මිහිඳු හිමියන් දෙසූ ප්‍රථම සූත්‍රය හා නිර්වාණගාමී ප්‍රතිපදාව

98
චිත්‍ර ශිල්පී - සිල්වා - 1956 දී අඳින ලද්දකි.
මජ්ඣිම නිකායේ ඔපම්මවග්ගයේ සඳහන් සූත්‍ර අතරෙන් ඉතා වැදගත් සූත්‍රයක් වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් ලංකාවේ දී ප්‍රථමයෙන් දේශනා කළ සූත්‍රය වශයෙන් ද සම්භාවනා ලබයි. මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ජානුස්සෝණිය නම් බ්‍රාහ්මණයකු සමග පිලෝතික නම් බුද්ධ ශ්‍රාවකයකු අතර ඇතිවන කතාබහකින් ඇරඹී, බුදුරදුන් හමුවී ඇති කරගන්නා ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කරන ලද්දකි. විශේෂයෙන් මෙම සූත්‍රය තුළ ආර්ය ශීල ස්කන්ධය, ආර්ය ඉන්ද්‍රිය සංවරය, මනා සිහිකල්පනාවෙන් යුක්තවීම, නීවරණ ප්‍රහාණය, රූපාවචර සමාපත්ති සතර, ආර්ය විනයෙහි ත්‍රිවිද්‍යාව ආදී ගැඹුරු ධර්ම කරුණු රාශියක් විස්තරාත්මකව ඉදිරිපත්කොට ඇත.

බුදුරදුන් ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කොසොල් රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයකු වූ ජානුස්සෝණිය නම් බ්‍රාහ්මණයා හය මසකට වරක් සුදු වෙළඹුන් යොදන ලද ගැල් සිය ගණනක් සහිතව දහස් ගණන් පිරිස පිරිවරා මහත් වූ ඉසුරින් හා පෙළහරින් යුතුව නගරාලංකාරය දැකගනු පිණිස නගරයෙහි ප්‍රදක්ෂිණා කරයි. එසේ ප්‍රදක්ෂිණා කරද්දී බුද්ධ උපස්ථානයට ගොස් එන පිලෝතික බ්‍රාහ්මණයා මුණගැසෙන අතර දෙදෙනාම පිළිසඳර කතාබහෙන් පසුව බුදුරදුන්ගේ ඤාණවන්ත භාවය කොහොම ද කෙසේ දැනගන්නේදැයි ජානුස්සෝණිය විමසයි. අප වැන්නවුන් ඒ බුදුරදුන්ගේ ඤාණවන්තභාවය කෙසේ ප්‍රකාශ කෙරෙම් ද උන්වහන්සේගේ ඤාණවන්ත භාවය දැනගත හැක්කේ පෙරුම්පුරා බුද්ධත්වයට පත් වූ බුදුවරයකුටම පමණි. සර්වඥතා ඥානයෙන් ලෝකයෙහි ඇති තතු, අතෙහි ඇති නෙල්ලි ගෙඩියක් සේ දැන වදාළ බුදුවරයකුගේ දැනුම් සම්භාරය ප්‍රකාශ කළ හැක්කේ එබඳුම බුදුවරයකුට පමණක් බව මෙහි දී අවධාරණය කර ඇත.

මෙසේ බුදුරදුන් ගැන ප්‍රශංසාත්මකව කරුණු ගෙනහැර දක්වන පිලෝතිකගෙන් ජානුස්සෝණිය විමසා සිටියේ, මෙතරම් බුදුරදුන්ගේ ප්‍රඥා පාඨවය හෙවත් දැනුම් සම්භාරය පිළිබඳ ඔබට පැහැදීමක් ඇති වූයේ කුමන කරුණක් නිසා ද යනුවෙනි. එහිදී පිලෝතික බ්‍රාහ්මණයා ප්‍රකාශ කරනුයේ, “මම උන්වහන්සේගේ ඤාණ පද හතරක් දැක ප්‍රසාදයට පත් වූ බව යි. එසේම බුදුන් වහන්සේ සර්වඥය, ධර්මය ස්වාක්ඛාතය, සංඝයා සුපටිපන්නය බව දැක මම ප්‍රසාදයට පත් වුණෙමි. තව ද මේ ලෝකයෙහි නුවණැති යම් බ්‍රාහ්මණ පණ්ඩිතයකු, ශ්‍රමණ පණ්ඩිතයකු, ක්ෂත්‍රිය පණ්ඩිතයකු, ගෘහපති පණ්ඩිතයකු, බුදුරදුන් සමග වාදකරන්නේ නම්, ඔහු එම වාදයෙන් පසු කරුණු අවබෝධ කොටගෙන, නියම තත්ත්වය තේරුම් ගෙන බුදුරදුන්ගේ ශ්‍රාවකයකු බවට පත්වන බවයි.

ඇතුන් පිළිබඳ අවබෝධයක් ඇති, දක්ෂ හස්ති ආචාර්යවරයකු කැලේ ගියේ විශාල ඇත් පාද පියවරක් දකියි. එය දිගින් දිගයි, පළලින් පළලයි, එම ඇත් පියවර දැක මේ මහා විශාල ඇත් රජකුගේ බව දැනගන්නා, නමුත් මේ කැලේ ඉන්න ලොකු ඇතාගේ යැයි නිගමනයකට පැමිණෙන්නේ නැත. එයට හේතු වනුයේ මේ කැලයෙහි වාමණිකා නම් ඇතෙක් සිටින බැවිනි. උගේ ඇති පියවරය මෙබඳු බව තේරුම් ගන්නා බැවිනි. එසේ තවදුරක් යන විට ඔහුට ඊටත් වඩා විශාල වූ දිගින් දික් වූ, පළලින් පළල් වූ, තවත් විශාල ඇත් පාද පියවරක් දැක මේ කැලේ සිටින විශාලතම ඇතා බව නිගමනයකට පැමිණේන්නේ නැත. එයට හේතුව වනුයේ, මේ කැලයෙහි උච්චාකාළාරිකා නම් ඇතාගේ පාද මෙබඳු බව දැනගන්නා හෙයිනි. ඒ ඇතා ගස්වල පිට අතුල්ලපු තැන්, අතු කඩපු තැන් දැක්ක ද ඒත් මේ දක්ෂ හස්ති ආචාර්යවරයා මේ කැලේ සිටින විශාලම හස්තියා යැයි නිගමනයකට නොපැමිණෙන්නේ ඉහත දැක්වූ ඇතාගේ ස්වරූපය හා ස්වභාවය දන්නා බැවිනි. තවත් ඉදිරියට යන විට එසේම සුවිශාල වූ පළලින් හා දිගින් යුක්ත වූ පා සලකුණු ඇති, උස ගස්වල අතු කඩන ලද, ඇඟ අතුල්ලන ලද පාරවල් දැක්ක ද ඒසේ දැකත් අවසාන නිගමනයකට නොපැමිණෙන්නේ උච්චාකණෙරුකා නම් තවත් ඇතකු මෙම කැලයෙහි වාසය කරන බැවිනි. ඒ ඇතාගේ පාද පියවර මුලින් සඳහන් කළ ඇතුන්ගේ පාද පියවරට වඩා විශාල වන අතර ඇඟ ඇතිල්ලීම්, අතු කැඩීම් ආදිය ද ඊට වඩා ඉහළින් සිදුකොට ඇති බැවිනි. එහෙත් මේ නියම මහා විශාල ඇතා යැයි නිගමනයකට නොපැමිණුන ද තවත් ඉදිරියට යද්දී ඒ මහා හස්තිරාජයා වතුරෙහි හෝ වෙනත් ස්ථානයක හෝ සිටිනු දකී. එවිට මේ විශාල හස්තිරාජයා යැයි නිගමනයකට පැමිණෙන්නා සේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ පණ්ඩිතයෝ ද බුදුරදුන්ගේ මුල, මැද, අග යහපත් වූ, අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, හැම පැත්තෙන්ම යහපත් වූ බ්‍රහ්මචරියාව ප්‍රකශ කරන එම ධර්ම ශ්‍රවණයකොට එම ධර්මය ඉතා හොඳට දේශනා කර ඇති බවත්, කල් නොයවා විපාක දෙන බවත් එව, බලව යැයි දක්විය හැකි බවත් නුවණැත්තන් විසින් ප්‍රශංසා නරන ලද බවත් දැන ධර්මය කෙරෙහි පැහැදී, ශ්‍රද්ධාව දියුණු කරගෙන, ශාසනයට ප්‍රවිෂ්ට වේ. එසේ ප්‍රවිෂ්ට වන්නා වූ භික්ෂූන් වහන්සේගේ හැසීරීම කෙබඳුදැයි මෙම සූත්‍රයේ විස්තර කර ඇත.

ඒ අනුව භික්ෂූන් වහන්සේගේ ශීලය පිළිබඳ විවරණයක් ඉදිරිපත්ව ඇත්තේ චුල්ලසීල, මජ්ඣිමසීල, මහාසීල විවරණයට අනුව ය. එම විස්තරයේදී භික්ෂූන් වහන්සේ සතුන් මැරීමෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, අබ්‍රහ්මචර්යාවෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, කේලාම් කීමෙන් වෙන්වීම, ර`ඵ වදන් කීමෙන් වෙන්වීම, වැඩකට නැති හිස් වදන් කීමෙන් වෙන්වීම, විකාල භෝජනයෙන් වෙන්වීම, නැටුම් – ගැයුම් – වැයුම් – උසුළු විසුළු දස්නෙන් වෙන්වීම, මල් ගඳ විලවුන් දැරීමෙන් වෙන්වීම, උසසුන් – මහඅසුන් පරිහරණයෙන් වෙන්වීම, රන් – රිදී මසු – කහවණු පිළිගැනීමෙන් වෙන්වීම, අල්ලස් ගැනීම් ආදී ප්‍රයෝගවලින් තම සුඛ විහරණයට කටයුතු නොකරමින් කය පරිහරණය සඳහා ප්‍රමාණවත් සිව්රෙන් ද ජීවත්වීම සඳහා (කුසපුරවා ගැනීම සඳහා) ප්‍රමාණවත් පිණ්ඩපාතයෙන් ද යුක්තව කටයුතු කරයි නම් ඒ භික්ෂුව ආර්ය ශීලයෙන් යුක්ත වූයේ වෙයි. මෙම ආර්ය ශීලය නිර්වාණගාමී මාවතෙහි යෙදීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ ය.

එසේම මෙම සූත්‍රයේදී ඉන්ද්‍රිය සංවරය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද එම ඉන්ද්‍රිය සංවරය තුළින් නීවරණ ප්‍රහාණය සඳහා කටයුතු කරන්නේ කෙසේ ද යනාදී තොරතුරු රාශියක් මෙම කොටසේදී ඉදිරිපත්ව ඇත. ඒ අනුව ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යනුවෙන් ආයතන හෙවත් ඉන්ද්‍රිය හයක් සෑම සත්ත්වයකුටම ඇත. එකී ඉනද්‍රියන්ගේ ස්වභාවය වන්නේ පව්කිරීමට කැමැතිවීම ය. එනම්, පිණවීමට කැමැතිවීම ය. එසේ පිණවීමට කැමැති වනුයේ හිත තුළ ප්‍රධාන වශයෙන් ඇති වන අකුසල් චෛතසික රාගය නිසා ය. රාගය හා සමාන ගින්නක් නොමැති බව ද බුදුන්වහන්සේ විසින් දේශිතය. ඒ නිසා නිරන්තරව සත්ත්වයා පිණවීමට කැමැති වීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිරන්තරව අකුසල සිදුකර ගනී. මේ නිසා ඉන්ද්‍රිය සංවරය ඇති කරගැනීම හෙවත් ඇසින් රූපයක් දැක එහි නොඇලීම, නිමිති නොගැනීම, අනුව්‍යඤ්ජන නොගැනීම සිදුකළ යුතු බවත් සිහියෙන් යුක්තව දුටුවේ නම්, දුටුවා පමණක් ය යන හැඟීමෙන් සංවර විය යුතු බවත් ය. නිදසුනක් වශයෙන්, වංගීස හිමියන්ගේ පුවත දැක්විය හැකි ය. වංගීස හිමියෝ දිනක් මහපාරේ වඩිද්දී රූපවත් කාන්තාවක දැක ඇයගේ රූපය දැකීමෙන් කලබල වූ සිත් ඇති වීමෙන් මහත් අපහසුතාවට පත් වූ සේක. එනිසා වංගීස හිමියන් අනඳ හිමියන් මුණගැසී ප්‍රකාශ කළේ, තමන් වහන්සේගේ සිත කාම රාගයෙන් දැවෙන බවත් එම ගින්න නිවාගැනීම සඳහා අනුකම්පාවෙන් මාර්ගයක් කියා දෙන ලෙසත්ය. අනඳ හිමියන් දේශනා කළේ, අසුභානුපස්සනාව වඩන ලෙසයි. එනම් ශරීරය හමෙන් වසන ලද, අසූචි පුරවන ලද භාජනයක් බවත් පපුව ප්‍රදේශයේ දැකිය හැකි පියයුරු දෙක පිසාචිනියන් දෙදෙනකු වැනි බවත් නව දොරකින් මෙම ශරීරයෙන් කුණු වැගිරෙන බවත්ය. මෙම සිද්ධිය භික්ෂුවකට කාන්තාවක් මුණගැසීමෙන් සිදු වූ බැවින් මෙසේ කාන්තාරූපයක ස්වභාවය දක්වා ඇති බව සිහිකළ යුතුය.

මෙසේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගැනීම තුළින් ශීලය සඳහා අවශ්‍ය පදනම ඇති වේ. එනම්, ඉන්ද්‍රිය සංවරය ඇති තැනැත්තා සිල්වතෙකි. එම සිල්වතාගේ සිත නොකැලඹෙන ස්වභාවයට පත්වෙන හෙයින් සිත සමාධිගත වේ. එසේ සිත සමාධිගත වීමේ දී සිතෙහි ඇතිවන කාමච්ඡන්දාදි නීවරණ ප්‍රහාණය වේ. ඒ අනුව කාමච්ඡන්දය හෙවත් පඤ්චකාමයන්ට ඇති කැමැත්ත, වෛරීසහගත සිත නිසා ඇතිවන අන් අය විනාශ වේවා යන හැඟීම හෙවත් ව්‍යාපාදය, සිතෙහි හා චෛතසිකයන්ගේ කම්මැළිකම, සිතෙහි කැලඹුණු ස්වභාවය හෙවත් නොසන්සුන්ගතිය හා බුද්ධාදී අටතැන් පිළිබඳ සැකය යන නීවරණයන්ගෙන් සිත මිදෙන බැවින් සිතෙහි සමාධිගත භාවය හෙවත් ඒකග්ගතාවය ඇති වේ. එසේ පඤ්චනීවරණයන් ප්‍රහාණය වන විට විතක්ඛ, විචාර පීති සුඛ, ඒකග්ගතා සහිත පඨමජ්ඣාණයට සිත යොමුවේ. හිත කර්මස්ථාන අරමුණ ප්‍රවිෂ්ට වන අතර එසේ ප්‍රවිෂ්ට වූ හිත අරමුණෙහිම රඳවා ගැනීම නිසා ප්‍රීතියත්, සැපයත් ඇතිවන අතර සිතෙහි ඒකග්ගතාවය ද ඇතිවේ. එවිට එම පුද්ගලයාගේ හිත ප්‍රථම ධ්‍යානයට ගියේ වෙයි. මෙසේ අනෙකුත් ධ්‍යානාංගයන්ට හිත යොමුවීමේ ප්‍රතිඵලය වශයෙන් චිත්ත සමාධියෙහි උපරිම අවස්ථාවට හිත පැමිණෙයි. එවිට භික්ෂූන් වහන්සේට ඇතිවන්නා වූ අවබෝධය තුළින් බුදුරදුන්ගේ සම්බුද්ධත්වය, ධර්මයේ ස්වක්ඛාතත්වය හෙවත් මනාකොට දෙසූ දහමක්ය යන අවබෝධය, සංඝයාගේ සුපටිපන්න බව හෙවත් මනාව නිවන් මඟට පිළිපන් පිරිසක් වශයෙන් සංඝයා පිළිබඳවත් මනාඅවබෝධයක් ඇතිවේ.

මෙම අවබෝධය ඇති වූ ශ්‍රාවකයාට ධ්‍යානංගයන්ගෙන් පිරිසිදු වූ සමාධිගත වූ එකඟ වූ හිතක් ඇති බැවින්, පෙරවිසූ කඳ පිළිවෙළ හෙවත් පුබ්බේනිවාසානුස්සති ඤාණය ලැබේ. එම භික්ෂූන් වහන්සේට එක ජාතියක, දෙකක, තුනක ආදී වශයෙන් භව රාශියක් පිළිබඳ තොරතුරු හෙළි කිරීමේ ශක්තිය ලැබේ. මෙම පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබාගත් පුද්ගලයා පිළිබඳ නිදසුනක් වශයෙන් චාරිකාවක් වන්දනාගමනක් ගිය කෙනකු දැක්විය හැකිය. කිසියම් චාරිකාවක් ගොස් අවසන් වූ කෙනකු තමා ගිය චාරිකාව නැවත සිහිකරන්නා මෙන් සිදු වූ විශේෂ සිද්ධීන් සිහිකරන්නාක් මෙන් තමාගේ පෙර ජාති සිහිකිරීමේ හැකියාව ලැබෙන අතර එම භවයන්හි දී සිදු වූ විශේෂ සිද්ධීන් සිහි කිරීමේ හැකියාව ද සැලසේ. ඉන්පසු නැවතත් හිත දියුණු කරන විට චුතූපපාත ඤාණය ලැබේ. එම ඤාණය ලැබීමත් සමගම මේ භවයෙහි උපදින සත්ත්වයන් හා මේ භවයෙන් චුතවෙන සත්ත්වයන් නුවණින් මෙනෙහි කිරීමට අවස්ථාව සැලසේ. නිදසුනක් වශයෙන් දොරටුපාලයෙක් රජු මුණගැසීමට පැමිණෙන සෑමදෙනකුගෙන්ම තොරතුරු විමසා ඒ අයගේ තොරුතුරුු දැනගත් පසු මේ අසවලාය, මේ අසවලාය යනාදී වශයෙන් ඒ ඒ තැනැත්තා පිළිබඳ අවබෝධයක් ලබාගන්නා සේ චුතූපපාත ඤාණයෙන් ඒ ඒ තැනැත්තා පෙර භවයෙන් චුතවීම පිළිබඳවත් මේ භවයෙහි උපදීම පිළිබඳවත් තොරතුරු දැනගනීමේ හැකියාව ඇති වන බව දැක්විය හැකි ය.

මෙම ඤාණය ලැබීමෙන් හෝ මෙම තත්ත්වය පරම නිෂ්ටාව වශයෙන් මෙනෙහි නොකරන තථාගත ශ්‍රාවක තෙමේ තවදුරටත් තම හිත යෙදවීමෙන් සියලු කෙලෙස් ප්‍රහාණය කිරීමෙන් ලබන ආසවක්ඛය ඤාණය ලබාගනී. මෙම ආසවක්ඛය ඤාණය ඇතිවීමත් සමගම රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය වීමත් සමග කළ යුතු සියල්ල අවසන් කළ, නිමවන ලද බඹසර ඇති, උත්තරීතර තත්ත්වයකට පත්වනු නියතය. ඒ තත්ත්වයට පත්වීමත් සමගම දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග යන චතුරාර්ය සත්‍යාවබෝධය වන බවත් එම චතුසත්‍යාවබෝධයත් සමගම බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ බවත් ධර්මය ස්වක්ඛාත බවත් සංඝයා සුපටිපන්න බවත් අවබෝධ කරගනී.

මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ ජානුස්සෝණිය බ්‍රාහ්මණයා බුදුන් වහන්සේට ප්‍රකාශ කර සිටියේ, “ස්වාමීනි ඉතා හොඳයි, ස්වාමීනි ඉතා හොඳයි, වහන ලද දෙයක් විවෘත කර පෙන්වන්නා සේ, යටිකුරු කළ දෙයක් උඩුකුරු කර පෙන්වන්නා සේ මංමුළා වූ කෙනකුට පාර කියා දෙන්නා සේ, අඳුරෙහි තෙල් පහනක් දැල්වූ පසු ඇස් ඇති අයට එහි ඇති රූප දැකිය හැකි වන්නා සේ ඔබ වහන්සේ මට ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව අසා මම බුදුන් සරණ යමි, ධර්මය සරණ යමි, සංඝයා සරණ යමි, දිවිහිමියෙන් තෙරුවන් සරණ යමි. මා අද පටන් දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයකු ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා. “ ඒ අනුව සම්බුදුරදුන්ගේ ධර්ම දේශනාව අසා මිථ්‍යාදෘෂ්ටික බමුණකු වූ ජානුස්සෝණි බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත් වුණා.

මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අපට ඉතා වැදගත් සූත්‍රයකි. අද වුව ද සමහරු බුදුසමයේ ඉගැන්වෙන බොහෝ දේ පිළිබඳ වැරදි අදහස්වලින් යුතුව හෝ නියම අවබෝධයකින් තොරව කටයුතු කරන බව පැහැදිලි කරුණකි. පිලෝතික පරිබ්‍රාජකයා ද මෙම ඇත් පාද උපමාව ඉදිරිපත්කොට ඇත්තේ අවබෝධයකින් තොරව ය. එහෙත් බුදුහිමියන්ගේ කරුණු පැහැදිලි කිරීමෙන් ජානුස්සෝණියට මෙන්ම පිලෝතිකට ද ධර්මය පිළිබඳව අවබෝධයක් ලැබිණි. මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍රය රහත් බව දක්වා කරුණු විග්‍රහ කරමින් දේශනා කරන ලද්දක් වන අතර මෙම සූත්‍රය මිහිඳු මාහිමියන් විසින් ශ්‍රී ලාංකික ජනතාවට දේශනා කරමින් සිංහල ජනතාව බෞද්ධයන් බවටත් ජාතික ආගමික කටයුතුවල පුරෝගාමීන් බවටත් සදාචාර සම්පන්න ශිෂ්ට ජාතියක් බවටත් පත්කිරීමට අවශ්‍ය මූලික පදනම සකස් කර දී ඇත. එපමණක් ද නොව, මෙම තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ද මිහිඳු හිමියෝ ඇති කළ සේක. ඒ සඳහා රජුට ධර්මය දේශනාකොට බොදු සව්වකු කිරීමත්, රජ පවුලෙන් කෙනකු සසුන්ගත කරවීමත් අනුලා දේවිය ඇතුළු පිරිස තම ගිහි කල, නැඟනිය වූ සංඝමිත්තා රහත් මෙහෙණිය ලවා සසුන්ගත කරවීම, ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම ආදී ශාසනික ක්‍රියාවන් නිදසුන් වශයෙන් දැක්විය හැකි ය.

අංශාධිපති, ආචාර්ය
මඩිහේ සුගතසිරි හිමි
බෞද්ධ අධ්‍යයනාංශය,
කොළඹ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment