මිහින්තලේ අනුලා සෑයේ කැණීම්වලින් ධාතූන් වහන්සේ ඇතුළු මිල කළ නොහැකි පෞරාණික වස්තූන් රැසක් හමුවේ

92

කෞතුකාගාරයක් ස්ථාපිත කොට මහජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසනවා

  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි

මේ දිනවල කැණීම් කටයුතු සිදු කරන ඓතිහාසික මිහින්තලේ අනුලා චෛත්‍යයේ නිධන් කර තිබූ, අනුලා මහ මහරහත් තෙරණියගේ බවට විශ්වාස කළ හැකි ධාතූන් වහන්සේ, ලෝහ ආභරණ, අක්ෂර සහිත ලෝහ කාසි, මැටි මංජුසා, පළිඟු කරඬු, ලෝහ මුද්දක යෙදූ රෙදි කැබැල්ලක්, මුහුදු බෙල්ලන් ඇතුළු මිල කළ නොහැකි පුරා විද්‍යා වටිනාකමකින් යුත් පෞරාණික වස්තූන් රැසක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මිහින්තලේ අනුලා සෑයේ කැණීම්වලින් ධාතූන් වහන්සේ ඇතුළු මිල කළ නොහැකි පෞරාණික වස්තූන් රැසක් හමුවේ

පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන්ගේ, මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් පෙරේදා (25 දා) අනුලා පුදබිමේදී මෙම පුරා වස්තූන් නිරීක්ෂණය කළහ.

මෙරට ප්‍රථම බුද්ධ ශ්‍රාවිකාව වූ අනුලා මහරහත් තෙරණිය ඇතුළු පන්සිය නමක් බුද්ධ ශ්‍රාවිකාවන් වෙනුවෙන් ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ විහාර මහා දේවියගේ මූලිකත්වයෙන් ඉදිකළ දැනට ගරා වැටී විනාශ වෙමින් පවතින ඓතිහාසික අනුලා චෛත්‍යය පුදබිම නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ පුණ්‍ය උත්සවය පසුගියදා ආරම්භ කෙරිණි.

තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හා කුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම සෑයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතර චෛත්‍ය ප්‍රතිස්ථාපන කටයුත්ත පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

වසර 2500ට අධික ඈත ඉතිහාසයක් ඇති අනුලා චෛත්‍ය පිහිටි පුදබිම 1926 වසරේදි පුරාවිද්‍යා බිමක් බවට පත්කර ඇතත් කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත්ව තිබුණි.

සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහ බෝධීන්වහන්සේ මෙරටට වැඩම්ම වීමෙන් අනතුරුව අනුලා බිසව ප්‍රමුඛ කුල කාන්තාවන් පන්සියයක පිරිස එක්ව පැවිදි වී මෙහෙනි සසුන ආරම්භ කර අනුලා චෛත්‍යය පිහිටි පිං බිමේ සිට ත්‍රිපිටකය හදාරලා ලෝකයටම බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා මෙසේ පැවසීය.

මෙය පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කරලා මහජනතාවට වන්දනාමාන කර හැකි ආකාරයට ප්‍රතිසංස්කරනය කරලා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සැලසුමක් සකස් කර ගෙන යනවා. ඒ සඳහා වන මූල්‍ය අනුග්‍රහය අපේ ආචාර්ය බෝදාගම චන්දිම මාහිමිපාණන් විසින් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. ඒ වගේම මේ ස්ථානයේ පර්යේෂණ කටයුතු නාගානන්ද විශ්වවිද්‍යාලයේ සමග සහයෝගීත්වයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ ස්ථානයේ කැණීම්වලින් අපිට ඉතාමත් වැදගත් වෙනවා ධාතුන් වහන්සේලා සොයා ගැනීම, අපි විශ්වාස කරන විදිහට මෙය අනුලා මහරහත් තෙරණින් වහන්සේගේ වෙන්න පුළුවන්, අපිට තාම ස්ථිරවම කියන්න බැහැ, කාගෙද කියලා. ඒ වගේම පළිඟු කරඬු, ලෝහ ආභරණ, කාසි, මංජුසා, පබළු ආදිය මෙම ස්ථානයෙන් සොයා ගෙන තිබෙනවා. ඒ සියලුම දේවල් සහ තවත් බොහෝ දේවල් අපිට ඉදිරියේදී හමුවෙයි. මේ භූමියේ හෝ මිහින්තලේ යම් ස්ථානයක කෞතුකාගාරයක් ස්ථාපිත කරලා ඒවා මහජනතාවට වන්දනාමාන කිරීමට හැකි පරිදි තැන්පත් කිරීමට අපි බලාපොරොත්තු වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නා හිමිපාණන්.

අද අපි මේ වැඩ ඉන්නේ ලෝක ඉතිහාසයේ භික්ෂුණී ශාසනය ලෝකයට ව්‍යාප්ත වූ ස්ථානයේ මම සහ අපේ බෝදා ගම චන්දිම හාමුදුරුවෝ සම්බන්ධ වෙලා රජයේ සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග ඇතුළු පිරිස දැනුවත් කරලා පසුව ඒ අය ඒකරාශී වෙලා විවිධ දුෂ්කරතාවයන් මධ්‍යයේ තමයි මෙම පුදබිමේ කැණීම් කටයුතු ආරම්භ කළේ,

ක්‍රි.පූ. 3 වන සිය වසයෙන් පස්සේ මෙම ස්ථානය නැවත ලෝකයට විවර කරන්නට අපිට හැකියාව ලැබුණා, එම නිසා අපි විශේෂයෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ වල මහජනතාව මේ කටයුතු සිදු කිරීමට විශාල වශයෙන් උදව් වෙනවා. ඒ අයට බොහොම පින් සිද්ධ වෙනවා. ගිය වසරේදී අපි බුද්ධ ශ්‍රාවිකාවන් පන්දහස් වෙනුවෙන් මෙම ස්ථානයේ දානමය පුණ්‍යකර්මයක් සිද්ධ කළා.

ඒ වගේම 26 වැනිදා භික්ෂුණීන් වහන්සේ 5000ක් සඳහා ලෝක බෞද්ධයන්ගේ ආධාර උපකාර ඇතිව මහා දානමය පින්කමක් සිද්ධ වෙනවා මෙම භූමියේ දී. ඒ වගේම අපිට සුබ නිමිත්තක් තිබෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් සිද්ධ කරලා මහාචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා නිලධාරීන්, ආරක්ෂක අංශවල කැප කිරීම මැදිහත්වීම මත පුරාවිද්‍යා වටිනාකමකින් යුතු මිල කළ නොහැකි වසර දහස් ගණනක් පැරණි අපේ උරුමය කියා පාන වස්තූන් රැසක් මෙම පුද බිමෙන් මේ වන විට හමුවී තිබෙනවා.

අනුලා මහරහත් තෙරණියගේ බවට විශ්වාස කරන ඒ ධාතුන් වහන්සේ සියැසින් දැක බලා වැඳ නමස්කාර කර ගන්නා ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලනවා.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment