මිලියන 90294ක ව්‍යාපෘති හතරෙන් ආර්ථිකයට මුකුත් නෑ

111

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ සංවර්ධන ව්‍යාපෘති හතරක් සඳහා වසර 14ක කාලසීමාවක දී රුපියල් මිලියන අනූදහස් දෙසිය අනූහතරයි දශම පහක මුදලක් (90,294.5) වැය කර ඇතත් එකී ව්‍යාපෘතිවලින් මේ දක්වා ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී ව්‍යාපෘති නිමකිරීම සඳහා සැලසුම් කළ කාලය මෙන් දෙගුණයටත් වඩා වැඩි කාලයක් ගතවී තිබුණ ද එකී ව්‍යාපෘති මේ වන තෙක් නිම කර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මෙකී සංවර්ධන ව්‍යාපෘති වන්නේ තල්පිටිගල ජලාශය, ඵලදායිතා ප්‍රවර්ධනය සහ වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය, ගිං – නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය සහ උමා ඔය හැරවීමේ ව්‍යාපෘතියයි. මෙකී ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන එක්ලක්ෂ පනස්තුන්දහස් නමසිය පහළොවයි දශම හතකි. මෙකී ව්‍යාපෘති අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේ දී මූලික අරමුණු යටතේ ඉදිරිපත් කර තිබූ ආර්ථික වාසි සැලසුම්ගත පරිදි ලබා ගැනීමට නොහැකි වී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ඒ පිළිබඳ විශ්ලේෂණය කර වගකිවයුතු පාර්ශ්ව පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමක් සිදුකර නොමැති බව ද විගණනය මගින් පෙන්වා දී ඇත.

මෙම ව්‍යාපෘති ප්‍රමාදවීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිලාභ සඳහා වන බලපෑම තක්සේරු කර ඒ පිළිබඳ වන බලපෑම අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කළයුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත. එමෙන්ම කාර්ය මණ්ඩල සඳහා සේවා දිගු ලබාදීමේ දී ප්‍රමාදවීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිලාභ අහිමිවීමේ බලපෑම පිළිබඳ සලකා බැලිය යුතු වන අතර කාලය දීර්ඝ කිරීමේ අනුමැතිය ලබාගෙන සැලසුම් කළ කාලයේ දී ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.

තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මූලික කටයුතු සියල්ල අවසන් කර ඉදිකිරීම් ඇස්තමේන්තුවෙන් සියයට 09ක පමණ ආසන්න ප්‍රමාණයක වැඩකොටසක් අවසන් කර ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත. ඵලදායිතා ප්‍රවර්ධනය සහ වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන හා අක් මුදල් ප්‍රමාණය නොලැබීම නිසා බලාපොරොත්තු වු ඉලක්කවලට ළඟා වීමට නොහැකි වී ඇති බවත් මේ නිසා සමස්ත භෞතික ප්‍රගතිය සියයට 12.16කට සීමා වී ඇති බවත් ගණන් දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කර ඇත. ගිං-නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය පවත්නා ආර්ථික, සමාජීය සහ දේශපාලනික තත්ත්ව මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති බවත් ගණන්දීමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කර ඇත.

උමා ඔය හැරවීමේ ව්‍යාපෘතියේ 2022 දෙසැම්බර් මස අවසන් වීමට පෙර සියලු වැඩකටයුතු අවසන් කර ප්‍රධාන වාර්මාර්ග ජලාශයට ඩයරබා සහ පුහුල්පොළ ජලාශ 02න් නිකුත් කරනු ලබන ජලය ලබාදීමට සැලසුම් කර ඇති බව ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත. එමෙන්ම බණ්ඩාරවෙල, දියතලාව සහ හපුතලේ ජල යෝජනා ක්‍රම ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ද ගණන්දීමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කර ඇත.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment