මීටර් 800 මුලික තරගය දිනූ තරුෂි අද අවසන් පුර්ව වටයේ තරග වදී

787

අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනය සංවිධාන ශක්තිය ඇතිව කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි කසරානී මෝයි ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දැන් ක‍්‍රියාත්මක ලෝක කනිෂ්ඨ ශූරතා වයස අවුරුදු 20 න් පහළ මලල ක‍්‍රීඩා තරගාවලියේ දෙවන දිනය වූ ඊයේ (19) පෙරවරුවේ පැවති කාන්තා මීටර් 800 ඉසව්වට එක් වූ ශ‍්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න තමන් මුහුණ දුන් දෙවන මූලික තරගයේදී තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.

නියමිත දුර සාර්ථකව අවසන් කර ගැනීම සඳහා ඇයට ගතවූ කාලය මිනිත්තු 02.10.70 කි.

මෙම තරගයේ පළමු ස්ථානය ඉතියෝපියානු ක‍්‍රීඩිකාවට (මි:02.08.62) ද දෙවන ස්ථානය බෙල්ජියම ක‍්‍රීඩිකාවට (මි:02.09.44) ද හිමි වූහ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රීඩිකාවන් 16 දෙනකුගේ සහභාගිත්වයෙන් අද (20) පැවැත්වෙන මීටර් 800 අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට ඇයට හැකි විය.ඒ අනුව දෙවන අවසන් පූර්ව තරඟයට අවතීර්ණ වන තරුෂි කරුණාරත්න දෙවන මංතීරුවෙන් ආරම්භය ගැනීමට සූදානම්ව සිටින්නීය.

මෙම ඉසව්වේ තීරණාත්මක අවසන් තරගය හෙට (21) දිනයේ දී පැවැත්වීමට නියමිතය. මේ අතරවාරයේ කාන්තා මීටර් 800 පළමු මූලික තරගයට මුහුණ දුන් ශානිකා ලක්ෂාණිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.

මිනිත්තු 02.20.37 ක තරග නිමි කාලයක් සටහන් කළ ඇය පළමු මූලික තරගයේ පස්වැන්නිය බවට පත්වූවාය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment