මිහිඳු හිමි වැඩම කිරීම සහ බුදුදහම ප්‍රචලිත වීම

218

අප රටෙහි මිනිසුන් ගස්, ගල් සහ පර්වත ආදියට වැඳුම් පිදුම් කළ යුගය ඉතිහාසයට එක්වී අවසන්ය. එවැනි පසුබිමක් තුළ අශෝක අධිරාජයාගේ සහ විදිසා නගරයේ විසූ දේවි නම් සිටු දේවියගේ පුතණුවන් ලෙස මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කළේය. එයින් අදහස් කරන ලද්දේ ශ්‍රී ලංකාවට බුදු දහම ප්‍රචලිත කිරීමය. කලින් අදහස් කරන ලද්දේ මුටසීව රජු දවස වැඩම කිරීමටය. එම රජු වයස්ගත තත්ත්වයක සිටි නිසා තරුණ වයසේ සිටි දේවානම්පියතිස්ස රජතුමා රජකම භාර ගන්නා තුරු එම ගමන ප්‍රමාද කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එයට හේතුව වයස්ගත කෙනකු හට කරුණු ධාරණය කර ගැනීමේ ශක්තිය අඩු නිසාය.

ඉන්පසු පොසොන් පුර පසළොස්වක පොහොය දින (බුද්ධ වර්ෂ 236 දී) ඉට්ඨිය, උත්ථිය, භද්දිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා ද සුමන සාමණේරයන් වහන්සේ ද භණ්ඩුක නම් අනාගාමි උපාසක ද සමගින් මිහිඳු හිමියෝ මිහින්තලා පර්වතයට වැඩම කළහ . එදවස දේවානම්පියතිස්ස රජු දවසයි. රජතුමා සතුන් දඩයම් කිරීමේ සතුට නිම්හිම් නැති අයෙකි. මිහින්තලා පර්වතයේදී රජතුමාට ‘තිස්ස තිස්ස නවතින්න‘ යනුවෙන් ආමන්ත්‍රණය කළහ. මාගේ නම අඩක් ප්‍රකාශ කරනු ලබන මෙම පුද්ගලයා කවුරුන්දැයි කියා වටපිට බැලූ විට දක්නට ලැබුණේ මිහිඳු මාහිමියන් ඇතුළු පිරිසය.

ඉන්පසු රජතුමාගේ දැනුම පිරික්සීම සඳහා ප්‍රශ්න දෙකක් අසන ලද අතර එක් ප්‍රශ්නයක් අඹ ප්‍රශ්නයකි. අනෙක් ප්‍රශ්නය ඥාති ප්‍රශ්නයකි. එදින මිහිඳු මාහිමියන් විසින් පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කරමින් දහම් දෙසන ලදි.

සමණාමයං මහා රාජ-ධම්ම රාජස්ස ශ්‍රාවකා
තමේව අනුකම්පාය-ජම්බුදීපා ඉධාගතා

මහරජ අපි ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු.

එම සූත්‍රය දේශනා කිරීමෙන් රජු ඇතුළු පිරිස තෙරුවන් සරණ ගියහ. රජමැඳුරට වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ රජ මැඳුරේ සිටි කාන්තාවන් ඇතුළු පිරිසට විමානවත්ථු සහ පේතවත්ථු සුත්‍ර දේශනා කළහ. එහි ඇතුළත් කතා පුවත් ඇසීමෙන් ඉක්මනින් කර්ම හා විපාක තේරුම් ගැනීමට ඔවුන්ට හැකි විය. බාලපණ්ඩිත සූත්‍රය සහ දේවදූත සූත්‍රය ද දේශනා කළ මිහිඳු මාහිමියෝ කර්මයන්ගේ මෙලොව පරලොව විපාක පැහැදිලි කර දුන්හ.

දේවානම්පියතිස්ස රජු මහමෙව්නා උයන පූජා කළ පසු එහි විහාර, ආරාම ගොඩනැඟිලි ඉදිකළේ මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදිය. අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සියයක් පැවිදි වීමට කැමැත්ත ප්‍රකාශ කළ පසු උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය සිරිලකට වැඩම කරවා පැවිදි වීමට අවස්ථාව සලසා දුන්නේ ද උන්වහන්සේය. ශ්‍රී ලාංකීය බුදු සසුන සුරක්‍ෂිත කිරීම සඳහා ලංකාවේම තරුණයන් පැවිදි කොට භික්‍ෂු සමාජයක් බිහි කළේය. අරිට්ඨ ඇමැති පැවිදි වීමත් සමග එම ශ්‍රී ලාංකික භික්‍ෂු පරපුර බිහිවිය. උන්වහන්සේලා ත්‍රිපිටකය හොඳින් ඉගෙන ලක්වැසියන්ගේ හිතසුව පිණිස දේශනා කළහ.

මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි සිරිලකට වැඩම කළ සංඝමිත්තා තෙරණිය

රැගෙන ආ ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව මහමෙව්නා උයනේ රෝපණය කෙරිණි. ඉන් හටගත් අෂ්ටඵල බෝධි හා දෙතිස්ඵල බෝධි සිරිලක විහාරස්ථානවල රෝපණය කිරීම සිදුවිය. මහා විහාරය ඉදිවන්නට විය. භික්‍ෂු විනයකර්ම කරන සීමාමාලක ද සකස් කෙරිණි. ලාංකීය භික්‍ෂූහු ත්‍රිපිටකයට සිංහල භාෂාවෙන් අටුවා පොත් සකස් කළහ. සාහිත්‍ය කෘති රචනා විය.

මිහින්තලාවෙන් ඇරඹුණු අනුබුදු මිහිඳු මාහිමියන්ගේ සදහම් මෙහෙවර තුළින් ලක්වැසියන්ගේ හදවත දහමෙන් පෝෂණය වන්නට විය. සම්බුදු දහම ආරක්‍ෂා කර ගැනීම, දහමට අනුව ජීවත්වීම හා දැහැමි රාජ්‍ය පාලනයක් ගෙනයෑම කෙරෙහි ලක්වැසි ජනතාව ඉමහත් උනන්දුවක් දැක්වූහ. උන්වහන්සේ අපට දෙවන බුදුවරයෙක් වන නිසා අනුබුදු නම් වන සේක.

ශ්‍රී ලාංකීය බුදු සසුනේ දියුණුවට මහඟු සේවයක් කළ මිහිඳු මහ රහතන් වහන්සේ උත්ථිය රජ සමයේ පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේ පිරිනිවන් පෑවද එදා උදාකළ දහම් ආලෝකය අද දක්වා ද පැතිරෙමින් පවතී.

ධම්මික ජයරංජන්
කලපලුවාව මිහිඳු දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය

advertistmentadvertistment
advertistmentadvertistment