මීගමුව අධිකරණයේ නීතිඥවරියකට අපහාස කළ යුවළට ඇප

258

මීගමුවේ අධිකරණයන්හි නීති වෘත්තියේ නියුතු නීතිඥවරියකට ඇගේ නීතිඥ කාර්යාලය වෙත ගොස් මහජනයා විශාල පිරිසක් බලා සිටියදී අපහාසාත්මකව බැණ වැදීමේ චෝදනාව මත අධිකරණය හමුවට පැමිණවූ තරුණ යුවළකට තරයේ අවවාද කළ මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකාර යුවළ ලක්‍ෂ 2 බැගින් ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

ඇප නියම වූ සැකකාර යුවළ වූයේ මංකුලියේ පදිංචි මෛත‍්‍රී දේවලාගේ මධුශිකා සුදීරා සහ ඩබ්ලිව්. හෂාන් ලහිරු නමැත්තන් ය. මෙම සැකකරුවන්ට එරෙහිව මීගමුව විවිධ පැමිණිලි අංශයේ පො. කො. (82489) අමල් දිල්රුක් මහතා විසින් ගොනුකළ පැමිණිල්ල අනුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ රුවනි තුෂාරි දසනායක මහත්මිය විසිනි. ඇය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙහි සැකකාර විවාහක කත පැමිණිලිකාර නීතිඥවරියගේ සේවාදායිකාවකි. සැකකාර කත පැමිණිලිකාර නීතිඥවරියට දික්කසාද නඩුවක් භාර දී ඇත. එහෙත් නඩු විභාගය කොවිඞ් වසංගතය නිසා ප‍්‍රමාද වී ඇත.

එම තත්ත්වය තිබියදී සැකකාරිය පැමිණිලිකාර නීතිඥවරිය හමුවීමට ඇගේ නීතිඥ කාර්යාලය වෙත ගොස් ඇත. ඒ අවට නීතිඥ කාර්යාලයේ සහ ඉන් පිටත මහජනයා විශාල පිරිසක් රැඳී සිට ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. එම අවස්ථාවේ සැකකාර කාන්තාව නීතිඥවරිය වන පැමිණිලිකාරියට නඩුවේ විත්ති පාර්ශ්වයෙන් ද මුදල් රැුගෙන නඩුව කල්දමන බවට අපහාසාත්මකව බැණවැදී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

මෙහිදී පැමිණිලිකාර නීතිඥවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සුරාජ් ජයමාන්න, නාලක ප‍්‍රනාන්දු යන නීතිඥවරුන් ඇතුළු නීතිඥ පිරිසක් සමඟ පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා විසින් දැක්වූ කරුණු අනුව සැකකරුවන්ට තරයේ අවවාද කළ මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුවන්ට ඇප නියම කර වැඩිදුර විභාගය කල්තැබීය. මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පො. කො. (82489) අමල් දිල්රුක් මහතා පැමිණිල්ල මෙහෙයවිය.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment