිතුරන්ගෙන් මෙන්ම ජාත්‍යන්තරයෙන්ද ක්‍ෂණික උදව් උපකාර ලබා ගෙන රටේ ආර්ථිකයට අලුත් හුස්මක් දෙනු ඇතැයි කල්පනා කළ අයට පවා දැන් කටඋත්තර නැතිවී තිබේ.

මිලියන විසි දෙකද? එකසිය දහතුනද? - දේශපාලන කනත්තකට ඇදගෙන යන රටක්!

කෙසේ හෝ මේ ආණ්ඩුවේ අකාර්යක්‍ෂම කළමනාකරණය පමණක් නොව ඔවුන්ගේ ගජමිතුරන් පිනවීම සඳහා ගත් ඇතැම් මෝඩ තීන්දු තීරණ නිසා බිඳවැටුණු ආර්ථිකය නගා සිටුවීම අගමැති රනිල්ට තබා මහාබ්‍රහ්මයාට වුවද අසීරු ව්‍යායාමයකි. රාජ්‍ය මුදල් පමණක් නොව ව්‍යාපෘති වෙනුවෙන් ලැබුණු ආධාර පවා අවභාවිත කරන සොර මුලක් අරක්ගත් රටක් ලෙස දැන් ලංකාවට කුප්‍රකට කීර්තියක්ද ඇත. බොහෝ ව්‍යාපෘති රටට වඩා ඒවා සැලසුම්කළ හොර දෙටුවන්ට ප්‍රතිලාභ ලබාදුන් බවට සිදුවන විවේචනද නිමක් නැත. ඉකුත් සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාවක සඳහන් වූයේ රජය මගින් ආරම්භ කළ කාබනික පොහොර ව්‍යාපෘතියක් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් නීති විරෝධී ලෙස ලබාගත් රු.මිලියන 700ක මුදලක් ආපසු පියවා නැති බවය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ මුදල් වෙනත් කිසිදු ආයතනයක කාර්යයක් සඳහා යොදා ගත නොහැකි පසුබිමක් තුළ ඒ මුදල් ලබා ගත් බවද හෙළිවී තිබේ. පසුගිය වසරේ ජුනි මාසයේදී ඒ මුදල් ලබාගෙන ඇත්තේ එවක සිටි ඉඩම් ඇමැතිවරයා විසිනි. මෙබඳු නීති විරෝධී ක්‍රියාකාරකම්වලට කිසිදු පැකිළීමකින් තොරව ඇමැතිවරුන්ට ඉදිරිපත් විය හැකි රටක් ගැන කවර කතාද? එපමණක්ද පසුගිය දිවයින ඉරිදා පුවත්පත (ජුනි 05) වාර්තාකර තිබුණු තවත් පුවතක සඳහන් වූයේ ලක්‍ෂ 14ක් වැටුප් ලබන අමාත්‍යාංශ ලේකම්වරයෙක් සිටින බවය. ඔහුගේ පෞද්ගලික ලේකම්ගේ වැටුප ලක්‍ෂ 4ක් බවද සඳහන් විය.

මේ වර්ගයේ ලක්‍ෂපති වාසනා හිමි ලේකම්වරයකුගෙන් රටට සිදුවී තිබෙන සුවිශේෂ කාර්යභාරයක්ද තිබිය යුතුය. අප නොදන්නවා වුවත් ඔහු සුපිරි වැඩ්ඩෙකුම විය යුතුය. රට මුහුණ දී සිටින ව්‍යසන හා ආර්ථික දුෂ්කරතා නිසා වියදම් අවම කර කැප කිරීම් කිරීමටත් නැතිබැරි එකාටම පටි තද කර ගන්නා ලෙස කීමටත් යෝජනා කරන ආණ්ඩුවක මෙබඳු දේ ඇසීමෙන්ද ජනතාව අන්දමන්ද වනු ඇත. ඒ මොනවා උනත් අද මෙරටේ තිබෙන භාණ්ඩ මිල ගණන් දෙස බලන විට සාමාන්‍ය පවුලකට මාසයක් යාන්තම් ජීවත්වීමට ලක්‍ෂයකට කිට්ටු මුදලක් ද අවශ්‍ය වනු ඇත. මේ වන විට සාමාන්‍ය පරිභෝජනය සඳහා වූ ලාෆ් ගෑස් සිලින්ඩරයක (කි. 12.5) මිල රු.6850කි. එහි විපාක ලෙස පුංචිම තේ කඩයේ සිට සාමාන්‍ය හෝටලය දක්වාම ආහාර මිල යළිත් අහසට නැගීම වැළැක්විය හැකිද. ඇත්තටම අද රටේ බඩු මිල වැඩි වන්නේ ‘පුළුවන් නම් කාල වරෙල්ලා’ යනුවෙන් පොඩි මිනිහාටම අභියෝග කරන තාලයට දැයි විටෙක සිතේ.

ලක්‍ෂ ගණනින් පඩි කන ලේකම්වරුන් සිටින රටක පාන් ගෙඩියක් මිලට ගන්නට නොහැකි කොපමණ පිරිසක් සිටිත්දැයි මේ ආණ්ඩුව දන්නෙහිද? මිල වැඩි කිරීම් හිතු මතේට කෙරෙන බවද සමහරු කියති. දින කීපයකට පෙර වැඩි කළ රු.6850ක් වූ ලාෆ් ගෑස් මිල රු.5000කට සීමා කළ හැකිව තිබුණු බව පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශකයෙක්ම කී බව දිවයින වාර්තා කර තිබිණි. එසේ නම් පාරිභෝගික අධිකාරිය කරන්නේ අහවල් කෙංගෙඩියක්දැයි අපට නොඅසාම බැරිය. මේවායින් තහවුරු වන්නේ අද මේ රට අරාජික වී තිබෙන බවද නැත්නම් අයාලේ යන බවද අපි අගමැති රනිල්ගෙන්ම අසමු.

රටේ ආර්ථිකය මෙසේ නන්නත්තාර වී තිබෙද්දී ආහාර සුරක්‍ෂිතතාව ගැන කතාකිරීම ද සිනාසිය නොහැකි විහිළුවකි. කොහොමටත් හැම හෙණගෙඩියක්ම පාත් වන්නේ නැති බැරි එකාගේම හිස මතටය. හිඟමනට වැටී සිටින ඇතැම් මාස්පඩිකාරයන්ට සිදු වන්නේත් ඒ ටිකමය. එහෙත් මේ දිනවල රටම උද්යෝගයකින් කතාකරන මොනවා හෝ දෙයක් වගා කළ යුතුය යන යෝජනාවට අපේ එකඟතවා පළ කළ යුතුය. නිසැකයෙන්ම අද මේ රට මුහුණදීමට සිදු විය හැකි අනතුර ආහාර අහේනිය බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. මේ අර්බුදයේ උත්පත්ති කතාව කව්රුත් දන්නා රාජකීය ගොන්කමකි. ඉතාම සැකෙවින් කිවහොත් ගෝඨාභය ජනාධිපතිවරයා වට කර ගෙන සිටි මීහරක් රැළක් විසින් දෙන ලද රසායනික පොහොර තහනම් කිරීමේ උපදේශය නිසා අපේ ගොවි බිම් වගාබිම් පාළුවට ගියේය. වී ගොවියා ඇතුළු බොහෝ ගොවීහු මහ මගට වැටුණහ. බතක් තියා කැඳක් බොන්නටවත් හාලක් ඉතිරි නොවන බව අදාළ කෘෂිකර්ම ක්‍ෂේත්‍රවල විද්වතුන්ගේ අදහසය. එසේ නම් දෑත් පොරවාගෙන නොසිට කව්රුත් මේ වගා කිරීමේ කටයුත්තට දායක විය යුතු වෙති. ජනාධිපති කීවත්, ඇමැති ඉල්ලා සිටියත් මේ වගා කටයුත්ත ලේසි පහසු එකක් නොවේ. එසේම ආණ්ඩුවේ නායකයන් ගැන කිසිදු විශ්වාසයක් නැති පසුබිමක ජනතාව ඔවුන්ගේ වචන ගණන් නොගැනීමද ස්වභාවිකය. හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා (මහින්දානන්ද) මෙන්ම නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද බොහෝ දේවල් අමු බේගල් බව ගොවියෝද දනිති.

හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා දෙසාබෑ සියල්ල පුරසාරම් බව ඔහු වෙනුවට පැමිණ සිටින ඇමැතිවරයාට (මහින්ද අමරවීර) සවන් දෙන කාට වුවද මනාව වැටහෙනු ඇත. හිටපු එතුමා පුන පුනා පැවසූ ගොවීන්ට වන්දි ලබා දෙන කතාව අතේ පැළවෙන කෙප්පයකි. අද මෙතුමා කියන්නේ එලෙස වන්දි දීම සඳහා එක සතයක්වත් වෙන්කර නොමැති බවය. වෙන දෙයක් තබා මේ යල කන්නයට වුවමනා පොහොර ටික පවා ලබාදීමට නොහැකි බවද ඔහු නොකියා කියයි.

කෙසේ වුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මේ විනාශයේ වගඋත්තරකරුවන් ලෙස නම් කරන්නේද ඒ හදිසි හා අනිසි තීරණ ගත් ආණ්ඩුවේ බලධාරීන්ය. සිංහල ජනවහරට අනුව “දැන වෙළඳන් නොදැන ගොවිතැන්” ලෙස කීවත් අද උද්ගත වී තිබෙන සමාජ ආර්ථික වාතාවරණය, ජනගහන ව්‍යාප්තිය, ගෝලීය අර්බුද යනාදී විවිධ හේතු නිසා ගොවිතැන එසේ ලේසි පහසු දෙයක් නොවන බවද ඉතා පැහැදිලිය. ඒ සඳහා විiාත්මක උපදෙස් හා නිසි සැලසුම් අත්‍යවශ්‍යය. සැබැවින්ම මෙරටේ කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයෙහි ප්‍රගතියට වුවමනා පර්යේෂණ සිදු වූයේ පනහේ දසකයේ පමණ බවද පෙනේ. පාරම්පරික වී වර්ග වෙනුවට අලුත් වී භාවිතයට ගොවියා යොමු කිරීම වී පර්යේෂණ ආයතනවල උපදෙස් පරිදි සිදුවූවකි.

අපේ වී අස්වැන්න වැඩිකර ගැනීමට ඒවා හේතු විය. මෙරටේ වී ගොවිතැනට දිරි දෙමින් එම ක්‍ෂේත්‍රයෙහි විiාඥයන් විසින් කරන ලද සේවය කිසිවෙකුට අමතක කළ නොහැක. එසේ ඉදිරියට ගිය වී ගොවිතැන විනාශ වූයේ මේ හිතුවක්කාර නියෝග හා ඒවා ගැසට් මගින් ගොවියන්ගේ හිස මතට පැටවූ ටයිකාර හා හයිකාර නිලධාරීන්, උපදේශකයන් නිසාමය. ඒ කුමක් වුවත් දැන් කළ යුත්තේ මේ යල කන්නයට වුවමනා පහසුකම් සලසා දීමය. විශේෂයෙන් අවශ්‍ය පොහොරත්, පළිබෝධනාශකත් ගොවියාට ලබාදීමට ක්‍ෂණික වැඩ පිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතුය. එසේ නැතිව වගාකිරීමේ ආනිසංස වගාබණ දෙසීමෙන් පමණක් නම් මේ එළඹෙන ආහාර අහේනියට විසඳුම් නැති බවද කිව යුතුය. මේ වනවිට වී වගාවට සිදුකළ දේ මෙන්ම එහි විපාකද රටටම පෙනෙන දෙයකි. ඒවා තව තවත් සීත කාමරවල සාකච්ඡා කළ යුතු දේවල්ද නොවේ. මේ දිනවල බොහෝ මාධ්‍ය මගින් අපේ ආහාර පුරුදු ගැන දේශන පවත්වන අයගේද අඩුවක් නැත. කොහොමටත් මේ රටේ වැඩිපුරම දැකගත හැක්කේද කටින් බතල හිටවන වර්ගයේ නිලධාරීන් හා උපදේශකයන්ය. එහෙත් ගෙවත්ත ඉඩ නැත්නම් මිදුලේ පෝච්චියක හෝ යමහක් වගා කළ යුතුය යන අදහස් බොහෝ දෙනෙකුගේ සිත්වලට කාවැදී තිබේ.

අගමැති රනිල් සඳහන් කළ පරිදිම (ඉකුත් 03 – පදනම් ආයතනය) රටේ ආර්ථිකය කඩා වැටෙන විට රැකියා දහස් ගණනක් අහිමි වනු ඇත. මහා පරිමාණ හා කුඩා පරමාණ ව්‍යාපාර රැසක් වැසී යනු ඇත. ඉදිරි කාලයේදී තුන්වේලෙන් දෙවේලකට හුරුවීමට අපගේ ජනතාවට සිදුවනු ඇත. අප විසින් සාගතය මග හැරිය යුතුව ඇත. මෙහිදී අගමැතිවරයා කී එකක් හැර අනෙක් සියලුම කරුණු සත්‍යය. ඔහු දැක්වූ තුන්වේල දෙවේලක් වනු ඇත යන්න නම් වැරදිය. ඇත්තටම අද බොහෝ නිවෙස්වල එක්වේලකි. එක්වේලක්වත් වළඳක් ලිපට නොතබන ගෙවල්ද තිබේ. ඒ ගෑස් නැතිවීම හා ආහාර ද්‍රව්‍ය ගැනීමට අතේමිටේ මුදල් නැතිවීමද නිසාය. ඒ මොනවා වුවත් මේ සාගත විපත දුරලීමට එකම මග වගා කිරීමය. ඒ සඳහා ශක්ති පමණින් දායක වීමය. හැත්තෑව දසකයෙහිද මෙබඳුම ආහාර අර්බුදයක් මෙරටේ ඇති වූ අතර එදා පැවති සමගිපෙරමුණ ආණ්ඩුව (අගමැතිනි සිරිමාවෝ) එයට මුහුණ දුන් ආකාරයද සඳහන් කළ යුතුය. මුදල් ඇමතිව සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා එදා කළේ ආර්ථිකයේ බර ධනවතුන් මත පැටවීමය. වැට් බදු වැනි පොඩි මිනිහාට බලපාන නීති ගෙනාවේද නැත. නිෂ්පාදන ආර්ථිකය බලගැන්වීමටද පියවර ගත්තේය. එහෙත් අද කටින් බතල හිටවන මේ ආණ්ඩුවට එබඳු සාධනීය ආර්ථික හෝ නිෂ්පාදන ක්‍රියාවලියක් තිබේද?

මේ අර්බුද මැද ආණ්ඩුවට තවත් ප්‍රශ්න ඇති කරන අදිසි බලවේග තිබෙන බව මේ ආණ්ඩුව සමග සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුම කියති. ලංකාවේ දිගුකාලීන මිතුරකු වූ රුසියාව අද අපෙන් ඈත් විය හැකි බව කියන්නේ ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයකු වන ඩිව් ගුණසේකරය. රුසියානු ගුවන්යානායක් බලයෙන් රඳවා ගැනීමේ සිදුවීම පසුපස කුමන්ත්‍රණයක් තිබිය හැකි බව ඔහුගේ අනුමානයකි. හිටපු ඇමති විමල්ගේ ප්‍රතිචාරයද ඉතා දැඩි වූවකි. ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට අව්‍යාජව අතදුන් හා දෙමින් සිටින රුසියාව ගැන මීට වඩා විශේෂත්වයකින් කටයුතු කිරීමට තිබුණු බවද ඔව්හු කියති. පනස්හයේ බලයට පත් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක එදා රුසියාවේ අපේ රාජ්‍ය දූත මණ්ඩලයේ ප්‍රධානියා (තානාපති) ලෙස පත් කළේ මෙරටේ සිටි විශිෂ්ටතම බුද්ධිමතකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර සූරීන්ය. කුමක් වුවත් මේ සිදුවීමේදී රුසියාවේ හිත හොඳටම නරක් විය හැකි බව නම් නොකියා බැරිය. මේ වනවිට රුසියාවේ එරොෆ්ලොට් ගුවන්යානා ලංකාවට පැමිණීමද නවත්වා තිබේ. කුමක් වුවත් විමල් කියන පරිදිම මේ දුෂ්ට මෙහෙයුම ගැන රටට හෙළි කිරීමද ඉතා වැදගත්ය. එසේම ඒ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය මත පැහැරූ වසලයන්ටද දඬුවම් කළ යුතුය.

පසුගිය දිනක හිටපු ඇමැතිවරයකු වන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාද මසුරන් වටින කතාවක් කර තිබිණි. ඔහුගේ අවධාරණය බරපතළය. ඔහු පවසන්නේ අද මේ රට දේශපාලන කනත්තකට රැගෙන යන බවය. පිළුණු ඉතිහාස කතා වෙනුවට නව දේශපාලන දැක්මක් රටට වුවමනා බවය. ඥාති සංග්‍රහය වෙනුවට කුසලතාවට මුල් තැන දෙන දූෂණය වෙනුවට අවංකභාවයට ගරු කරන වහල්භාවය වෙනුවට ප්‍රායෝගිකත්වයට මුල්තැන දෙන ප්‍රබුද්ධ දේශපාලනයකින් විනා අද තිබෙන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් නොමැති බව ඔහුගේ අවධාරණයයි. සහතික ඇත්තය. කැබිනට් මණ්ඩල කීපයක්ම නියෝජනය කළ ඇමැතිවරයකු වන ඩලස්ගේ මේ කතාව වෙනමම මුද්‍රණය කරවා පළමුවෙන්ම පොහොට්ටුවේ මුග්ධ අනුගාමිකයන්ටත්, රාජපක්‍ෂලාගේ වහලුන්ටත් ඒ සියල්ලටම උඩින් සිටිමින් තවමත් නිල බල හොබවන තකතීරු නඩයටත් දීම කාලෝචිත බව අපගේ අදහසය. ඇත්ත වශයෙන්ම අද පක්‍ෂ යනු පුද්ගලික දේපොළ හෝ පවුල් සමාගම්ය. රට යටවී තිබෙන්නේ පවුල්වාදය, මදාවි වාදය, කල්ලිවාදය නමැති දූෂිත අමන අධිපතිත්වයකට බව නිසැකය. ඩලස් නිවැරදිව දැක්වූ පරිදිම වායුසමනය කළ දියවන්නා ශාලාවේ ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ පැය ගණන් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ප්‍රකාශයට පත්වේ. මිලියන විසිදෙක දෙස නොබලා එකසිය දහතුන ගැන පමණක් බලන මුග්ධ දේශපාලනයෙන් රටට හෝ ජනතාවට සුගතියක් නොවන බව අපිද දෑතම ඔසවා අනුමත කරමු. දේශපාලන ස්ථාවරත්වයක් උදෙසා යැයි කියමින් ආණ්ඩුව කර තබාගෙන යන 21 සංශෝධනය ගැනත් විමසා බැලිය යුත්තේද එබඳු පුළුල් හා ගැඹුරු දේශපාලන දැක්මකින් බවද මෙහිලා සඳහන් කළ යුතුය. එහෙත් ස්වාර්ථය හා ධනෝපායන මගක් ලෙස දේශපාලනය කරන හා ‘දේශපාලන ඩීල්’ දමන අයට මේවා කොතරම් වැදගත් වේද යන්නත් ප්‍රශ්නයකි. කොහොමටත් එක කකුලක් ලංකාවේත් අනෙක් කකුල ඇමෙරිකාවේ එංගලන්තයේ හෝ වෙනත් රටක තබාගෙන සිටින දෙබිඩි පුරවැසියෝ මේ 21ට පක්‍ෂ වෙතැයි සිතිය හැකිද? සිය දරු මුනුබුරන් සමග කවදා හෝ ජීවිද සැඳෑව එබඳු දියුණුයැයි පිළිගත් රටක ගෙවන්නට පුල පුලා සිටින ඔවුන්ට මේ රට තාවකාලික අම්බලමක් විය හැකිය. එහෙත් මෙරට අභිමානවත් පුණ්‍ය භූමියක් සේ සිතනපතන බහුතරයක් මෙන්ම තරුණ ප්‍රජාවක්ද සිටින බව සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment