මී කතුර

1203

ශ‍්‍රී ලංකාවේ විදේශ ණය අර්බුදය එහි ඉහළම තැනට විත්, තවත් ඉහළට යන්නේ කෙසේ දැයි කල්පනා කරමින් රටේ ආර්ථිකය තුළ රස්තියාදු ගසමින් සිටී. ඒ අතර එය මහජනතාවගේ බඬේ ද හැප්පෙයි. ශ‍්‍රී ලංකාවේ ණය අර්බුදය අලූත් ප‍්‍රශ්නයක් නොවේ. සිංහල රජ කාලයෙන් පසු මේ රටේ ජනයා ජීවත්වුණේ ණයටමය. මේ රට, එහි අවසන් අධිරාජ්‍යවාදී පාලකයා වූ බි‍්‍රතාන්‍යට යටත් වීමෙන් පසු එංගලන්තයට ණය වීම ඇරඹිණ. එනම් ලංකාව පාලනය කළ බි‍්‍රතාන්‍ය ජාතිකයෝ මේ රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා එංගලන්තයේ භාණ්ඩාගාරයෙන් සහ බැංකු වලින් මුදල් ණයට ගත්තේය. ඒ මුදල් මේ රටේ ජනතාවගේ සහ මෙරට ඉන්දියානු වතු කම්කරුවන්ගේ ශ‍්‍රමය සූරා කෑමෙන් තම මව් රටට පොලියත් සමග ගෙවීමට මෙරට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව වග බලා ගත්හ. ශ‍්‍රී ලංකාව පළමු වරට සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බි‍්‍රතාන්‍යයෙන් මුදල් ණයට ගන්නේ කොළඹ නුවර රේල් පාර තැනීම පිණිසය. ඒ සඳහා ටෙන්ඩර් කැඳවන ලදුව පවුම් විසි ලක්ෂයක ටෙන්ඩරයක් ඉදිරිපත් විය. එහෙත් එම ටෙන්ඩර්කරු පලවා හල මෙරට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව මේ රටේ වැඩ දෙපාර්තමේන්තුව හරහා පෙරකී ටෙන්ඩරයෙන් භාගයක් වටිනාකමට, එනම් පවුම් දස ලක්ෂයක් වැයකොට කොළඹ නුවර රේල් පාර තැනීය. එතනදීද ඔවුන් කළේ මේ රටේ දේශීය ශ‍්‍රමිකයා ගසා කෑමය. බි‍්‍රතාන්‍ය ටෙන්ඩර්කරු ලංකාවට පැමිණියේ නම් මෙරට ශ‍්‍රමිකයන්ට වැඩි පඩි ගෙවීමටත් ඉදිකිරීම් ව්‍යාපෘතිය සිදුකරන කාලය අතරතුර එම ශ‍්‍රමිකයන්ට හොඳ ආහාර සහ උසස් වෛද්‍ය පහසුකම් සැපයීමටත් තීරණය කර තිබුණි. එකී ටෙන්ඩර් කරු වළකාලීම නිසා සිදුවුණේ රේල් පාර හදන කාලය තුළදී මැලේරියා වසංගතයට ලක්වී මියගිය දේශීය ශ‍්‍රමිකයන්ගේ මළ සිරුරු රේල් පාර දෙපැත්තේ වැලලීමය. කොළඹ නුවර රේල් පාරේ හැම සිල්පර කොටයක් වෙනුවෙන්ම එක සිංහලයකු බැගින් මියගිය බවට කතාවක් තිබේ. 1818 වෙල්ලස්ස කැරැුල්ලේදී ඇතිවූ සංහාරයෙන් පසු ලංකාවේ ජනගහනයේ විශාල අඩුවක් ඇතිවිය. කොළඹ නුවර රේල් පාර තැනීමෙන් පසුද රේල් පාර දෙපැත්තේ තිබූ ගම්මානවල සිටි ජනගහනයෙන් යම් ප‍්‍රමාණයක් අඩු වෙන්නට ඇති බව අපගේ විශ්වාසයයි. එයට හේතුව පෙරකී මරණ සංඛ්‍යාවය.

 මේ අනුව ශ‍්‍රී ලංකාව පළමුවරට පිට රටවලට ණය කාරයකු වන්නේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙනි. එය අදත් එමමය; එසේමය. 1970 දී බලයට පත්වූ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් ණයට ගත්තේ නැත. ඒ වෙනුවට ඇය චීනයෙන් සංවර්ධන ව්‍යාපෘති නොමිලේ ලබා ගත්තාය. එදත් අද මෙන්ම අපගේ ආදරණීය පොලී මුදලාලි වූයේ චීනයයි. බණ්ඩාරනායක මැතිනිය තම ආණ්ඩුවේ ලොකුම ව්‍යාපෘතියක් වූ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව මේ කියන චීන පොලී මුදලාලි වෙතින් ආපසු නොගෙවන ආධාරයක් ලෙස නොමිලේම ලබා ගත්තාය. එහෙත් එම ආණ්ඩුව පරාජයට පත්වී 1977 ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වූ පසු පිට රටින් ණයට ගෙන රට සංවර්ධනය කිරීම ඇරඹිණි. ඒ වන විට ශ‍්‍රී ලංකාව විවෘත ආර්ථිකයට ඇතුළු වී තිබිණ. මේ රටේ කරුමක්කාර ජනතාවගේ  බඩගෝස්තරවාදී නොඉවසිල්ල නිසා සමගි පෙරමුණු ආණ්ඩුවේ රට සංවර්ධනය කිරීමේ ව්‍යාපාර සහ වගා ව්‍යාපාර සියල්ල ඒ වන විට නැවතී තිබිණ. සමගි පෙරමුණ ආණ්ඩුව පරදින විටත් සිටියේ එක්තරා ආකාරයක විවෘත ආර්ථිකයකට ඇතුළු වෙමිනි. 1975 පමණ වනවිට මෙරට ජනයා විදේශ රැුකියා පිණිස අරාබිය බලා යන්නට පටන්ගෙන තිබිණ. 1976 වනවිට කොළඹ කොටුවේ World Marcket නමැති පේමන්ට් වෙළෙඳ පොළෙහි පිට රටින් ගෙන්වූ කලිසම් රෙදි හා කමිස රෙදි, සුවඳ විලවුන් හා විලාසිතා ආභරණ අලෙවි විය. ඒ අතර ලංකාවේ පළමු වතාවට ඩෙනිම් සහ කොඞ්රෝයි යන යුරෝපීය කලිසම් රෙදි සහිත මොඩර්න් රෙදි කඩවල් ඇරෙන්නට පටන් ගත්තේය. 1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ආර්ථිකය විවෘත කළවිට එය ඒ තරමට නුහුරු නුපුරුදු අත්දැකීමක් ලෙස මේ රටේ ජනයාට හැඟුනේ නැත. ඒ අතර මිනිස්සු බැංකු සමග ගනුදෙනු කිරීම වැඩිකොට ලොකු ගෙවල් සෑදීමටත් වාහන ගැනීමටත් බිස්නස් සංවර්ධනය කර ගැනීමටත් ණය ගන්නට පටන් ගත්හ. ඊට සමාන්තරව ශ‍්‍රී ලංකා ආණ්ඩුව එංගලන්තයෙන් ජපානයෙන් සහ ලොව පුරා තිබෙන මූල්‍ය සංවිධාන වලින් ඩොලර් ණය ගැනීමට පටන් ගත්තේය. පිට රටින් ණයට ගෙන සංවර්ධන ව්‍යාපෘති පටන් ගත් නමුදු ඒවායින්, පසු කාලයේදී මේ රට ලැබූ ඵලය ඒ සඳහා ලබාගත් ණය සහ ගෙවූ පොලිය සමග සැසඳෙන්නේ ද යන ප‍්‍රශ්නය අදටත් හරියාකාරව විසඳී නැත. ජේ. ආර්. ගේ යූ. එන්. පී. ආණ්ඩුව කොතරම් වේගයෙන් ණය ගත්තේද යත් 1989 වන විට එම ණය ප‍්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 72% ක් දක්වා වර්ධනය වී තිබිණ. 1995 වනවිට කිසිදු සාධාරණ හේතුවක් නැතුව, මේ කම්මැලි ජනතාව මේ විදිහටම අවුරුද්දෙන් භාගයක්ම විවිධ රජයේ නිවාඩු ලබමින් වැඩ නොකරමින් සිටියදීත්, රට තුළ හදිසි ආර්ථික සංවර්ධනයක් ඇතිවිය. සමහර විට එයට හේතුව 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බලයට පත්වීම විය යුතුය. 1986, 88, 89 කාලයේ පැවති පේ‍්‍රමදාස ආණ්ඩු සමයේදී මේ රට දේශපාලන වශයෙන් මහත් වියවුලකට ලක්වී මිනී මරුවන්ගේ කානිවල් එකක් බවට පත්ව තිබිණ. 1994 දී චන්ද්‍රිකා බලයට පත්වීමත් සමගම එම කානිවල් එක වසා දැමූ බැවින් යම් ප‍්‍රමාණයක විදේශ ආයෝජන රට තුළට පැමිණෙන්නට පටන් ගත්තේය. ඕනෑම රටකට විදේශ ආයෝජකයන් පැමිණෙන්නේද සංචාරකයන් එන්නේද ඒ රට තුළ දේශපාලන කලබගෑනි

 නොමැත්තේ නම් පමණි. ඒ සඳහා සරල උදාහරණ දෙකක් මෙසේය. නිතර කඩු කිනිසි ගෙන මහා පාරේ ලේ හලා ගන්නා ජනයා සිටින සහ කුඩු විකුණන, කසිප්පු විකුණන, කොන්ත‍්‍රාත් එකට මිනී මරණ දාමරිකයන් සිටින පළාතකට ගොස් අලූතින් කඩයක් දැමීමට කවුරුත් කැමති නැත. එමෙන්ම කිසියම් ගෙදරක අය එකිනෙකා සමග කෝලාහල කරගන්නා අවස්ථාවක ඒ ගෙදරට අමුත්තන් යන්නේද නැත. මේ නිසා වියවුල්කාරී පේ‍්‍රමදාස පාලනය නිමාවට පත්කළ චන්ද්‍රිකාගේ පාලන සමය රටට සහනයක් විය. එහෙත් රටේ එක පැත්තක ඉතා පැරණි වර්ගවාදී යුද්ධයක් තිබිණ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ වර්ගවාදී යුද්ධය නිමාකළ පසු රට තුළ ක්ෂණික පශ්චාත් යුද ආර්ථික වර්ධනයක් ඇතිවී 1989 දී දළ ජාතික නිෂ්පාදිතයෙන් 62% ක් වූ විදෙස් ණය ප‍්‍රමාණය 30% දක්වා පහළ බැස්සේය. කෙසේ වුවද රටේ සංවර්ධනය දිගටම පැවතුනේ ණය මතය. ඒ ණය පළමුකොට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය. දෙවනුව චීනයෙන් ලබාගත් ණය විය. 2019 වනවිට විදෙස් ණය ප‍්‍රමාණය රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 16% දක්වා ඉහළ නැග්ගේය. ඒ නැගපු නැගිල්ල දිගටම නගින අතර අද වනවිට එය ණය උගුලක් නොව මී කතුරක් බවට පත්ව ඇත. උගුලකට හසුවූ කල්හි මැරෙන්නේ නැත. එහෙත් මී කතුරකට හසුවූ කල්හි බෙල්ලම යයි.

advertistmentadvertistment
advertistmentadvertistment