මීගමුව – කටානේ හෝටල් ගිනිතබා කොල්ලකෑ කෝටියක භාණ්ඩ සොයාගැනේ… ලොරි 5කින් බඩු පොලිසියට ගෙන එයි  

1369

අරගලකරුවන්ට ගාලුමුවදොරදී ඉකුත් 09 වැනිදා පහර දීමෙන් අනතුරුව පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ගේ නිවාස සහ සුපිරි හෝටල් ගිනි තබා විනාශ කළ බව කියන සිද්ධියේදී කටානේ සහ මීගමුවේ සුපිරි නිවාස සහ සුපිරි හෝටල්වලින් සංවිධානාත්මකව කොල්ලකෑ බව කියන රුපියල් කෝටියකට ආසන්න වටිනා භාණ්ඩ තොගයක් මීගමුව සහ කටාන පොලිසි මගින් ඊයේ (12 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලකරුවන්ගේ කොල්ලකෑම්වලට ප්‍රධාන වශයෙන් ලක්ව ඇත්තේ කටාන මහ හුනුපිටියේ ඇවන්රෝගාඩ්න් විලේජ්, මීගමුව කුරණ පිහිටි ග්‍රෑන්ඩ් ඩීසා සහ කුරණ අමාගිය යන සුපිරි හෝටල් තුනත්, එමෙන්ම කටාන වයි හන්දියේ පිහිටි තීන්ත තොග වෙළෙඳ හලත් ය. මූලික වශයෙන් සිදුකළ විමර්ශනයේදී වඩාත් කොල්ලකෑම් රැසක් සිදුකර ඇත්තේ කටාන ප්‍රදේශයේය.

කටාන පොලිස් වසමේ පිහිටි ඇවන්ගාඩ් සුපිරි හෝටලයෙන් කොල්ලකෑ භාණ්ඩ රැසක් තිබී ඇත්තේ කටාන හරිස්චන්‍ද්‍රපුරයේ සහ මහහුනුපිටිය නිවාස

රැසකය. මීගමුව පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනයේදී කොල්ලකරුවන් විසින් කොල්ලකනු ලැබූ භාණ්ඩ මීගමුව වැල්ලවීදිය සහ කුඩාපාඩුව යන ධීවර

ගම්මානවල සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම කොල්ලකෑම් සිදුකළ බව කියන සැකකරුවන්ට එරෙහි මීගමුව සහ කටාන පොලිසිය මගින් නඩු පැවරීමට කටයුතු යොදාගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ භාණ්ඩ අතර වටිනා ඇඳන්, අත් පුටු සහ පුටු වර්ග, මේස, හැඳි-ගෑරුප්පු, ගෑස් සිලින්ඩර්, ගෑස් කුකර්, වටිනා පිඟන් කෝප්ප, වටිනා මුළුතැන්ගෙයි උපකරණ ආදිය ඇතුළත්ය. කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කොල්ලකෑ උපකරණ ලොරි 5 කින් පොලිසිය වෙත ප්‍රවාහනය කර ඇතැයි කියයි. මෙහි විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා, මීගමුව අංක 1 පොලිස් අධිකාරි නාලක සේනානායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රසික වත්තේගම, කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තුෂාර සිල්වා සහ සැරයන් (53155) සුදත් ගුණවර්ධන යන නිලධාරීහු සිදුකරති.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment