මීගමුව අතිරේක දිසා විනිසුරුගේ තීන්දුවට එරෙහි මෛත්‍රීගේ ඇපෑල ඉවතට

180

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකරවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු පමණක් බහා තබා අනෙක් විත්තිකරුවන්ගේ නඩු පවත්වාගෙන යෑමට මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබුණු අභියාචනයට අවසර ලබා ගැනීම සඳහා වන ඉල්ලීම මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය ඊයේ (30දා) ප්‍රතික්ෂේප කළේය.

මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවන් වන නිශාන්ත හපුආරච්චි සහ රශ්මි සිංගප්පුලි යන මහත්වරුන් විසින් ඊයේ එම නියෝගය ප්‍රකාශයට පත්කරමින්, මෙම වන්දි නඩුකර සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 15 වැනිදා මීගමුව අතිරේක දිසා විනිසුරුතුමන් විසින් ලබාදුන් නියෝගය උසාවිය මගින් තවදුරටත් තහවුරු කරන ලදී.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර 182 ක 2 වන විත්තිකරු ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර සිටි අතර, ඒ මහතා පසුගිය වසරේ මෙරට විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපති මුක්තිය හිමිවීම නිසා ඔහුට එරෙහි නඩුකර පමණක් ජනාධිපති ධුරය දරන කාලයට අදාළව පමණක් බහා තැබීමට මීගමුව අතිරේක දිසා විනිසුරු විසින් පසුගිය දෙසම්බර් 15 දා නියෝග කරන ලදි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු බහා තබන්නේ නම් තමන්ට එරෙහි නඩුකර ද බහා තබන ලෙස මෙම නඩුකරවල විත්තිකරුවන් ලෙස නම්කර සිටි මෛත්‍රිපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් විසින් කරන ලද ඉල්ලීම මීගමුව අතිරේක දිසා විනිසුරුගේ නියෝගය මඟින් ප්‍රතික්ෂේප කරන ලදී. මීගමුව අතිරේක දිසා විනිසුරුගේ එම නියෝගය අභියෝගයට ලක් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ ශානිකා සෙව්වන්දි මහත්මියගේ උපදෙස් මත නීතිඥ දිනිති විජේසේකර මහත්මිය පෙනී සිටියාය. පැමිණිලිකාර වගඋත්තරකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර, ප්‍රිමාල් රත්වත්තේ, දූතික පෙරේරා, ඉන්දික බණ්ඩාර අබේකෝන් සහ උවිනි බණ්ඩාර යන නීතිඥවරුන් සමඟ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පෙනී සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ තරංගා රණසිංහ සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රවීන්ද්‍ර පතිරණ මහතා පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක සහ මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment