මීගහකොටුව විශ්වවිද්‍යාල විද්‍යායතනයේ පළමු වසර සිසුවාට සහ ආරක්‍ෂකයාට පහරදුන් ජ්‍යෙෂ්ඨ සිසුන් 35 ක් අල්ලයි

368

පහරදීමට මුල නවක වධයද – පොලිසියෙන් පරීක්‍ෂණ

කුලියාපිටිය, මීගහකොටුව විශ්වවිද්‍යාල විද්‍යායතනයේ පළමු වසර සිසුවකුට හා එම සිසුවා නේවාසිකව සිටින නිවසේ ආරක්‍ෂකයකුට පහරදුන් බව කියන එම විද්‍යායතනයේම ජ්‍යෙෂ්ඨ සිසුන් 35 දෙනකු කුලියාපිටිය පොලිසිය මගින් පෙරේදා (23 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

විද්‍යායතන භූමියේ දී ජ්‍යෙෂ්ඨ සිසුන් හා වින්දිත පළමු වසර සිසුවා අතර ආරවුලක් ඇතිව ඇත. එම සිදුවීම මුල් කරගනිමින් දිගින් දිගටම ඇතිවූ කලහකාරී තත්ත්වයට අදාළ වින්දිත සිසුවා නේවාසික ස්ථානයට ගිය පසුවත් ඇතිව තිබිණ. එහිදී සැකකාර ජ්‍යෙෂ්ඨ සිසු කණ්ඩායම එම නිවසට සන්ධ්‍යා කාලයේ ගොස් යළිත් ආරවුලක් ඇති කරගෙන ඇති බව විමර්ශනයේදී හෙළිවූ බවත්, ඊට මැදිහත්වූ එම නේවාසිකාගාරයේ ආරක්‍ෂකයාටද ප්‍රකෝපකාරී සැකකාර ජ්‍යෙෂ්ඨ සිසු පිරිස පහරදී ඇති බවට පැමිණිළි ලද බවත් පොලිසිය එහිදී පැවසීය.

සිද්ධියෙන් පහරකෑමට ලක්වූ ආරක්‍ෂකයා බරපතළ තුවාල ලැබ කුරුණැගල මහ රෝහලට මාරුකර යවා තිබූ අතර වින්දිත සිසුවා ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම මත ආරක්‍ෂක ස්ථානයක රඳවා තබා ඇත.

කලබලයට පත්වූ ප්‍රදේශවාසීන් පොලිසිය දැනුම්වත් කොට තත්ත්වය පාලනය කර ඇති අතර එම කලහකාරී සිසුන්ට පැන යන්නට නොදී පොලිසිය එනතෙක් ප්‍රදේශවාසීන් රැකවල් ලා සිටි බවත්, එහිදී සැකපිට ජ්‍යෙෂ්ඨ සිසුන් 35 දෙනකු පෙරේදා රාත්‍රියේදීම අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

නවකවධය සම්බන්ධ සිදුවීමක් මෙම ආරවුලට මුල්වූයේද යන්න විමසීමට පරීක්‍ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවත්, සැකකාර සිසුන් විමර්ශන අවසන් වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය එහිදී පැවසීය.

කුලියාපිටිය මූලස්ථාන ප්‍ර.පො.ප. ජයවීර රාජපක්‍ෂ, ආනන්ද වික්‍රමනායක, උ.පො.ප. සුදේශ් අමරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment