මිහිඳු හිමියන්ගේ ශාසනික හා සාහිත්යික සේවය

197

මිහිඳු හිමියන් ලංකාවේ දී ප්‍රථමවරට රජතුමා ඇතුළු පිරිසට දේශනා කළ චූලහත්‍ර්‍ථදෝපම සූත්‍රය අලුතෙන් බුදු දහම ඉගෙන ගන්න කෙනෙකුට අතිශය වැදගත්වූවකි. නොදන්නා දහමක් කෙරෙහි බුද්ධිශීලී තැනැත්තෙකුගේ ප්‍රසාදය දැනවීමට මේ සූත්‍රය කිහිප අතකින් ඉවහල් වේ. එහි මූලික වටිනාකම හැටියට සැලකෙන්නේ (මිසදිටු) බමුණන් දෙදෙනෙකුගේ කථා සංවාදයකින් බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධ රත්නයෙහි අගය ප්‍රකාශ වීමය. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේ විසින්ම සිය ගුරුවරයාගේ උසස්කම කියාපානු වෙනුවට අන්‍ය ලබ්ධිකයෙකුගෙන් එය ප්‍රකාශවීමෙන් දෙවනපෑතිස් රජුට තෙරුවන්හි අගය දෙගුණ තෙගුණ වී වැටහෙන්නට ඇත.

මිහිඳු හිමියන් ලංකාවට බුදු සසුන ගෙන ඒම හුදු ඓතිහාසික සිද්ධියක් පමණක් නොව මේ රටේ ඉතිහාසයේත්, සිංහල ජනතාවගේත් පුනරුදයෙහි අත්තිවාරම දැමීමකි. මෙය තහවුරු කිරීමට අප සතුව පවත්නා විශ්වාසනීය සාධක, ලිඛිත සාක්ෂි කෙසේ වෙතත් මූර්ත සාක්ෂි කිසිසේත් නිෂ්ප්‍රභ කළ නොහැකිය. රාජ්‍ය තන්ත්‍රයේ සංවිහිතභාවය, සිංහලයාගේ අනන්‍යතාව හා ජීවන දර්ශනයෙහි හැඩගැස්ම ඒකාන්ත වශයෙන්ම සිදුවූයේ මේ ධර්මාහි සමයෙන් පසුවය. අසෝක (දේවානම් පියතිස්ස හා මහා මහින්ද යන ත්‍රිපුද්ගල කේන්ද්‍රීයත්වයෙන් මේ සමාරම්භය ඇතිවූ අයුරු අපට ඉතිහාසයේ දත හැකිය.)

මිහිඳු මහරහතන් ප්‍රමුඛ දූත පිරිස ගෙනා බුදු සමය අසෝක රජු විසින් තිස්ස රජතුමා ඇතුළු ලංකාවාසීන්ට පිරිනමනු ලැබූ ත්‍යාගයකි. අනෙක් රටවල ප්‍රචාරය සඳහා සෙසු මහරහතන් තෝරා ගැනෙද්දී ලංකාව සඳහා තම පුත්‍ර රත්නය යොදා ගැනීමේ විශේෂත්වයක් දුට හැකිය. රජෙකු හා රජෙකු අතර පවත්නා මිත්‍ර සම්බන්ධය හා බුදු දහම බුද්ධි සම්පන්න නායකයෙකුගේ පුරෝගාමීත්වයෙන් ඇරඹීම සාර්ථකත්වයට තුඩු දෙන බව සිතන්නට ඇත. මේ අවදියෙහි සංවිහිත බුද්ධිගෝචර ආගමික පසුබිමක් මෙහි නොවීය. කාලවේල, චිත්තරාජ, වළවාමුඛී වැනි යකුන් යකින්නන්ද වෙස්සවන, ව්‍යාධදේව වැනි යක්‍ෂාධිපතියන්ද කුම්භාණ්ඩ, ජොතිය, ගිරි වැනි නිගණ්ඨයන්ද සිවුවරම් යම, වරුණ විභීෂණ වැනි දෙවිවරුන් ද මහාවංසයෙහි සඳහන් වන හෙයින් ඔවුන් ඇදහු ජන කොටස් මෙහි වෙසෙන්නට ඇත. මේ සියල්ලක්ම යක්‍ෂ, නාග, වෘක්ෂ ආදී ආදි කාලීන ඇදහීම් ක්‍රමවලම කොටස් ය. බියෙන් පෙළෙනු මිනිසුන් කුමක් හෝ අදහන බව බුදු දහමේ දැක්වේ. මේ අතර ඉන්දියාවට සම්බන්ධ වූ ආජිවිකයන් හා බමුණන්ද මෙහි විසූ බවත් ඔවුන්ට වාසස්ථාන සපයා දී තිබුණු බවත් මහා වංශය කියයි. විවිධ ජනකොටස් අතර මෙවැනි භූතාත්ම මෙන්ම මානව මූලවූ ඇදහීම් ක්‍රම පැවති නමුත් සමස්ත ජනකායටම එකසේ අනුගමනය කළ හැකි අවබෝධාත්මක ධර්මප්‍ර්‍යායක් නොවීය.

මහින්දාගමනය සමයේදී ලංකාවේ පැවති ආගමික පසුබිම පිළිබඳ ඉහත දැක්වූ කෙටි විස්තරයෙන් මා බලාපොරොත්තු වන්නේ එකල විසූ ජනතාව තුළ එලොව මෙලොව යන දෙකටම වැඩදායක වන ජීවිත ක්‍රමයක අවශ්‍යතාව එළැඹ සිටි බව පැහැදිලි කිරීමය. බුදුදහම ගැන මෙයට පෙර ලක්වැසියාට යම් යම් තොරතුරු දැනගන්නට ලැබෙන්නට ඇත. ප්‍රාග්ඵෙතිහාසික පුරාවෘත්තයන්ගෙන් පමණක් නොව දෙරට අතර සංග්‍රමණය වුණු වෙළෙන්ඳන්ගෙන් ද දැන ගන්නට ලැබෙන්නට ඇත. පූජාවලියෙහි හා තිරියායි ගිරි ලිපියෙහි සඳහන් වන පරිදි බුදුන් වහන්සේගේ ජීවමාන කාලයෙහි පවා බුද්ධ වන්දනය මෙහි යම් පමණකට පැවතුණු බවට සාධක ලැබේ. මෙවැනි කොතෙක් සාධක ලැබුණද බුදුදහම දිවයිනෙහි ස්ථාවරව පිහිටි බවක් නොපෙනේ. එයට හේතු වූයේ ජනතාව ධර්ම මාර්ගයෙහි යෙදවීම සඳහා ඔවුන්ට ධර්මය තේරුම් කර දීමට කැපවූ භික්‍ෂුසඩ්ඝයා නොසිටීමය. මේ කාර්යය ඉටුවූයේ මහින්දාගමනයත් සමගය. බුද්ධ ශාසනයෙහි පැවැත්ම සඳහා සංඝ සාසනය අනිවාර්ය අංගයක් බව තේරුම් ගත් අසෝක රජතුමා දහම, සෙල්ලිපි මගින් රාජ්‍ය නිවේදන වශයෙන් ප්‍රචාරය කිරීමෙන් පමණක් නොනැවතී සිය පුතු හා දියණිය ද භික්‍ෂු ශාසනයෙහි කොටස්කරුවන් බවට පත් කළේය. මහින්දාගමනයෙන් ලංකාවට සිදුවූ සේවය ගැන සළකා බැලීමේ දී මෙහි සත්‍යය වටහා ගත හැකිය.

අසෝක රජතුමාගෙන් ලැබුණු තෑග්ගක් හැටියට වුවද බුදු දහම ලක්දිවට පැමිණියේ ඥාන මාර්ගයක් වශයෙනි. දහම් දෙසීමට පෙර මිහිඳු හිමියන් තිස්ස රජුට ඉදිරිපත් කළ අඹ පැනයෙන් (අම්බපක්‍ද්හ) මෙය පැහැදිලි වේ. ගැඹුරු ධර්මයක් තේරුම් ගැනීමට තරම් විවේක බුද්ධියක් රජතුමාට තිබූ බව මිහිඳු හිමියෝ මෙයින් තේරුම් ගත්හ. තත්කාලීන උත්සව දිනයක් වූ පොසොන් පොහෝ දින පැමිණීමත්, මිහින්තලා කඳු මුදුනත පෙනී සිටීම හා නම කියා රජුට ඇමතීමත් යන සිදුවීම්වල එකිනෙකට අදාළ අගයයන් ගැබ්වී ඇත. ප්‍රාග් බෞද්ධ දේශීය උත්සව දිනයක් වූ පොසොන් පොහෝ දින අද දක්වාත් බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ ආගමික දිනයක් වීම භික්‍ෂූන් වහන්සේ සෙසු ජනතාවට වඩා උසස් බව ඇඟවීම හා රහත් බව රජකම අභිබවා පවත්නා අයුරු පෙන්වීම යන කරුණු සංකේතාත්මකව නිරූපණය කළ ආකාරය මෙයින් තේරුම්ගත හැකිය. විහාරාම ආදිය තනවා පූජා කළායින් පසු සෑහෙන ප්‍රමාණයකට බුදුදහම ප්‍රචාරය වීමෙන් පසු ලක්දිව බුදු සසුන ස්ථාවර වීදැයි දේවානම්ප පියතිස්ස රජතුමා මිහිඳු හිමියන්ගෙන් ඇසූ ප්‍රශ්නයට උන්වහන්සේ පිළිතුරු දුන්නේ නැත යනුවෙනි. මේ රටේ උපත ලැබූ භූමි පුත්‍රයෙකු සසුන් ගතව ධර්මවිනය ඉගෙනගෙන ජනතාවට ධර්මාවබෝධය කරවාද ශාසනය චිරස්ථායිවන්නේ එයින් පසුව පමණකැයි උන්වහන්සේ පැවසූහ. විදේශීය භාවය තුරන් කර දේශීයත්වයට පැමිණවීම හේතුකොට ගෙන එය රටවැසියාගේ ජාතික ආගම බවට පත්වීමත් එතෙක් පැවති ජීවිත ආකල්පය නව මගකට යොමුවීමත් භික්‍ෂූන් වහන්සේ රාජගුරු තත්ත්වයට පැමිණීමත් අනිවාර්යයෙන්ම සිදුවිය.

ලංකාව බුදු සමයට හැරවීම පිණිස මිහිඳු හිමියන් ඉන්දියාවේ සිට පැමිණියාක් මෙන් ක්‍රිස්තියානි මිෂනාරීවරු ජනතාවට කිතු දහම ඉගැන්වීම පිණිස ඒ ඒ රටවලට ගියහ යනුවෙන් සටහන් කරන ආචාර්ය දොන් පීටර් පියතුමා ඉක්බිති පෘතුග්‍රීසීන් ලංකාවට කිතුදහම ගෙනා අයුරුත් මිහිඳු හිමියන් බුදු සමය ගෙනා අයුරුත් සමවිසම කර පෙන්වයි. මේ අවස්ථා දෙකෙහි කිසිම සාමන බවක් නැත. කිතුදහම පැමිණියේ මේ රටේ කිසිවෙකුගේ වුවමනාවකට නොව පෙරදිග රටවල් ගසා කෑමෙහි නියැළුණු පෘතුග්‍රීසි ධන වැද්දන්ට ආධාර කරනු පිණිසය. මෙහිලා ඩී. කෙයිරොස් නමැති ඉතිහාසඥයා මෙසේ කියයි. ප්‍රැන්සිස්කන් පූජකයෙකු වූ පේදුරුද බෙලෙම් වම් අතින් කුරුසියත්, දකුණතින් කඩුවත් ගෙන කඩුවෙන් කපමින් භක්තියෙන් පණගන්වමින් තමාම ආගමික සොල්දාදුවෙකු බව පෙන්වීය. තව තැනක කෙයිරොස් මෙසේද සඳහන් කරයි. අවි අමෝරාගන්න, අවි අමෝරාගන්න, අවි අමෝරාගන්න කිසිම ක්‍රිස්තියානි හදවතක් මිත්‍යාදෘෂ්ටිය ලංකාවේ රජ කරනු නොදකීවා. මේ පිළිබඳව විමසීමක් කරන ආචාර්ය දොන් පීටර් පියතුමා මෙසේ කියයි. ක්‍රිස්තියානි ධර්මය පැතිරවීම පිණිස සටන් කළහ. ජීවිත පරිත්‍යාග කළහ. ගම් නියම් ගම් විනාශ කළහ. ඉඩ කඩම් වැනසූහ. බිහිසුණු සැහැසිකම් කළහ. අතිශය දුක් දොම්නස් ගෙන දුන්හ. මෙවැනි සටහන්වලින් පෙනී යන්නේ කිතුදහම පළමුව පැමිණියේ ධූම කේතුවක් මෙනි. රටවැසියාගේ විනාශය පිණිසය. කඩුව භක්තිය හා ධනය මාධ්‍යය කරගෙන නූගත්කමෙන් හා දුගීබවෙන් ප්‍රයෝජන ගනිමින් බලයෙන් ගිල්ලවන කිසිම දෘෂ්ටියකින් පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුවක් නොකළ හැකි බව එයට හාත්පසින් වෙනස් වූ මහින්දාගමනයෙන් පැහැදිලි වේ.

බුද්ධ ශාසනය පිහිටුවීම හා සංඝ ශාසනය පිහිටුවීම යනු එකකක්ම බව සැලකූ මිහිඳු හිමියෝ ලංකාවට බුද්ධ ධර්මය ගෙනාවේ භික්‍ෂූන් වහන්සේත් සමගය. ලංකාවට පැමිණීමට පෙර උන්වහන්සේ සිය මෑණියන් විසූ අවන්ති රටට ගොස් මෑණියන් විසින්ම තනවා දුන් වේදිසගිරි විහාරයෙහි කලක් විසූහ. අසෝක විසින් එවනු ලැබූ අනෙක් ධර්මදූත පිරිස් ගැන මෙවැනි පුවතක් දක්නට නොලැබෙන හෙයින් මිහිඳු හිමියන්ගේ පැමිණීමට කල් ගැනීම අර්ථවත් එකක් විය හැකිය. එකල ලංකාවේ විසූ මුවසීව රජු වයස්ගතව සිටි හෙයිනුත් තිස්ස කුමරු රාජ්‍යය ලබාගන්නා තුරුත් උන්වහන්සේ එහි නැවතී සිටි බව මහාවංශ කතුවරයා දකිනා හේතුවය. එයට අතිරේක වශයෙන් තවත් හේතූන් කිහිපයක් එයින් අපට උකහාගත හැකිය. ත්‍රිපිටක ධර්මය කවරාකාරයකින් මෙහි ගෙනා හැකිද (ග්‍රන්ථ වශයෙන් පිළියෙළ වී නොතිබුණු නිසා) කෙසේ ගෙනා යුතු ද යනු තීරණය කළ යුතු විය. ලංකාවට පැමිණ දේශීය භාෂාවෙන් ධර්මය දේශනා කළ යුතු හෙයින් ඒ භාෂාව පිළිබඳව යම් අවබෝධයක් ලබාගත යුතු විය. පෙරළා දඹදිවට යෑමට නොලැබේදෝ යන සන්දේශයකින් එයට පෙර සිය මවට අනුග්‍රහ කළයුතු හෙයින් මව් පෙදෙසම තෝරාගෙන එහි කලක් විසීමට තීරණය කරන්නට ඇද්ද යනුද හේතූන් වශයෙන් අපට සිතාගත හැකිය. මෙහිලා පූර්වාදර්ශයක් සැරියුත් හිමියන්ගේ චරිත කතාවෙන් දත හැකිය. උන්වහන්සේද පිරිනිවන් පෑමට පෙර මව දකින්නට ගියබව එහි සඳහන් වේ.

ඉහත දැක්වූ අයුරින් මනා සංවිධානයකින් සමන්විතව පැමිණි උන්වහන්සේ රජතුමාගේ බුද්ධිපාටවය කෙරෙහි පැහැදී ධර්මය දේශනා කළහ. එය මැනැවින් අවබෝධ කරගත් රජතුමා මහජනකායද රැස්කරවා බණ ඇසීමට සැලැස්විය. ඔවුන්ගේ ධර්මාවබෝධය නොසිතූ විරූ අන්දමින් සාර්ථක විය. මේ සාර්ථකත්වයට මූලික වශයෙන් කරුණු දෙකක් ඉවහල් විය. විවිධ ඇදහීම්වලින් අනාථ වී හෙම්බත්ව සිටි පිරිසකට පැහිදිලි මාර්ගයක් පෙන්වන ආධ්‍යාත්මික ගුණ වගාවක් කෙරෙහි යොමුවීමට ලැබීම එක සාධකයකි. තමාගේ භාෂාවෙන් කිසි කලෙකත් නොඇසූ විරූ බණක් අසන්නට ලැබීම අනෙක් සාධකයය. අපට මෙහිදී වැදගත් වනුයේ මිහිඳු හිමියන් දීප භාෂාවෙන් දහම් දෙසීමය. මෙකල මෙහි පැවැතුනේ දේශීය (හෙළ) ප්‍රාකෘතයකි. මෙය අසෝක ප්‍රාකෘතය සමග සසදා බලනවිට භාෂා දෙක අතර දැඩි සබඳතාවක් ඇති බව පැහැදිලිව දත හැකිය. අනික් අතින් අසෝක සෙල්ලිපි ලියා තිබෙන අක්‍ෂර මාලාවන් අපේ පැරණිම සෙල්ලිපිවල (2, 3, 4, 5 ආදී සියවස්) දක්නට ලැබෙන අක්‍ෂර මාලාවන් සමානවීම වැදගත් සාධකයකි. ඒ සමගම අසෝකගේ ගිර්නාර් ලිපිවල දක්නට ලැබෙන පරිදි ගුජරාතියේ පැවති පැරැණි භාෂා ස්වරූපය ලංකාවේ බ්‍රාභ්මී ලිපිවලට බෙහෙවින් සමානවන බව ආචාර්ය සුනිත්කුමාර් හා රාහුලදේව යන පඬිවරුන් පවසන බව එම්. එස්. මොරායි මහතා කියයි.

වංසත්‍ථපපකාසිනී (මහාවංසටිකා) සමන්තපාසාදිකා ආදී තන්හි සඳහන් වන සිහලටඨකථා මහාවංසය මහාවිහාරිකයන්ගේ කෘතියකි. මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිස මහා විහාරයෙහි ආදි වාසීහුය. මේ පිරිස එකතු වී ධර්මය පැහැදිලි කරදෙනු පිණිස සිංහලයෙන් (මහා) අටුවාවක් ලියුහු ද යනු විමසිය යුක්තකි. එසේ නම් එය හෙළටුවා යනුවෙන් වහරනු විනා මහාවංශ යන පදය ද එකතු කර අට්ඨකථා මහාවංශ යනුවෙන් හැඳින්වීමේ යම්කිසි ඓතිහාසික වැදගත්කමක් තිබිය යුතුය. මේ අතර උත්තරවිහාර අට්ඨකථා උත්තරවිහාර මහාවංශ යනුවෙන් අභයගිරි වාසීන්ගේ ද මහාවංසයක් තිබුණු බව වංසත්‍ථපපකාසිනියෙහි එන ඇතැම් සටහන්වලින් පැහැදිලි වේ. මෙය මහාවිහාරවාසීන්ගේ මහාවංශයට පසුව සම්පාදනය කරන ලද්දක් විය හැකිය. බුද්ධ ඝෝෂ තෙරුණුවන් මේ මහාවිහාර සිංහල අටුවාව පාලියට පෙරළීමෙන් පසුව එය අනාදාත වූ හෙයින් අභාවයට යන්නට ඇත. උත්තරවිහාර මහාවංශය මහාවිහාරවාසීන් අතින් වැනසෙන්නට ඇත. දිගකතාවක් ලුහුඬු කිරීම වශයෙන් මෙහිලා ප්‍රස්තුනයට අදාළවන පරිදි කිව යුත්තේ මිහිඳු හිමියන් ලංකා බුද්ධ ශාසනයෙහි ආදිතම ධර්ම දේශකයාණන් පමණක් නොව උදාර සම්භාව්‍ය දේශීය සාහිත්‍යයක ප්‍රථම කර්තෘවරයා ද වූ බවය.

මිහිඳු හිමියන් ලංකාවේ දී ප්‍රථමවරට රජතුමා ඇතුළු පිරිසට දේශනා කළ චූලහත්‍ර්‍ථදෝපම සූත්‍රය අලුතෙන් බුදු දහම ඉගෙන ගන්න කෙනෙකුට අතිශය වැදගත්වූවකි. නොදන්නා දහමක් කෙරෙහි බුද්ධිශීලී තැනැත්තෙකුගේ ප්‍රසාදය දැනවීමට මේ සූත්‍රය කිහිප අතකින් ඉවහල් වේ. එහි මූලික වටිනාකම හැටියට සැලකෙන්නේ (මිසදිටු) බමුණන් දෙදෙනෙකුගේ කථා සංවාදයකින් බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධ රත්නයෙහි අගය ප්‍රකාශ වීමය. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේ විසින්ම සිය ගුරුවරයාගේ උසස්කම කියාපානු වෙනුවට අන්‍ය ලබ්ධිකයෙකුගෙන් එය ප්‍රකාශවීමෙන් දෙවනපෑතිස් රජුට තෙරුවන්හි අගය දෙගුණ තෙගුණ වී වැටහෙන්නට ඇත.

ඓතිහාසික සාධකයන් තවමත් ඉතිරි වී තිබෙන නෂ්ඨාවශේෂයනුත් ගැන සලකා බලනවිට මහින්දාගමනයෙන් පසු ලාංකික සමාජයට පෞඪ අනන්‍යතාවක් ලැබුණු බව කිවහැකිය. දාගැබ්, පිළිම ගෙවල්, යෝධ බුදු පිළිම, වැව්, පොකුණු, ශෛලකර්මාන්ත ආදී සිංහලයාගේ සංස්කෘතියෙහි අනන්‍යසදෘර්ශ කුදු මහත් ලකුණු ජනජීවිතයට පිවිසුණේ එයින් පසුවය. මහින්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇරඹුණු ථෙරවාදීය කේන්ද්‍රය වන මහා විහාරයෙන් දැල්වුණු ප්‍රඥා ප්‍රදීපය, අධ්‍යාපන ප්‍රණාලීය සදාකල්හි පවතිනු ඇත. අසෝක, මිහිඳු දෙවනපෑතිස් යන ත්‍රිත්වයේ කැපවීම මේ අභ්‍යුදයට හේතුකාරක වූ බව අපට අමතක කළ නොහැකිය.

(මෙම ලිපිය නැවත පළ කිරීමකි)

ආචාර්ය ජී. එස්. බී. සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment