මුට්ට කරගහන මිනිසුන් සතුටු කළ නාට්ටාමි පාටිය… ඇතුල්වීම නොමිලේ

970

මුල්වරට මේ වගේ සාදයකට සහභාගි වූ අයත් අපි අතර හිටිය
අපිට ඒක අලුත් අත්දැකීමක්

පිටකොටුව අයි.එස්. පෙරේරා මාවත එකල හැඳින්වූවේ කරවල මුඩුක්කුව නමින් ය. එම හැඳින්වීමට මූලික හේතුව බවට පත්වන්නේ මෙරට කරවල වෙළෙඳාමේ තොග වෙළෙඳ පොළ අයි.එස්. පෙරේරා මාවත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වීම ය. එබැවින් වියළි හාල්මැස්සාගේ සිට ඕනෑම කරවල වර්ගයක් තොග වශයෙන් මිල දී ගැනීමට මෙරට සුපතළ ස්ථානයක් පවතී ද? එම ස්ථානය නම් පිටකොටුව කරවල මුඩුක්කුව ය. එම ප්‍රදේශය අයි.එස්. පෙරේරා මාවත නමින් නම් කළ ද අද පවා බොහෝ පිරිසක් එම ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ කරවල මුඩුක්කුව නමින් ය.

පිටකොටුව ප්‍රධාන වීදියෙන් (main street) හැරී කරවල මුඩුක්කුව වෙත ගමන් කරන ඕනෑම කෙනකුට දකින්නට ලැබෙන සුලභ දසුනක් බවට පත්වන්නේ පෙට්ටිවල අඩුක්කොට අලෙවිය පිණිස තබා ඇති විවිධ වර්ගයන්ට අයත් කරවල ය. මෙරට කරවල වෙළෙඳ පොළ කොතරම් දැවැන්ත එකක්දැයි යන්න පිළිබඳ මූලික අවබෝධයක් ලබාගැනීමට එක්වරක්වත් එහි සංචාරය කළ යුතුය. එහි ඔබ මොබ ඇවිද යන කල ඇස ගැටෙන තවත් දර්ශනයක් නම් වීදි මැද කඩිසරව ඇවිද යන කරත්තකරුවන් ය. බොහෝ දෙනෙක් ඔවුන්ව හඳුන්වනු ලබන්නේ ‘නාට්ටාමි’ එසේත් නැත්නම් ‘කරත්ත කාරයන්’ යනුවෙන් ය. ඔවුන්ගේ සේවය නොවන්නට බත රස කරන කරවල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලොරි රථවල නැඟී ගම්නියම් ගම් කරා පැමිණෙන්නේ නැත. එබැවින් කළු කෙසඟ සිරුරින් හෙබි ‘නාට්ටාමි’ ප්‍රජාව ද මෙරට වෙළෙඳ යාන්ත්‍රණයේ සක්‍රීය දැති රෝද ලෙස නම් කළ යුතුය. ඒ පිළිබඳ කිසිවෙක් උරණ විය යුතු ද නැත.

2023 ජනවාරි මස පළමු සතියේ සෙනසුරාදා දිනය කරවල මුඩුක්කුව කේන්ද්‍ර කර ගනිමින් බර අදින නාට්ටාමි ප්‍රජාවට විශේෂ දිනයක් විය. ඊට හේතුව බවට පත්වන්නේ ඔවුන් පිරිස ට සංවිධානය වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් සහිත ප්‍රිය සාදයක් සංවිධානය වෙමින් පැවැතීම ය. එම සාදය පැවැත්වීම පිණිස කොටහේන ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ උත්සව ශාලාවක් වෙන්කර ගන්නා එක්තරා ව්‍යාපාරිකයෙක් ඒ සඳහා වැයවන සම්පූර්ණ වියදම පියවා දමන්නේ තම පෞද්ගලික ධනයෙන් ය. එය කිසිදු පෞද්ගලික ලාභ අපේක්‍ෂාවකින් තොරව සිදුකරනු ලබන පරිත්‍යාගය කි. පවත්වන ලද එම සාදයේ සිරි විසිතුරු අසා දැන ගැනීමේ අටියෙන් ඉකුත් දිනක පිටකොටුව ‘කරවල මුඩුක්කුව’ ප්‍රදේශයේ අප කළ සංචාරයක දී එම සාදය පිණිස සහභාගී වූ ‘නාට්ටාමි’ පිරිසෙන් කීපදෙනකු මුණ ගැසුණ අතර එහි දී ඔවුන් එදින විඳින ලද මිහිරි අත්දැකීම අප හා විස්තර කර සිටීයහ. ඒ අනුව අප හා පළමුව අදහස් දක්වා සිටියේ තම මුතුන් මිත්තන්ගේ පටන් මුට්ට කරගැසීම රැකියාව බවට පත්කරගත් අභිකුමාර් ය.

“කරවල මුඩුක්කුව තමයි අපි රස්සාව කරන තැන. මුඩුක්කුවට ඇවිත් කරවල ඕඩර් කරල යන මුදලාලිලාගේ බඩු ටික ලොරිවලට පටවල දවසේ ආදායම හොයා ගන්න එක තමයි අපේ රස්සාව. අපේ පිරිස ගත්තොත් මේ වීදියේ බඩු උස්සන්න අසූවක අනූවක විතර පිරිසක් ඉන්නවා. මේ අය අතරට මුට්ට කරගහන කට්ටිය වගේ ම කරත්ත අදින අයත් ඉන්නවා. කොහොම වුණත් මේ විදියේ රස්සාව කරන පිරිස විදිහට අපි මුදලාලිලාගේ විශ්වාසය දිනාගෙන අවංකව අපේ රස්සාව කරගෙන යනවා. ඊට අමතරව පිටකොටුව ගත්තොත් මේ රස්සාව කරන මිනිස්සු තුන්හාර දාහක් විතර ඉන්නවා.”

සාදය පිළිබඳ විස්තර පැවැසීමට පෙර අභිකුමාර් විස්තර කර සිටියේ ඔහු ඇතුළු නාට්ටාමි ප්‍රජාවෙන් පිරිසක් රැකියාව කරන කරවල මුඩුක්කුව ආශ්‍රීත නාට්ටාමි ප්‍රජාව පිළිබඳ කෙටි විස්තරයක් ය. ඔවුන් වෙනුවෙන් ම සංවිධානය වූ සුවිශේෂී සාදය පිළිබඳ විස්තර කරන්නට වූවේ එම පැහැදිලි කිරීමෙන් අනතුරුව ය.

මුට්ට කරගහන මිනිසුන් සතුටු කළ නාට්ටාමි පාටිය… ඇතුල්වීම නොමිලේ

“කරවල මුඩුක්කුව ඇතුළේ රස්සාව කරන අපේ කට්ටිය අපේ මට්ටමින් පොඩි සමිතියක් කරගෙන යනවා. පොත් පත් ලියකියවිලි ඒ සමිතියේ නෑ. අපි කරන්නෙ සෑම සෙනසුරාදා දවසක ම රුපියල් 100 ගාණේ එකතු කරල අපේ අයගේ පවුල්වල මරණයක් වුණොත් ඒකට වියදම් කරන්න මුදලක් පරිත්‍යාග කරන එක පමණ යි. දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩේ කරනවා. වීදියේ බිස්නස් කරන මුදලාලි මහත්වරුන්ගේ සහයෝගයත් ඒ සඳහා ලැබෙනවා. මේ පාර අලුත් අවුරුද්ද ලබල දවස් දෙකක් විතර ගියාට පස්සේ දවසක් විල්සන් මහත්තය කිව්ව සෙනසුරාදා හවස 6.00ට අපේ කට්ටිය ඔක්කෝට ම කොටහේන තියෙන උත්සව ශාලාවකට එන්න කියල. ඊට ඉස්සර අපිට එහෙම ආරාධනයක් කවුරුවත් කරල තිබුණේ නෑ. අපිට එන්න කිවවේ මොකටද කියල හොයල බලද්දී ආරංචි වුණා අපේ ජීවිතයේ මුල් වතාවට හොඳ උත්සව ශාලාවක පාටියක් සූදානම් කරනව කියල. මුදලාලි කෙනෙක් එහෙම දෙයක් කරයි කියල අපි හීනෙකින්වත් හිතපු දෙයක් නොවෙයි. මොකද අපි රස්සාව කරන්නේ පාරේ. එහෙම එකේ අපිට විශේෂ සැලකිල්ලක් දක්වන්න ලොකු මුදලක් වියදම් කරනව කියන්නෙ හිතා ගන්නවත් බැරි කතාවක්. නමුත් එදා ඒ දේ සිද්ධ වුණා. මහත්තය විශ්වාස කරනවනම් විශ්වාස කරන්න කොළඹ ඉපදිල මේ රස්සාව කරන අපේ මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් මීට පෙර කවදාවත් එහෙම පාටියකට සහභාගි වෙලා තිබුණේ නෑ. අපි ජීවත් වෙන්නෙ එහෙම වට පිටාවක. කරත්තකාරයෝ කිව්ව ම කවුරුවත් අපිව ගණන් ගන්නෙ නෑ. කුඩුකාරයෝ , බේබද්දෝ දිහා බලනව වගේ තමයි අපි දිහා බලන්නෙත්.”

කතාවෙන්, බැල්මෙන් පවා බිය උපදවන සුලු පෙනුමක් සහිත නාට්ටාමිවරුන් ද මිනිසුන් ය. අනෙකාට දැනෙන හැඟීම් දැනීම් ඔවුන්ට ද පොදු ය. වෙනසකට පවතින්නේ සාමාන්‍ය සමාජයේ දී ඔබ අපට හිමි අවස්ථාවන් ඔවුන්ට නොලැබී යෑම ය. හොඳින් හැඳ පැලඳ මංගල උත්සවයකට සහභාගි වීම, ප්‍රිය සම්භාෂණයකට සහභාගි වෙමින් සතුටු සාමිච්චියේ යෙදීම ආදිය පිළිබඳ සිහින පවතින්නේ ඔවුන්ගේ ජීවිතවලින් බොහෝ ඈතක ය. ඊට හේතුව බවට බොහෝ දෙනෙක් විශ්වාස කරනු ලබන්නේ අවම අධ්‍යාපන මට්ටමක් සහ සමාජයේ
පහළ ම පන්තිය නියෝජනය කරන පුරවැසියන් පිරිසක් වීම තුළ මතුවන සමාජානුයෝජනය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් පිටකොටුව කේන්ද්‍ර කර ගනිමින් ජීවිකාව සරිකර ගන්නා නාට්ටාමිවරුන් යනු සදාකාලික බර කරගසන්නන් පිරිසක් පමණක් බවත් ඔවුන්ට සාමාන්‍ය සමාජයේ අනෙකුත් පුරවැසියන්ට හිමි කිසිදු වරප්‍රසාදයක් උරුම නැති බවත් ය.

ඉහත සඳහන් සාදය පවත්වනු ලබන්නේ එම ගෝත්‍රික මතයන් බැහැර කිරීම පිණිස ය. වෙනදා ට දකින්නට ලැබෙන රළු පරළු බව එදින ඔවුන් තුළින් දිස්වී නැත. පිටකොටුව කරවල මුඩුක්කුව තුළ බැරිබර කර ගසමින් වෙහෙස වූ ඔවුන්ට එදින සැඳෑව සුවිශේෂී සැඳෑවක් බවට පත්වී ඇත. ඇතැමෙක් අලුත මිල දී ගත් සරමකින්, කමිසයකින් සැරසෙමින් ද තවත් පිරිසක් කලිසම්, කමිස ආදියෙන් ද සැරසී සැඳෑ සාදය පිණිස පැමිණ ඇත. රැවුල, කොණ්ඩය ආදියෙහි ද වෙනදා ට දකින්නට නො ලැබෙන පිළිවෙළක් දකින්නට ලැබී ඇත. සාදය ආරම්භ වී ඇත්තේ පස්වරු 6.00ට පමණ ය. ඒ පිළිබඳ අප හා විස්තර කර සිටියේ වසර 15ට අධික කාලයක් මුට්ට කරගැසීම රැකියාව බවට පත්කර ගත් සෙල්ලා නමින් තමන්ව හඳුන්වාදුන් මැදිවියේ පුද්ගලයකු විසින් ය.

“එදා හවස 6.00 වෙද්දී අපි ශාලාවට ගියා. කොටහේන ප්‍රදේශයේ අංගසම්පූර්ණ උත්සව ශාලාවක් අපි වෙනුවෙන් වෙන් කරල තිබුණා. ඒ විතරක් නොවෙය,ි හරි ලස්සනට උත්සව ශාලාව සරසල තිබුණා. අපේ සමහර සාමාජිකයන් ඒ වන තෙක් එහෙම තැනකට ගිහින් තිබුණේ නෑ. විල්සන් මහත්තය කියන්නේ කරවල මුඩුක්කුවේ ඉන්න හිත හොඳ ව්‍යාපාරිකයන් ගෙන් එක් අයෙක්. කොරෝනා වෙලාවේ අපිට රස්සාව තිබුණේ නෑ. ඒ වෙලාවේ අපිට ජීවත් වෙන්න වෙන රස්සා තිබුණෙත් නෑ. ඉතින් අපි රස්සාව කරන වීදියේ මුදලාලි මහත්වරු ඒ වෙලාවෙත් අපිට ජීවත් වෙන්න ලොකු සහයෝගයක් දුන්නා. මේ රස්සාව කියන්නෙ අව්ව වැස්ස ගැනවත් බලන්නෙ නැතිව වැඩ කරන්න ඕන ඒ වගේ ම ලොකු ශක්තියක් වැය කරන්න ඕන ජොබ් එකක්. අද රටේ බඩු මිලත් එක්ක දවසක ආදායම එදා දවසේ වියදමට තරම්වත් ප්‍රමාණවත් නෑ. මේ රස්සාව කරන මිනිස්සුන්ට බඩ පිරෙන්න කන්න බොන්න ඕන. ඒ බව මුදලාලි මහත්වරු දන්නවා. ඒ හින්දාම එදා පාටියට හැම දෙයක් ම තිබණා. ඒක අංගසම්පූර්ණ කෑම වේලක්. එක කෑම වේලක් වෙනුවෙන් රුපියල් තුන් හාර දාහක් විතර වියදමක් යන්න ඇති කියල අපි විශ්වාස කරනවා. එදා අපිට ලබාදුන් සතුට වචනයෙන් විස්තර කරන්න මම දන්නෙ නෑ. අපිටත් මේ සමාජයේ අනිත් මිනිස්සුන්ට වගේම වටිනාකමක් ලබාදුන්න කියල තමයි කියන්න තියෙන්නේ…”

එය එතෙක් මෙතෙක් පිටකොටුව ආශ්‍රීතව රැකියාව සිදුකරන නාට්ටාමි ප්‍රජාව පිණිස පැවැති ප්‍රථම රාත්‍රි සාදය බවත් එවැන්නක් පිළිබඳ ඉතිහාසයේ මෙතෙක් සඳහන් වී නොමැති බවත් අප හා පවසා සිටියේ එම සාදය පිණිස සහභාගි වූ තවත් සාමාජිකයකු වූ මුරුගන් විසින් ය.

“අපේ තාත්තල, සීයල රැකියාව විදිහට කරගෙන ගියෙත් පිටකොටුවේ මුට්ට කරගහන එක. ඒ අයට තවදුරටත් රස්සාව කරන්න හයියක් නැති වෙද්දී අපි ඒ රස්සාව කරන්න පාරට බැස්සා. අපේ තාත්තල සීයලවත් මේ වගේ අත්දැකීමක් ලබල නැහැ. ඒ හින්දා අපේ ජීවිතවල අමතක නොවන සිදුවීමක් ලෙස මේ පාටිය පිළිබඳ මතකය හැමදා ම පවතී කියල විශ්වාස කරනවා. ‘කරත්තකාරයෝ’, ‘නාට්ස්ලා’ කියල පැත්තකට කරල තිබුණ අපිට ලොකු වටිනාකමක් ලබාදුන්න එක හරි වටින වැඩක් කියල මේ වෙලාවේ අපේ සහෝදරවරු හැමෝ ම වෙනුවෙන් මම සඳහන් කරනවා.”

ඉහත සඳහන් කළ සාදය නිමාවට පත්වී මේ වනවිට සති දෙක තුනක් ඉක්ම ගොස් ඇත. මෙම සටහන සම්පූර්ණ වීමට නම් එම සාදය සංවිධානය කළ සහ අර්ථපතීත්වය දැක්වූ ව්‍යාපාරිකයා සොයා යා යුතුය. ඒ සඳහා අපට මඟ පෙන්වීම පිණිස පිටකොටුව කරවල මුඩුක්කුවේ නාට්ටාමි සහෝදරවරුන් කීපදෙනෙක් ඉදිරිපත් විය. පිටකොටුව කරවල තොග ව්‍යාපාරික විල්සන් මහතා අපට මුණ ගැසෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

‘යම් මුදලක් වියදම් කරල මේ විදියේ රස්සාව කරන මිනිස්සුන්ට හොඳ කෑම වේලකින් සංග්‍රහ කරන්න ලැබීම ගැන මා තුළත් ඒ වගේ ම ඒ මිනිස්සු තුළත් ලොකු සතුටක් පවතිනවා. ඒක මුදලින් මිල කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අපි මඟුල් ගෙදරට, ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වෙනව නම් ඒ අයටත් එහෙම අවස්ථාවක් ලබාදීම තමයි මගේ අරමුණ බවට පත්වුණේ. ඒ සාදය ගැන වැඩි විස්තරයක් කියන්න මම සූදානම් නැහැ.මොකද මේක ප්‍රසිද්ධ වෙන්න කරපු දෙයක් නොවෙයි. ඒ හරහා ආත්ම තෘප්තියක් පමණයි මම අපේක්‍ෂා කළේ. ඒ මිනිස්සුත් අපි වගේ ම දවසක් හරි කාල බීල සතුටු වුණා. එච්චරයි. ඒක ඇතුළේ වෙන ලාභ ප්‍රයෝජන කිසිවක් නෑ. මමත් ඒ මිනිස්සුත් එක්ක බත් කටක් කාල ගෙදර ආවා’.

දුප්පත්ව ඉපිද දුප්පතුන් ලෙස ම මිය යන සමාජ ස්ථරයක් නියෝජනය කරන නාට්ටාමි ප්‍රජාව වෙනුවෙන් ම සංවිධානය වූ එම සාදය තවත් සිරිවිසතුරු සිදුවීම් බොහෝමයකින් සමන්විතව තිබී ඇත. ඒ අතරට නැටුම් ගැයුම්, රැඟුම්, වැයුම් ආදිය ද ඇතුළත් ය. ප.ව. 6.00ට පමණ ආරම්භ වන සාදය නිමාවට පත්වන්නේ රාත්‍රි 11.00 කනිසම ද පසුවූ පසු ය. මේක විසිතුරු විදුලි බුබුළු මැද සතුටු සිනා ඔල්වරසන් මැද පැවැති සාදය නිමාවට පත්වන්නේ අංගසම්පූර්ණ රාත්‍රි කෑම වේලකින් පැමිණි සියල්ලන්ට ම සංග්‍රහ කිරීමෙන් අනතුරුව ය. ඉන් එපිට කිසිවක් පැවැසීමට වෙළෙඳ ව්‍යාපාරික විල්සන් මහතා කැමැත්තක් දැක්වූවේ නැත. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ අනවශ්‍ය ප්‍රසිද්ධිය පිණිස තමන් කැමැත්තක් නො දක්වන බව ය. රටට අවශ්‍යව ඇත්තේ ද එලෙස අප්‍රකටව යහපතෙහි යෙදෙන මිනිසුන් ය. මුට්ට කරගසන මිනිසුන් ලෙස පැත්තකට කර තිබූ මිනිස් ප්‍රජාවක් වෙත සානුකම්පිත වූ ඔහු තමන් විසින් උපයා ගත් ධනයෙන් සැලකිය යුතු මුදලක් වැය කරනු ලබන්නේ මහ පාරේ මුට්ට කරගහන මිනිසුන් ද මනුෂ්‍යයෝය යන උතුම් සංකල්පය ඔස්සේය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment