මුග්ධ නිලධාරීන් හා උගතුන් යැයි කියාගත් කිහිපදෙනෙක් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමුවා

191

බංගලාදේශය ඵල නෙලාගත් මෙය ලබන වසරේ අපටත් ලබාගැනීමට තිබුණා – පාඨලී චම්පික රණවක

ඉතාම මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනෙකු හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ජපන් ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය එල්ආර්ටී ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු නොකළානම් බංගලාදේශයේ විවෘත කරනු ලැබූ සැහැල්ලු දුම්රිය සේම ලබන වසරේ ශ්‍රී ලංකාවේ ජනතාවටද එම පහසුකම ලබාගැනීමට තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

2017 වසරේදී සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම තුළින් මෙරට මහජනතාවට සිදුවූ අති විශාල පාඩුව හා බංගලාදේශය එහි ඵල නෙළාගෙන ඇති ආකාරය පිළිබඳව අදහස් දක්වමින් එම එල්ආර්ටී ව්‍යාපෘතියේ ප්‍රධාන නියමුවා වශයෙන් කටයුතු කළ ඒ මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

බංගලාදේශ පාලකයන් අතිශය සතුටට පත්වෙනවාට සැකයක් නැහැ. අනාගත බංගලාදේශය වැනි ජනගහනය ඉතා අධික, ගොඩබිම් ප්‍රමාණය ඉතා අඩු රටකට ගැලපෙන පොදු ප්‍රවාහනය නවීකරණය කිරීම කියන ඒ වැඩපිළිවෙළ. ඔවුන් හඳුනාගෙන එය ක්‍රියාත්මක කිරීම ගැන අපිත් ඉතාම සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ව්‍යාපෘතිය කොටස් දෙකක් යටතේ සලකා බැලුවා. කොළඹ නගරය අවට, ප්‍රධාන දුම්රිය නවීකරණ ව්‍යාපෘතියක් හා ශීඝ්‍රගාමී බස් සේවාවක් හඳුන්වාදීමේ මූලික කටයුතු සිදු කරමින් හිටියා. ඒ සියලු ව්‍යාපෘති ඉතාමත්ම මුග්ධ තර්ක විතර්ක මැද 2020 දී නතර කරනු ලැබුවා. 2018 තමයි මුල් වතාවට පොදු ප්‍රවාහනය සැලසුමක් ඇති කළේ. හොංකොං නගරය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව වැනි ජනගහනය ඉතා අධික, වර්ගඵලය ඉතාම අඩු රටකට අතිශයින්ම ගැලපෙන ක්‍රියාවලිය වන්නේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම.

අද මේ රට බංකොළොත් භාවයට පත් වෙලා තියෙන්නේ අධිවේගී මාර්ග තැනීමට අති විශාල මුදලක් වැය කිරීමත් ඒ වැය කරපු මුදල් වලින් විශාල ප්‍රමාණයක් අධික පොලියට ගත්ත ණය වීමත්. ඒ වගේම ඒ වැය කිරීම්වලින් තවත් විශාල කොන්ත්‍රාත්කරුවන් හා දේශපාලඥයන් විසින් විශාල මුදලක් සොරා ගැනීමත් නිසා. 2018 වර්ෂයේදී ජයිකා ආයතනය පර්යේෂණයක් කළා මේ දුම්රිය සේවාව නවීකරණය කිරීමටත්, බස් රථ සේවාව නවීකරණය කිරීමටත්, නාගරික ප්‍රවාහන තදබදයට විසඳුමක් හැටියට මොනෝරේල් ව්‍යාපෘතියකුත්. සිද්ධ වුණේ මොකක්ද? මොනම ආකාරයකවත් ශක්‍යතා අධ්‍යනයකින් තොරව දිගට හරහට අධිවේගී මාර්ග ඉදිකිරිම තමයි වුනේ.

අපි බස්නාහිර මහ නගර ව්‍යාපෘතිය ආරම්භ කළාට පස්සේ 2016 වසරේදී මේ පිළිබඳව සුවිශේෂී අධ්‍යනයක් කළා ලංකාවේ ඉන්න විශේෂඥයන්. මාර්ග ක්ෂේත්‍රය පිළිබඳව, මොරටුව විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්ෂක පීඨය මූලිකව විශාල පර්යේෂණයක් කළා. ඒ අනුව අපි තීරණය කළා බස්නාහිර පළාතට ගැලපෙන ප්‍රධාන ප්‍රවාහන සේවා දෙකක් හැටියට ශීඝ්‍රගාමී බස් සේවාවක් ඇති කිරීම වගේම සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඇති කිරීම. ඒ වගේම සියලුම ප්‍රවාහන පද්ධති එකට එකතු කරපු සහසර නමින් යුක්ත විද්‍යුත් කාඩ් පතක් හෝ ස්මාර්ට් ෆෝන් හරහා සිදුකරන යම් ආකාරයක ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම. ඔය කරුණු අපි හඳුනාගත්තා පමණක් නොව ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙළ ගත්තා.

සැහැල්ලු දුම්රිය පද්ධතිය ප්‍රධාන කොරිඩෝ 4ක් යටතේ ඉදිකිරීමට සැලසුම් කළා. ඒ අනුව ජපානයෙන් 0.1% පොළියට අවුරුදු 12 ණය ආපසු ගෙවීමේ සහන කාලයක් සහිතව තවත් අවුරුදු 40 කින් ඒ ණය ගෙවීමට හැකිවන ආකාරයේ ණයක් ලබා දුන්නා පමණක් නෙවෙයි ජයිකා ආයතනයෙන් විශාල තාක්ෂණික සහයක් ලබා දුන්නා. අපිට පුළුවන් වුණා වසර 3 ක් වැනි කාලයකදී කෙටි සංකල්ප පත්‍රිකාවක සිට ඉදිකිරීම දක්වා මේ ව්‍යාපෘතිය ගේන්න. දින 52 කුමන්ත්‍රණය නොවුනා නම් 2018 වර්ෂයේ මේ ඉදිකිරීම් කටයුතු අපිට වහාම ආරම්භ කරන්න පුළුවන්කම තිබුණා. නමුත් අපිට මාස 6 කින් කල් දාන්න සිද්ධ වුණා. නැවත අනුමැතීන් ලබා ගැනීමට සිද්ධ වුණා ජපන් කැබිනට් මණ්ඩලයෙන් හා පාර්ලිමේන්තුවෙන්. ඒ සියල්ල ලබාගෙන අපි ඒ වැඩකටයුත්තේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. ඒ ව්‍යාපෘතිය ඉතාම මුග්ධ විදිහට කටයුතු කරපු නිලධාරීන් කිහිප දෙනෙක්. උගත්තුයි කියන කිහිප දෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කියලා ඒක නැවැත්තුවා.

ඒක පිටිපස්සේ තිබුණා කතාවක්. ඒ කතාව තමයි අර අධිවේගී මාර්ග ඉදිකිරීමට නැවත වතාවක් රජය යොමු කරවීම. මීට වඩා වියදම් අඩු ව්‍යාපෘති ගේනවා වගේ කතා ගොඩාක්. ඇත්ත වශයෙන්ම මේකේ වියදම වැඩියි කියලා ගොඩක් දෙනෙක් කිව්වා. අපි අපේ උපදේශක සේවාව ලබා දුන්නා. උපදේශක සේවාවලටත් ණය මුදල් අපිට ජපානයෙන් ලැබුණා. ඒ උපදේශක සේවාවන්වලින් මේක විධිමත්ව විග්‍රහ කිරීමෙන් පසු මෙහි මිල ගණන් ඩොලර් බිලියන 2.2 සිට 1.8 දක්වා අඩු කරන්න හැකි වුණා. මේ වියදම යන්නේ රේල් පාරට විතරක් නෙවෙයි. දුම්රිය, මගී දුම්රිය ස්ථාන, දුම්රිය නඩත්තු කිරීම, නඩත්තු අංගන, විදුලි පරිපථ, සංඥා පරිපථ වැනි සියලු දේට තමයි මේ වියදම.

advertistmentadvertistment
advertistmentadvertistment