මුගාබේ මාවත සහ මැන්ඩෙලා මාවත!

58

වරක් සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගෙන් මාධ්‍යවේදීයෙක් මෙහෙම ඇසුවා.

ප්‍රශ්නය – ඔබ සිම්බාබ්වේ ජනතාවගෙන් සමුගන්න අදහසක් නැද්ද?

මුගාබේ – ඇයි ඔවුන් කොහෙද යන්නේ?

ප්‍රශ්නය – ජනපතිතුමනි ඔබට දැන් අසූනවයක්නේ. විශ්‍රාම සුවය ලැබීම හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

මුගාබේ – ඇයි ඔබ ඔය ප්‍රශ්නය එලිසබත් රැජිනගෙන් අහන්නේ නැත්තේ. අප්‍රිකානුවන්ගෙන් විතරද අහන්නේ?

එහෙව් මුගාබේ සිම්බාබ්වේ නැවත නැගිටිය නොහැකි අගාධයකට තල්ලුකොට දැමුවා.

පාලකයෙකුගේ මානසිකත්වයේ මට්ටම මත ඒ රටේ අනාගතය බොහෝ දුරට තීරණය වෙනවා. ඔහුගේ මානසිකත්වයට අනුව තීන්දු තීරණ ගැනීමට යෑම හේතු කොටගෙන ඒ රට ගමන් කරන මාර්ගය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට පුළුවන්කම තිබෙනවා.

යහපත් මානසිකත්වයකින් යුක්ත පාලකයෙක් තමන්ගේ රට යහපත් දිශාවකට යොමු කරන අතර අයහපත් මානසිකත්වයක් සහිත පාලකයෙක්ගෙන් බලාපොරොත්තු වන්නට පුළුවන් වන්නේ අයහපත් දිශාවකට රැගෙන යන රටක් පමණයි.

නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ පළවෙනි කළු ජාතික ජනාධිපතිවරයා. ඇත්ත වශයෙන්ම ඔහු දකුණු අප්‍රිකාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන්න සමත් වෙච්ච නායකයා. ඔහු ඒ රටේ ජනාධිපති ධුරයට පත් වෙනකොට දකුණු අප්‍රිකාව කිසියම් සංවර්ධන තැනක තිබුණා. හැබැයි ඒ වෙනකොටත් ඒ රටෙන් නොතිබුණු දෙයක් තිබුනා. ඒ තමයි මිනිස් නිදහස සහ සංහිඳියාව. රටේ බහුතරයක් වුණු කළු ජාතිකයන් අන්ත දිළිඳුව ඉද්දි සුදු ජාතික සුළුතරයක් රටේ සම්පත් සූරා කෑම සිදුකරමින් තිබුණා. මැන්ඩෙලා මේ ක්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්න සමත් වෙනවා. බොහොමයක් කළු ජාතිකයන් මේ නිසා මැන්ඩෙලාව දේවත්වයෙන් අදහනවා. එතෙක් කලක් සුදු ජාතිකයන්ට පමණක් සීමා වෙච්ච බොහෝ රැකියා අවස්ථාවන් සෑම දෙනාටම විවෘත වුණේ නෙල්සන් මැන්ඩෙලාගේ මේ මැදිහත් වීම නිසා. කළු ජාතිකයන්ට සිදු වූ අසාධාරණකම් බැහැර කරන අතර සුදු ජාතිකයන්ගෙන් පලිගැනීම්වලට නොගොස් ලොවම පිළිගන්නා වෛරී නොවන ශිෂ්ටසම්පන්න ගමන් මගක් සඳහා ඔහු දකුණු අප්‍රිකාවට නායකත්වය දුන්නා. මැන්ඩෙලා ගේ මානසිකත්වය තිබුණේ දියුණු ප්‍රසන්න ශිෂ්ට සම්පන්න රටක් වෙනුවෙන්. ඒ වෙනුවෙන් ඔහු ජීවිතයේ අතිමහත් කාලයක් අරගල කළා. ඇත්ත වශයෙන්ම ඔහුගේ පාලන කාලය තුළ ඒ අරගලය ජයග්‍රහණය කිරීමටත් ඔහුට පුළුවන්කම ලැබුණා.

සිම්බාබ්බේ රොබට් මුගාබේ තමන්ගෙ රට එක් දිශාවකටත්, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා තමන්ගෙ රට තව දිශාවකටත් රැගෙන ගියා. 1980 සිට 2017 දක්වා විධායක බලතල ඇතිව සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළේ රොබර්ට් මුගාබේ. ඔහු එරට පාලනය කළ කාලය අවුරුදු 37 ක්. ඒකාධිපති බලතල තිබූ ඔහුගේ පාලන කාලය තුළදී ආර්ථිකය සුනු විසුනු වුණා.

විරැකියාව තුන් ගුණයකින් ඉහළ ගිය අතර 1998 වන විට 50% කට රැකියා තිබුණේ නැහැ.

ආර්ථිකය කඩා වැටුණේ විශාල ගොවිපොළවල් හිමි සුදු ජාතිකයන් නිසා බව කියමින් එම ගොවිපොළවල් සහ ඔවුන්ගේ’ ඉඩකඩම් වනසා දමන්නට මුගාබේ කටයුතු කළා. ඉඩම් අල්ලා ගැනීම නීති විරෝධී බව උසාවිය තීන්දු කළ විට මුගාබේ කළේ අගවිනිසුරුව ගෙදර යැවුවා.

2007 දී ලෝකයේ ඉහළම උද්ධමනය එරටින් වාර්තා වුණා. එය 7600% ක්. 2008 වසර වන විට උද්ධමනය සියයට ලක්ෂයක් (100,000%) දක්වා ඉහළ නැංගා. දරුවන්ගෙන් පාසල් ගියේ ළමුන්ගෙන 20% ක් පමණයි.

2017 දී සිම්බාබ්වේ ජනාධිපතිගේ ඒකාධිපති පාලනයට එරෙහිව මහජනයා වීදි වලට බැස නොකඩවා උද්ඝෝෂණය කළා. ඒ අතර ඔහුගේම පක්ෂය ඔහු නෙරපා හැරියා.

“අධික බලය මිනිසා විනාශ කර දමයි” කියා කතාවක් තිබෙනවා. එය යථාර්ථයක් වූ අවස්ථා ලෝක ඉතිහාසය තුළ ඕනෑ තරම් දකින්නට තිබෙනවා.

දේශපාලනය යනු” බල ක්‍රීඩාවක් බව” ඇත්ත. නමුත් ඒ බල ක්‍රීඩාව තුළ ශිෂ්ට සම්පන්න බව පිළිබඳ ව කතාවක් තිබිය යුතුමයි. එහෙම නොවන බල ක්‍රීඩාවක් තුළින් ඉතිරි වන්නේ බරපතළ ඛේදවාචකයක්. ඒ ඛේදවාචකය තුළින් රටවල් රැගෙන යන්නේ අඳුරු අගාධයක් වෙතමයි. රටක් හැටියට සහ පාලකයන් හැටියට සියලු දෙනා අවබෝධ කරගත යුත්තේ එයයි. මේ වෙනකොට අපේ රට තුළ දේශපාලන ප්‍රවාහයේ තිබෙන්නේ සහමුලින්ම විකෘතියක්. ඒ විකෘතිය විසින් ජනතා මතය නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසාම ජනතාව සහ පාලනය අතර පාලමත් වෙනුවට වැටී තිබෙන්නේ තාප්පයක්.

බරපතළ ලෙස කඩාගෙන වැටුණු ජන ජීවිතවලට සාපේක්ෂව පාලකයන් ගමන් කරමින් සිටින්නේ සහමුලින්ම වෙනස් වෙනත් දිශාවකට. හිතුවක්කාරය, මර්දනය තර්ජනය සහ ගර්ජනය තුළින් රටක ජන ජීවිත පාලනය කිරීමට’ පාලකයින්ට ඉඩ ලැබුණු කාලය ලෝකයෙන් වේගයෙන් තුරන් වෙමින් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ලංකාවටත් හුදකලා වන්නට බැහැ.

ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් චෝදනා එල්ල වෙන විට ඒවාට ප්‍රතිචාර ලෙස ලංකාවේ පාලනය විසින් සිදු කරන්නේ “චණ්ඩියාගේ භූමිකාව” රඟ දැක්වීම. නමුත් එලෙස චණ්ඩියා ගේ භූමිකාව රඟදැක්වූ බොහෝ රටවල්වලට ඉතිරි වුණේ පසුතැවිලි සහගත අනාගතයක් පමණයි.

ශිෂ්ට සම්පන්න ලෝකය විසින් අපේක්ෂා කරන පාලන ක්‍රමයන්ගෙන් අත්මිදී වියරුව, කෝපය සහ මර්දනයේ යොදා ගනිමින් සිදුකරන පාලනයන් පිළිබඳව ලෝකෙ පුරාම ඇත්තේ අප්‍රසන්න සහගත සාධක පමණයි.

ලෝකයේ බොහෝ රටවල් සම්ප්‍රදායික ගමන වෙනස් කොට නවීනත්වය සහ මානව සංහිඳියාව පදනම් කරගත් පාලන ක්‍රමයන් හේතුකොටගෙන පෙරට එමින් සිටිනවා. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපය තුළ මේ තත්ත්වය වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා.

එලන් ජොන්සන් 2006 සිට 2018 දක්වා ලයිබීරියාවේ ජනාධිපතිවරිය ලෙස කටයුතු කළා. ඇය ලයිබීරියාව ඒකාධිපති දූෂිත තත්ත්වයෙන් මුදා ගනිමින් යහපත් රටක් බවට පත් කිරීමට පෙරමුණ ගත්තා. කෙනත් කවුන්ඩා 1964දී සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා බවට පත් වුණා. ඔහු තමන්ගේ රට දූෂණයෙන් මුදාගෙන අධ්‍යාපනය ඉහළ නංවමින් දියුණු රටක් බවට පත් කරන්නට උත්සාහ ගත්තා. 2030 වෙන්න කලින් ඝානාව පළමු සංවර්ධිත අප්‍රිකානු රටවල් අතරින් එකක් බවට පත්කර ගැනීම වෙනුවෙන් ක්වමේ නකමුරා කැප වෙන්නට පටන් ගත්තා. හේලී සෙලාසි ඉපදුනේ ලෝකයේ අති පැරණි රාජ වංශයක වගේම අති පැරණි රටක. ඒ රට තමයි ඉතියෝපියාව. අද ඉතියොපියාව අප්‍රිකාවේ වේගයෙන්ම දියුණු වන රටක් බවට පත්වෙලා අවසන්. මේ වගේ ඕනෑතරම් උදාහරණ විශේෂයෙන් අප්‍රිකානු කලාපයේ ම ලබා ගන්න පුළුවන්.

ඒකාධිපති බව, මර්දනකාරී පිළිවෙත වර්තමාන ලෝකයේ ශිෂ්ට සම්පන්න රටවල් පාලනය කිරීමේ මෙවලමක් නොවේ. ඒ නිසා අපි ද අලුතින් සිතිය යුතුයි. නවලෝකයේ උදාහරණ වෙත අවධානය යොමු කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment