මිෂෙලි බැචලේ සාක්කිකරුවන් වසන්කර ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට තීන්දු කරයි

395

● බෞද්ධයන් මිලියන 535ක් ලොව සිටින බව ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයට පවසයි

● ආගමික උන්මාදය ගැන මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක් – ඉන්දීය තානාපති චෝදනා කරයි

● කොටි හිතවාදී සංවිධාන 4ක තහනම ඉවතට

ඇමරිකානු විදේශ සබඳතා කමිටුව මෙරට අභ්‍යන්තර කටයුතු වලට දැන් සෘජුව මැදිහත්වී ඇත.

පසුගිය සතියේ දිනෙක එම කමිටුවේ ප්‍රධානි බොබ් මෙනෙන්ඩ්ස් ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ ප්‍රකාශයක් කළේය.

“ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සිදුකරන ලද යුද අපරාධවලට අදාළව මහකොමසාරිස්ගේ වාර්තාව ලැබීමෙන් පසු කුවාඩ් නායකයන් ශ්‍රී ලංකාව කෙරේ අවධානය යොමුකළ යුතුයි. ඇමරිකාව – ජපානය – ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර සමගිය ඇතිවිය යුතුයි. රාජපක්‍ෂවරුන් යටතේ මූල්‍ය පරිහානිය සහ මානුෂික ඛේදවාචකයක් සිදුවී තිබේ. වෙනසකට කාලය පැමිණ ඇති බව පැහැදිලි යැයි හෙතෙම පළ කළේය.

මිෂෙලි බැචලේ සාක්කිකරුවන් වසන්කර ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට තීන්දු කරයි

වසර 13 කට පසු ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට තොරතුරු ඉදිරිපත් කළේ කවුද? එය මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ඇතුළු කළේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මේ පසුබිම මැද සර්ව ලෝක අධිකරණ නීතිය යුද අපරාධ චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන් 58ක් ඉදිරියේ ඇත. මෙම නීතිය යටතේ එකී හමුදා නිලධාරීන් එම නීතිය බලපැවැත්වෙන රටකට ගියහොත් අත්අඩංගුවට ගනු ඇත.

ඔවුන් ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරීන් නිසා ඔවුන්ට මුක්තිය හිමිවන්නේ නැත.

මේ වනවිට මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව 120,000ක සාක්කි ඉදිරිපත් වී ඇත. එම සාක්කිකරුවන් කවුදැයි හෙළිකර නොමැත. ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙන් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව පිළිගැනීම යනු කොටි ඩයස්පෝරාව ලත් ප්‍රබල ජයග්‍රහණයකි. ගතවූ වසර 13 තිස්සේ ඩොලර් මිලියන ගණන් වැයකරමින් කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරද්දී ජනපති, ආරක්‍ෂක මණ්ඩලය සහ රජයේ දේශපාලකයෝ බලාසිටියහ. යහපාලන රජය ජිනීවා යෝජනාවට එකඟ වන අවස්ථාවෙන් පසුව බලයට පැමිණි රජය එය ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. ඉන්පසු වත්මන් රජය යුද අපරාධ චෝදනාවලට අභියෝග කළේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ පිළිගැනීමයි. එහෙත් ජනපති ඇතුළු දේශපාලකයන්ට ඒ ගැන තැකීමක් නැත.

කොටි සංවිධානය දහස් ගණනක් යුද අපරාධ සිදුකරද්දී පසුගිය යහපාලන රජය මෙන්ම වත්මන් රජයද ඊට එරෙහිව සාක්කි ඉදිරිපත් නොකර සෞභාග්‍ය දැක්ම වැනි වැඩසටහන් ඉදිරිපත් කරමින්ද කාබනික පොහොර වගාව ගැන ප්‍රචාරය කරමින් ක්‍රියාකර ඇත.

මේ අතර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ අපක්‍ෂපාතී නිලධාරිනියක් ලෙස ප්‍රකට වූවත් ඇගේ චීන සංචාරය ඇයට පාරාවළල්ලක් විය. චීනයේ උයිගුර් ජනතාව දරුණු අයුරින් මර්දනය කිරීමට චීන රජය ක්‍රියාකරන බවට චෝදනා එල්ල වන අවස්ථාවේ ඇය චීන සංචාරයේ නිරතවීම ගැන මානව හමිකම් සංවිධානවල දැඩි විරෝධය එල්ලවිය. රටවල් 18 ක මානව හිමිකම් සංවිධාන 230ක් පැවසුවේ බැචලේ වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. ඊට ප්‍රතිචාර දැක්වූ බැචලේ තමාගේ ධුර කාලය ලබන අගෝස්තු මස නිමාවන නිසා දෙවැනි වරටත් ධුරයේ රැඳී සිටීමට බලාපොරොත්තුවක් නැති බවයි.

මිෂෙලි බැචලේ සාක්කිකරුවන් වසන්කර ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට තීන්දු කරයි

මිචෙලි බැචලේ කෙරේ දැඩි විශ්වාසයක් පළකළ කොටි ඩයස්පෝරාවද අනපේක්‍ෂිත ලෙස ඇයට සිදුවූ අර්බුදකාරී තත්ත්වය ගැන දැඩි කම්පනයට පත්වී ඇත. ඇය මානව හිමිකම් කොමාසරිස් ධුරයෙන් ඉවත්යෑමට පෙර ශ්‍රී ලංකාවට කෙනෙහිලිකම් කළාය. එල්ලවූ යුද අපරාධ චෝදනා ගැන අපක්‍ෂපාතී විමර්ශනයක් සිදුකිරීමටද ඇය එකඟ වූයේ නැත.

ශ්‍රී ලංකා හමුදාවට වසර 13ක් තුළ එල්ලවූ සාක්කිවල සත්‍යභාවය ගැන විමසීමක් සිදුවූයේ ද නැත. බි්‍රතාන්‍ය ඇතුළු බටහිර රටවල් එල්ල කරන අභූත චෝදනා මෙන්ම කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් එල්ල කරන චෝදනා විශ්වාස කිරීමට බැචලේ ක්‍රියාකළාය.

එසේම ඇගේ ධුර කාලය තුළ කිසිදු කොටි ත්‍රස්තවාදියකුට යුද අපරාධ චෝදනා එල්ල නොවීමද විශේෂ සිදුවීමකි. ශ්‍රී ලංකා හමුදා ප්‍රධානීන් යුද අපරාධ සිදුකළ බවට කොටි සහ රාජ්‍ය නොවන සංවිධාන එල්ල කරන චෝදනාද ඇය විශ්වාස කළාය.

මෙවන් පසුබිමක් මැද ඇමරිකානු විදේශ සබඳතා කමිටුවේ ප්‍රධානි බොබ් මෙනන්ඩස් මානව හිමිකම් කොමසාරිස් බැචලේ ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට ඇගේ වාර්තාවේ ඇතුළත් කරන බව දන්නේ කෙසේද?

එසේම ඔහු ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට චීනයට එරෙහි කුවාඩ් සංවිධානය සම්බන්ධ කිරීමද විස්මය දනවන කරුණකි. එකී සංවිධානය ස්ථාපිත කරනු ලැබුවේ ඉන්දු ශාන්තිකර ආරක්‍ෂක සංවිධානයක් ලෙසිනි. එය නේටෝ සංවිධානයේ සොහොයුරා ලෙස හැඳින්විය හැකිය.

එලෙස රටවල් කීපයක් එක්වී පිහිටුවන ආරක්‍ෂක සංවිධානයකට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාවක් ගැන ක්‍රියාකළ නොහැක. එහෙත් ඇමරිකානු උපායශීලී මෙහෙයුම දැන් දියත්වී ඇත්තේ කුවාඩ් හරහායි. ජොනතන් මැක්ස් නමැති ලේඛකයා එම ඇමරිකානු ක්‍රමවේදය ‘පිවොට් ටු ඒෂියා’ ලෙස හඳුන්වයි.

2014 පෙබරවාරි 20 වැනිදා ඇමරිකාව දියත් කළ යුක්රේන මෙහෙයුමට සමානව ශ්‍රී ලංකාව තම ග්‍රහණයට ගැනීමට ඇමරිකාව ක්‍රියාකර ඇතැයි ඔහු තවදුරටත් හෙළිකර ඇත. මෙයට පෙර ඇමරිකාව එම්සීසී ගිවිසුම ශ්‍රී ලංකාවට යොමුකිරීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ වූ විට සිය 2 වැනි මෙහෙයුම දියත්කර ඇතැයි දක්වන එම ලේඛකයා මේ මෙහෙයුමේ සැලසුම්කරු ඇමරිකානු රාජ්‍ය නිලධාරියකු වූ ජෝන් කෙරී බවද අනාවරණය කර ඇත. එහෙත් මෙරට ජනතාව මේ බව දන්නේ නැත. රටේ ජනතාව පැය 48 සිට 60ක් දක්වා තෙල් පෝලිම්වල සිටියදී ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට රුසියාවෙන් තෙල් මිලයට ගැනීමට ඉඩදුන්නේ නැත. අවසානයේදී අගමැතිවරයා පැවසුවේ රුසියාවෙන් තෙල් මිලයට ගතහොත් ඇමරිකාව තරහවන බවයි. එසේම යුක්රේන ආක්‍රමණය හෙළාදකින ලෙස කොළඹ සිටි බටහිර තානාපතිවරු ශ්‍රී ලංකාවට පැවසුවත් ඉන්දියාවට පැවසුවේ නැත. එසේම මැද පෙරදිග තෙල් නිපදවන කිසිදු රටක් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට ඉදිරිපත් නොවූයේ පාස්කු ප්‍රහාරය නිසා අන්තවාදීන් අත්අඩංගුවට ගැනීම නිසාය. මෙවන් තත්ත්වයක් මැද ශ්‍රී ලංකාවේ පාලනයට ජනපතිවරයකු සිටින්නේද යන බරපතළ ප්‍රශ්නය ජනතාව තුළ මතුවිය.

මිෂෙලි බැචලේ සාක්කිකරුවන් වසන්කර ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට තීන්දු කරයි

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව 120,000 කට වඩා සාක්කි ඇතැයි ඇය පැවසුවත් එම සාක්කිකරුවන්ගේ අනන්‍යතාවය හෙළිකළේ නැත. මේ හැර සාක්කිකරුවන් හිටපු කොටි ත්‍රස්තවාදීන්ද? මෙම 120,000ක සාක්කිකරුවන් සිටින රටවල් කුමක්ද යන්න පවා අනාවරණය කළේ නැත.

එවැනි තත්ත්වයක් මත ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට නිගමනයකට ඇය එළඹී ඇත්තේ කෙසේද?

මෙහිදී තහවුරු වන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ නිලධාරිනියක් ලෙස සේවය කරන යස්මින් සුකාගේ දැඩි බලපෑමකට ඇය ගොදුරුවී ඇති බවයි. සුකා මේ වනවිට වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව විමර්ශන වාර්තා 90 කට වඩා කෙටුම්පත් කර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවල ඇසින් දුටු සාක්කි මෙන් ඉදිරිපත් කර ඇත්තේ හිටපු කොටි හිතවාදීන් සකස්කළ තොරතුරුයි.

සුකා සහ මිචෙලි බැචලේ එක්ව සාක්කිකරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන්නේ එහි සාක්කිකරුවන් හෙළි වුවහොත් බොරුකාරයන් සනාථ වන නිසාද?

ලයිබීරියාව – සර්බියාව සහ කාම්බෝජය යන රටවල යුද අපරාධ ගැන නඩු විභාග පැවත්වුණත් 120,000 ක සාක්කිකරුවන් ඉදිරිපත් වී නැත.

එසේම මේ සාක්කිකරුවන් කවුදැයි හෙළිකිරීමට මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාකරන්නේ වසර 20 කට පසුවය. එනම් 2042 වසරේදීය. එම වසර වනවිට එකී සාක්කිකරුවන් ජීවතුන් අතර සිටින්නේද?

මේ පසුබිම මැද ඇමරිකානු විදේශ සබඳතා කමිටු ප්‍රධානි බොබ් මෙනන්ඩස් පැවසුවේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව මිචෙලි බැචලේට ලැබී ඇති බවයි. එහෙත් ඇගේ ප්‍රකාශයේ එවැන්නක් සඳහන් වී නැත. එසේ නම් එම යුද අපරාධ වාර්තාව කල්තියා ඇමරිකාවට ලැබී තිබුණේද? එසේම එම වාර්තාව ඇමරිකානු නිර්මාණයක්ද?

advertistmentadvertistment
advertistmentadvertistment