මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලේ අද විශේෂ පින්කම්

229

ජාතික පොසොන් උත්සවය වෙනුවෙන්

අනුබුදු මිහිඳු මාහිමියන් සිරිලකට වැඩම කොට වසර දෙදහස් තුන්සිය තිස් වසරක් සපිරෙන අද (14දා) යෙදී තිබෙන පොසොන් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් මිහිඳු මාහිමි ගුණ සමරා මිහින්තලා රජමහා විහාරස්ථානය, අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ප්‍රධාන අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව මගින් විශේෂ පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, මිහින්තලා රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන සහ තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන යන නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා මත ජාතික පොසොන් උත්සව කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ සහාපතිත්වයෙන් යුත් පොසොන් උත්සව කමිටුව මගින් මෙම සියලු පිංකම් සංවිධානය කොට ඇත.

‘වෛරය පිටුදකිමු’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. මේ අනුව අද (14දා) දවස පුරා එම සිද්ධස්ථාන ආශ්‍රිතව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛස්ථානයක් දෙමින් දාන ශීල භාවනා ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ආදී පිංකම් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

රට පුරා කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තව පැවති ගතවූ දෙවසර තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිය අනුව මිහින්තලා රජමහා විහාරස්ථානය සහ අනුරාධපුර අටමස්ථානයේදී ජන සහභාගිත්වයකින් තොරව පොසොන් පිංකම් පැවති අතර රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමග මෙම වසරේ උදාවූ පොසොන් පෝය දින පිංකම් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ඇතිව ජන සහභාගිත්වයෙන් යුතුව පැවැත්වීමට අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව සියලු කටයුතු සංවිධානය කොට තිබේ.

මේ අනුව එම පිංකම් සඳහා දිවයිනේ පිට පළාත්වලින් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මිහින්තලේට සහ අනුරාධපුරයට පැමිණෙනු ඇති බවට ජාතික පොසොන් උත්සව කමිටුව අපේක්ෂා කරයි.

එසේ පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සහ සේවාවන් සැලසීමට අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව පියවර ගෙන තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවසීය.

එමෙන්ම සිරිත් පරිදි අනුරාධපුර, මිහින්තලේ සහ තන්තිරිමලේ සිද්ධස්ථාන ආශ්‍රිතව බැතිමතුන්ගේ පහසුව සඳහා දන්සල් කීපයක් පැවැත්වීමට රාජ්‍ය සහ ස්වේච්ඡා සංවිධාන ඉදිරිපත් වී සිටින බවද හෙතෙම සඳහන් කළේය.

බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇත.

එමෙන්ම වන්දනාවේ පැමිණෙන ජනතාවගේ ගමන් පහසුව සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ සේවාවක් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා කියා සිටියේය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment