‘මුතුරාජවෙල’ නාගරික සංවර්ධන අධිකාරියට දුන්නේ ඇයි…?

699

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක්ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ‍්‍රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කිරීමට කටයුතු කළ බවට චෝදනා නැගී ඇත. ශ‍්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ‍්‍රිත තෙත් බිම් මේ ආකාරයෙන් අනතුරට ලක්කෙරිණි. වගුරු බිම් පද්ධතියක පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම හා එහි ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් නොමැති, මෙම ආයතන විසින් වගුරු බිම්වලට සිදු කළ විනාශය හේතුවෙන් අද වන විට කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කර ගංවතුර පාලන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට සිදු වී ඇත. වගුරු බිම් ගොඩ කිරීම, වගුරු බිම් පද්ධති ඛණ්ඩනය කිරීම, වගුරු පද්ධති ජලාශ බවට පත් කිරීම මෙන්ම වගුරු බිම් හා ඇළ මාර්ග පද්ධති දෙපස කළු ගල් ඇතිරීම හේතුවෙන් බොහෝ තෙත් බිම් ආශ‍්‍රිත ජීවීන්ට වාසස්ථාන හා බෝවීමේ ප‍්‍රදේශ අහිමි වී ඇත.

නාගරික සංවර්ධනය හා නගර අලංකරණය යන වචන භාවිත කර සිදු කළ මෙම තෙත් බිම් පද්ධති විනාශය හේතුවෙන් අද වන විට තෙත් බිම් ආශ‍්‍රිත ජෛව ප‍්‍රජාවට දරුණු බලපෑම් එල්ල වී ඇත. කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශවලට පැමිණෙන තෙත් බිම් ආශ‍්‍රිත සංක‍්‍රමණික පක්ෂි විශේෂවලට ද මේ හේතුවෙන් වාසස්ථාන අහිමි වී තිබේ. එපමණක් නොව වගුරු පද්ධති කැණීම් කර විශාල ගැඹුරු ජලාශ ඉදි කිරීම හේතුවෙන් අනාගතයේ දී මුහුදු ජලය රට අභ්‍යන්තර ප‍්‍රදේශවලට කාන්දු වීම වර්ධනය හේතුවෙන් පස ලවණීකරණයට ලක් වී ගැටලූ බොහොමයක් උද්ගත විය හැකි ය.

නගර අලංකරණයේ නාමයෙන් වගුරු බිම් පද්ධති විනාශ කිරීම සිදු කරන අතරතුර කොළඹ ආශ‍්‍රිතව සංවර්ධනය කරන නගර සියල්ල ක්‍රොන්ක‍්‍රීට් වනාන්තර ලෙස ගොඩනගමින් පවතී. අලූතින් ඉදි කරන හා පුළුල් කරන මාර්ග සියල්ල ශාක ආවරණවලින් තොර විවෘත නිරුවත් මාර්ග ලෙස ඉදිකර තිබේ. නගර සියල්ලම ශාක ආවරණයන්ගෙන් තොර විවෘත ප‍්‍රදේශ ලෙස නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදි කර ඇත. මේ නිසා සූර්යය තාපය සෘජුව භූමියට පතිත වීම හේතුවෙන් සන්නයනය, සංවහනය හා විකිරණයෙන් අවට ප‍්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යෑම ඇතුළු ගැටලූ ගණනාවක් නාගරික ප‍්‍රදේශවල ජීවත් වන ජනතාවට මුහුණ දීමට සිදු වී ඇත. එපමණක් නොව වර්ෂා කාලයේදී නාගරික ප‍්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය පසට උරා ගැනීමට ක‍්‍රමවේදයක් නොපැවතීම හා එම ජලය ක්‍රොන්ක‍්‍රීට් ආවරණ මතුපිටින් ගලා ගොස් තෙත් බිම්වලට වැඩි ප‍්‍රමාණයක් යොමු වීම හේතුවෙන් කෙටි කාලීනව ගංවතුර තර්ජන ඇති වේ. මේ නිසා විශාල මුදලක් වැය කර වැසි ජලය භූගත උමං පද්ධතියක් තුළින් මුහුදට යොමු කිරීමට හා වැසි ජලය පොම්ප මගින් කැළණි ගඟට යොමු කිරීමට සිදු වී ඇත.

මේ සියල්ලටම හේතුව නාගරික සංවර්ධන අධිකාරියට හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට 1971 වසරේ තෙත් බිම් සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර රැම්සාර් ප‍්‍රඥප්තිය හෝ 2006 ඔක්තෝබර් මස ප‍්‍රකාශිත ජාතික තෙත් බිම් ප‍්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුම ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ව කිසිදු අවබෝධයක් නොමැති වීම ය. එපමණක් නොව තෙත් බිම්වල ජෛව පද්ධති කළමනාකරණය පිළිබඳව නිවැරදි දැක්මක් හා තාක්ෂණික අවබෝධයක් මෙම ආයතනවලට නොතිබීම විශාල අඩුපාඩුවකි. එවන් තත්ත්වයක් තුළ මෙරට සුවිශේෂී තෙත් බිමක් වන මුතුරාජවෙල කළමනාකරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම යනු දැවැන්ත විනාශයකට මඟපාදා දීමකි. කොළඹ ආශ‍්‍රිත තෙත් බිම්වල පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම් විනාශ කළ ආකාරයෙන්ම මුතුරාජවෙල තෙත් බිම සහ ඒ හා සම්බන්ධ මීගමුව කලපුව ද මෙම අධිකාරියෙන් කෙටි කාලයකදී විනාශ කර දමනු ඇත. මෙය නිවැරදිව තේරුම් ගත යුතු ය. මාදිවෙල පිහිටි තෙත් බිම් කුරුලූ උද්‍යානයක් සඳහා නීති විරෝධී ලෙස සමාගමකට ලබා දුන් ආකාරයෙන්ම මුතුරාජවෙල තෙත් බිම ද මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගමට ලබා දීමට මෙම සැලැසුම සකස් කර ඇති බව අද වන විට තහවුරු වී ඇත.

මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ විනාශකාරී සැලැසුම

මීගමුව කලපුව හා සම්බන්ධව ඇති සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් වන මුතුරාජවෙල මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කර ඇත්තේ 1980 අංක 2 දරන නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතට අනුව ය. මෙම පනතේ 2 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පවරා ඇති බලතල මත මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග‍්‍රාම නිලධාරී වසම් 15 ක පිහිටි හෙක්ටයාර 1926.6 ක භූමි ප‍්‍රදේශයක් 2021 ඔක්තෝබර් මස 7 වන දින අංක 2248/44 දරන ගැසට් නිවේදනය මගින් නාගරික සංවර්ධන ව්‍යාපෘති ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

මෙලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලා ගැනීම වැළැක්වීම, මෙම තෙත් බිම සංරක්ෂණය හා තිරසර භාවිතය මෙන් ම රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ය.

නමුත් නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇත්තේ නාගරික සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් ඉඩම් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමට ය. එවන් පනතක් මගින් මුතුරාජවෙල ප‍්‍රකාශයට පත් කර නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් සංරක්ෂණ කාර්යයක් සිදු කරනු ඇතැයි කිසිදු ආකාරයකින් විශ්වාස කළ නොහැකි ය. වත්මන් ආණ්ඩුව විසින් වනාන්තර සමාගම්වලට පවරාදෙමින් සිදු කරන දැවැන්ත විනාශය හා ඒ සඳහා ගත් ප‍්‍රතිපත්තිමය තීරණවලට අනුව පෙනී යන්නේ සංරක්ෂණයේ මුවාවෙන් තෙත් බිම් පද්ධතිද සමාගම්වලට ලබා දී විනාශ කිරීමට පිඹුරුපත් සකස් කරන බව ය. ඊට හොඳ ම සාක්ෂිය මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට ම අනවසර පිරවීම් හා අනවසර අල්ලා ගැනීම් වැළැක්වීම සඳහා මෙම තෙත් බිම් ප‍්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරන බව ය. එහි යටි අරුත වන්නේ අවසර මත මෙම තෙත් බිම පිරවීම් කර සංවර්ධනය කිරීමට අවස්ථාව ලබා දෙන බව ය. එසේ නොමැති ව මුතුරාජවෙල තෙත් බිම ගොඩ කිරීම වළක්වා සංරක්ෂණය කිරීමට පියවර ගැනීම නොවන බව ගැසට් නිවේදනයේ සඳහන් කරුණු මත ඉතාම හොඳින් පෙනී යයි.

එපමණක් නොව ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ මෙම තෙත් බිම තිරසර භාවිතය සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බව ය. නමුත් ඒ සඳහා වන සැලැසුම සකස් කෙරුනේ මීට වසර 27 කට ප‍්‍රථම 1994 වසරේ දී ය. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිම කොටස් තුනකට වෙන් කර තිරසර කළමනාකරණය සඳහා සැලැසුමක් සකස් කෙරින. එම සැලැස්ම නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රධාන ගැටලූ මතු වූයේ දේශපාලන බලපෑම් මත රාජ්‍ය ආයතනවලට මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ය. ඒ සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ගය වන්නේ අදාළ ආයතනවලට බලපෑමකින් තොරව නීති ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් රට තුළ ඇති කිරීම හා නීතියේ ආධිපත්‍යය මෙන් ම අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමය. එසේ සිදු නොකර දැනට පවතින ව්‍යුහය තුළ ම මෙම තෙත් බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීම යනු සංරක්ෂණය වෙනුවට සංවර්ධනය සඳහා මෙම තෙත් බිම යොදා ගැනීමට පිඹුරුපත් සැකැසීමකි.

මෙම ගැසට් නිවේදනයේ මුතුරාජවෙල තෙත් බිම රැුම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කරන බවට සාවද්‍ය කරුණු සඳහන් කර තිබේ. මුතුරාජවෙල තෙත් බිම අන්තර්ජාතික රැුම්සාර් සම්මුතියට අනුව රැුම්සාර් තෙත් බිමක් ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති අතර ඒ සඳහා යෝජනාවලියක් ද ඉදිරිපත් කර නොමැත. එවන් තත්ත්වයක් තුළ මුතුරාජවෙල රැුම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කරන බවට සාවද්‍ය කරුණු ගැසට් නිවේදන මගින් ප‍්‍රකාශයට පත් කිරීමෙන් ජනතාව මුළා කිරීමට උත්සාහ දරන බව පෙනී යයි.

සංරක්ෂණය කළ තෙත් බිම් සංවර්ධනය කිරීමට පිඹුරුපත් සැකැසීම

හෙක්ටයාර 3068 ක් පමණ වන මුතුරාජවෙල තෙත් බිමේ කොටසක් පළමුව සංරක්ෂණය කෙරුණේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ය. මෙම පනතේ ප‍්‍රධාන අරමුණ වන සතුන් හා වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි වාණිජ ලෙස ප‍්‍රයෝජනයට ගැනීම වැළැක්වීම හා ජෛව විවිධත්ව සංරක්ෂණය කිරීම ය. මෙම පනතේ 2(2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝබර් මස 31 වන දින අංක 947/13 දරන අති විශෙෂ ගැසට් පත‍්‍රයට අනුව තෙත් බිමේ හෙක්ටයාර 1028.62 ක භූමි ප‍්‍රදේශයක් මුතුරාජවෙල අභය භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.

දෙවනුව මුතුරාජවෙල තෙත් බිමට ආරක්ෂාව හිමි වූයේ ජාතික පාරිසරික පනතෙනි. මෙම පනතේ ප‍්‍රධාන අරමුණ වන්නේ පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ අභිවර්ධනය කිරීම සඳහා පාරිසරික තත්ත්වය විධිමත් කිරීම, පවත්වාගෙන යෑම සහ එය පාලනය කිරීම සඳහා පරිසර දූෂණය වැළැක්වීම, නතර කිරීම සහ පාලනය කිරීම සඳහා ක‍්‍රියාත්මක වීම ය. මෙම පනතේ 24ඇ හා 24ඈ උප වගන්ති වලට අනුව 2006 ඔක්තෝබර් මස 13 වන දින අංක 1466/26 දරන ගැසට් නිවේදනයෙන් මුතුරාජවෙල තෙත් බිමේ හෙක්ටයාර 206.678 ක තෙත් බිම් ප‍්‍රදේශයක් ලංකාවේ ප‍්‍රථම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඉන් පසුව 2018 සැප්තැම්බර් 25 වන දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මඟින් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය හෙක්ටයාර 162.10 ක් දක්වා අඩු කර තිබේ.

මුතුරාජවෙල තෙත් බිමට අයත් ඉතිරි භූමි ප‍්‍රදේශ මෙම පනත් දෙක යටතේ ප‍්‍රකාශයට පත් කර සංරක්ෂණය කිරීම වෙනුවට මෙම තෙත් බිම් පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් පෙනී යන්නේ සංරක්ෂණය වෙනුවට සංවර්ධනය සඳහා සැලැසුම් කරන බව ය.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

advertistmentadvertistment
advertistmentadvertistment