මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය

181

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 82 කින් රුපියල් 420 දක්වාත්
ඔක්ටේන් 95 ලීටරයක් 373 සිට රුපියල් 71 කින් රුපියල් 450 දක්වාත්
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් රුපියල් 400 ක් දක්වාත්
සුපර් ඩීසල් ලීටරයක් 329 සිට 445 දක්වා
භූමිතෙලුත් නගින ලකුණු

වත්මන් රජය ද මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඊයේ (24දා) පියවර ගත්තේය. ඒ අනුව ඊයේ අලුයම සිට සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීම මෙම මිල සූත්‍රයට අනුව සිදු විය.

එම මිල සූත්‍රය අනුව අවශ්‍යතාව පරිදි ඉදිරියේදී දෙසතියකට හෝ මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඉන්ධන මිල කෙරෙහි බලපානු ලබන කරුණු හයක් අතරින් හතරක් පමණක් සැලකිල්ලට ගනිමින් නව ඉන්ධන මිල සූත්‍රයට අනුව පිරිවැය පමණක් ආවරණය කර ගැනීම පිණිස ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ බව සම කැබිනට් ප්‍රකාශක විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

පැවති ඉන්ධන මිල ගණන් අනුව ආනයනයේ සිට බෙදා හැරීම දක්වා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 83.71 ක්, ඔක්ටේන් 95 ලීටරයකින් රුපියල් 71 ක්, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 111.60 සහ සුපර් ඩීසර් ලීටරයකින් රුපියල් 115.95 ලෙසින් සංස්ථාව පාඩු ලැබූ බවද පෙන්වා දුන් ඇමැතිවරයා මේ වන විට භූමිතෙල් බෙදාහැරීමෙන් පමණක් සංස්ථාව ලබන පාඩුව ලීටරයකට රුපියල් 275 ශත 26 ක් බවද පැවසීය.

නව මිල සංශෝධනය අනුව රුපියල් 338 ක පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 82 කින් ඉහළ දමමින් රුපියල් 420 දක්වාත්, ඔක්ටේන් 95 ලීටරයක් 373 සිට රුපියල් 71 කින් ඉහළ දමමින් රුපියල් 450 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් නංවා රුපියල් 400 ක් දක්වාත් සහ සුපර් ඩීසල් ලීටරයක් 329 සිට 445 දක්වාත් ඉහළ නංවනු ලැබුවේ එම පාඩුව පියවා ගැනීමේ පියවරක් ලෙසින් බවද ඇමැතිවරයා කියා සිටියේය.

ගොඩබෑමේ පිරිවැය, බදු පිරිවැය, සැකසුම් පිරිවැය, මෙහෙයුම් සහ පරිපාලන පිරිවැය, ලාභාන්තිකය සහ මිල ස්ථායිකරණ අරමුදලට දායකත්වය යන කරුණු අතරින් අවසන් කරනු දෙක නොසලකා හරිමින් මිල සූත්‍රය ක්‍රියාත්මක බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ඛනිජ තෙල් සංස්ථාව, ඉන්දීය තෙල් සමාගම, පාරිභෝගික සේවා අධිකාරිය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තෝරාගනු ලබන වෙනත් පාර්ශ්වයකින් සැදුම්ලත් කමිටුවක් සිදු කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දිගු කලක සිට නිසි මිල සංශෝධනයක් සිදුව නැති සහ ඛනිජ තෙල් සංස්ථාවට අධික අලාභයක් සිදු වන භූමිතෙල් මිල සංශෝධනය සඳහාත් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටියද ධීවර ප්‍රජාව සහ වතු ජනතාව මෙන්ම අඩු ආදායම්ලාභීන් මේ වන විට ගෑස් අර්බුදය හමුවේ විශාල පිරිසක් භූමිතෙල් භාවිතයට පෙළඹි තිබීම එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු වූ බවද ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

කෙසේ වෙතත් අඩු ආදායම්ලාභීන් සහ ධීවර ප්‍රජාව ඇතුළු පිරිසට නිසි පරිදි මූල්‍ය ප්‍රදානයක් මඟින් සහන සලසමින් ඉදිරියේදී භූමිතෙල් මිලද සංශෝධනයට පියවර ගන්නේ යැයි සඳහන් කළ ඇමැතිවරයා ප්‍රවාහන ක්‍ෂේත්‍රයට සම්බන්ධ ඇතැමුන් සියයට සියයක්ම භූමිතෙල් සහනාධාරය මත යැපෙන බවට අනාවරණය වී තිබීම නිසා එවැනි තීරණයක් ගැනීමට සිදුව තිබෙන බවද පැවසීය.

කැබිනට් තීරණ දැනුම දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (24දා) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment