මීළඟ ජාතික සතා ලෙස ගැඩවිල්පණුවා නම්කරමු

945

දැනට මෙරට ජාතික සත්ත්වයා ලෙස නම් කර ඇති දඬුලේනා වෙනුවට වෙනත් සතෙකු නම් කිරීමට සාකච්ඡා අරඹා ඇති බව වනජීවී සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සඳහන් කර තිබේ. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිදුවන වගාකටයුතුවලට හානි සිදුකරන ප්‍රමුඛ සතුන් සියගණනක් අතර දඬුලේනාද සිටී. ඊට අමතරව මොණරු, මුවෝ, ගෝන්නු, අලි, ගිරව් ඇතුළු කුරුල්ලෝ, වල්ඌරෝ වැනි සත්තුද වගා හානි කරති. දඬුලේනා වැඩිවශයෙන්ම හානිකරන්නේ පොල්, කොකෝවා සහ පලතුරු වලටය. රිළවා සහ වඳුරා යන ක්‍ෂීරපායී සත්ත්ව දෙපළද මේ ආකාරයෙන්ම ඉහත වාණිජ වැවිලිවලට හානිකරති. කිසියම් වන සතෙකු වගාකටයුතුවලට හානි කරන්නේ නම් එය නැති කිරීමට ක්‍රම දෙකක් ඇත. ඉන් පළමුවැන්න සතා එළවීමය. දෙවැන්න සතා මැරීමය. වගාවට හානිකරන සතුන් එළවීමට වඩා උන් මැරීමට ගොවි මහත්වරු ප්‍රියකරති. ඊට හේතුව මරණ ලද සතාගේ මස් කෑමට හැකිවීමය.

උදාහරණය වශයෙන් ගෝනුන්, මුවන්, වල්ඌරන්, දඬුලේනුන්, වඳුරන් සහ මොණරුන්ගේ මස් ඉතා මිල අධික ආහාර වෙති. මේ මස් බාබකිව්, ඩෙවල් කර, මිරිසට හෝ තෙලට උයා අනුභව කළ හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ වර්ගයේ මස් දඩ මස් ලෙස හඳුන්වනු ලැබේ. මනුෂ්‍යයා අන් සතුන්ගේ මස් කෑමට ඉතා ප්‍රිය ය. ඒ ශිෂ්ටාචාරගත කාලකණ්ණි පුරුද්දකි. දඬුලේනා වගා පාළුකරන සතකු ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් නිදහසේ ඌ මරාගෙන කෑමට සිංහල බෞද්ධ ජනතාවට පුළුවන. ඒ අතර දඬුලේනාගේ ජාතික සත්ත්ව තනතුරට වෙනත් සතෙකු පත්කිරීම ගැන මහින්ද අමරවීර ඇමැතිතුමා තුළ ඇති උනන්දුව ගැනද අපි අදහස් ස්වල්පයක් පළකරමු. අප දන්නා පරිදි මේ රටේ වගා හානි නොකරන ප්‍රමුඛම සතා ගැඩවිලාය. එසේම බත්කූරාද, හැකරැල්ලාද, පත්තෑයාද වගාවලට හානි කරන්නේ නැත. එබැවින් ඊළඟ ජාතික සත්ත්වයා තනතුර ගැඩවිලාට ප්‍රදානය කිරීම සුදුසුය. ගැඩවිලා එය එපා කීවොත් බත්කූරා ඒ සඳහා කැමැතිකර ගැනීමට උත්සාහයක් ගත හැකිය. බත්කූරා එයට විරුද්ධනම් පත්තෑයා සුදුසුවන නමුදු ඌ සමඟ සාකච්ඡා කිරීම භයානකය. පත්තෑයා යනු විසකුරු සතෙකි.

වන සතුන් වගා හානි කරන්නේ ඇයි? මෙයට ඇති පිළිතුර ඉතා සරලය. මිනිස්සු වන සතුන් සතු වනගහනය අත්පත් කරගෙන එය එළිපෙහෙළි කොට ගොවිතැන් කරති. එවිට වනසතුන් සතු සාම්ප්‍රදායික නිජ භූමිය විනාශයට පත්වන අතර එම භූමියේ හැදෙන ගහකොළද විනාශයට පත්වීමෙන් එම සතුන්ට ආහාර අහිමි වේ. ඊළඟට වන සතුන්ට සිදුවන්නේ උන්ට අයත් භූමියෙහි ගොවීන් විසින් වගාකරන ලද බෝගවර්ග අනුභව කිරීමය. අලියා සම්බන්ධයෙන් ඇත්තේද මෙවැනිම ගැටලුවකි. මිනිසුන් විසින් වනාන්තර එළිකිරීම නිසා ඒවායේ ජීවත් වූ අලින්ට යන එනමං නැතිවිය. එවිට ගෙවල්වලට කඩා පැන වී කෑමටත්, කුඹුරු පාළු කිරීමටත් ඒ සත්තු පුරුදු වූහ. කොටි සංවිධානය විසින් උතුරු නැගෙනහිර ජනතාවට කළේද මෙවැනිම කෙළියකි. කොටි සිංහල සහ මුස්ලිම් ජනාවාසවලට කඩාවැදී ඒවායේ ජීවත්වූ ජනයා පලවා හැරියහ. එවිට රටේ විවිධ ප්‍රදේශවලට පැන ආ සිංහල සහ මුස්ලිම් ජනයා ඒ ප්‍රදේශවල ස්ථානගතවී අනෙක් මිනිස්සුන්ට වාත වීමට පටන් ගත්හ.

ආණ්ඩුව එල්ටීටීඊ ප්‍රශ්නය විසඳා උතුරු නැගෙනහිර ජනතාව තම සාම්ප්‍රදායක ජනාවාසවලට ආපසු පිටත්කර හරින නමුදු තිරිසන් සතුන් සම්බන්ධයෙන් එවැන්නක් කිරීමට නොහැක. ගොවි ජනතාව විසින් අත්පත් කරගන්නා ලද තිරිසන් සතුන්ගේ වාසභූමිවල නැවත වතාවක් වනාන්තර ඇති කිරීමට නොහැකිය. ඒනිසා එළවළුවලට අමතරව දඩ මස්ද සමඟ බත් කෑමට ගොවි ජනතාවට අවස්ථාව ලැබෙන්නේය. කබල්ලෑවා යනු ඉතාම අසරණ අහිංසක සතෙකි. ඌගෙන් කිසිදු වගාවකට හානියක් නැත. එහෙත් අපේ රටේ පිටිසරබද සිංහල බෞද්ධ ජනයා මේ අහිංසක සතා දුටුතැන මරාගෙන කති. කබල්ලෑවා යනු වඳවෙමින් පවතින සතෙකි. දඬුලේනාද වඳවෙමින් පවතින සතෙකි. දඬුලේනා ජාතික සත්වයා තනතුරෙන් ඉවත් කර වගාවේ හතුරකු ලෙස නම් කිරීමෙන් දැනට සිටින ඉතිරි දඬුලේනුන් ස්වල්පයද මරාගෙන කෑමට ජනතාවට අවස්ථාව ලැබේ.

සාමාන්‍යයෙන් ජාතික සතුන් මරාගෙන කෑම ශිෂ්ට රටවල මිනිස්සු නොකරති. ඉන්දියාවේ ජාතික සත්ත්වයා වන්නේ බෙංගාලි කොටියාය. මේ සතා මනුෂ්‍යයාගේ පරම සතුරකු වන අතර කැලෑ මණ්ඩිවල රැක සිට මිනිසුන් මරාගෙන කෑමෙන් බඩ පුරවාගනී. එසේ කියා ඉන්දියානු රජය බෙංගාලි කොටියා ජනතාවගේ සතුරකු ලෙස නම්කර නැත. පකිස්තානයේ ජාතික සත්තු දෙදෙනෙක් සිටිති. ඒ රටේ ජාතික උරගයා කිඹුලාය. එසේම ජාතික මිනීකන සතා හිමව්‍යාග්‍රයාය. එහෙත් ඒ රටේ මිනිස්සු කිඹුලා සහ හිමව්‍යාග්‍රයා ජනතා සතුරකු ලෙස සලකා මරා දමන්නේ නැත. එසේ මරන්නට ගියොත් මෙලොව ජීවත්වන තිරිසන් සතුන්ගෙන් 80% ක් පමණ මරාගෙන කෑමට සිදුවේ.

දඬුලේනා, වඳුරා වැනි සතුන් ඝාතනය කිරීමට අවශ්‍ය ලයිසන් නැති තුවක්කු වර්ගයක් ලංකාවේ තිබේ. මේවා සැහැල්ලු වායු තුවක්කු ලෙස හඳුන්වනු ලැබේ. මේ තුවක්කුවක් මිලට ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ග්‍රාම සේවක සහතිකය පමණි. තුවක්කු සැහැල්ලු වුණාට මෙයින් වෙඩි තැබූ කල සතා මියයයි. වඳවෙමින් පවතින සතෙකු වන දඬුලේනා ජාතික සතුරෙකු ලෙස නම් කිරීමට පෙර වනජීවී ඇමැති මහින්ද අමරවීර තවදුරටත් කල්පනා කිරීම වටී. ඇත්තම කියතොත් මේ රටේ ලොකුම ජාතික සතුරා දේශපාලනඥයාය. එසේ කියා මේ රටේ ජනයා රට සහ ජනතාව බේරාගැනීම සඳහා දේශපාලනඥයන්ට එරෙහිව කැති පොලු අතට ගන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment