මුතූර් ශ්‍රමදානයකට ගිය ට්‍රැක්ටරය පෙරළී මරණ 3 ක්: 17 කට තුවාල

300

මූතූර් පොලිස් වසමට අයත් ගල්කන් පාමුල පිහිට කොට්ටියාරම්මූල රජමහ විහාරයේ ශ්‍රමදාන කටයුත්තකට ට්‍රැක්ටරයක ගමන් කළ පිරිසක් රැගෙන ගිය ට්‍රැක්ටරයක් පෙරේදා (20) අනතුරකට ලක්වීමෙන් තිදෙනකු මියගොස් 17 දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.

මෙලෙස මියගියේ සේරුනුවර සෝමපුර දකුණු ඉවුරේ පදිංචිකරුවන් වන අත්තනායක මුදියන්සේලාගේ නන්දා සේපාලි (55) වලිමංගමුනිගේ ලීලාවතී (54) හා මුතුහැන්නදිගේ ජයන්තිමාලා (54) යන අයයි.

මුතූර් ශ්‍රමදානයකට ගිය ට්‍රැක්ටරය පෙරළී මරණ 3 ක්: 17 කට තුවාල

තුවාල ලැබූ 17 දෙනකු මූතූරු මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූවන් අතර 62 හැවිරිදි ට්‍රැක්ටරයේ රියැදුරාද වේ. තුවාල ලැබූවන් අතරින් පස් දෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. වලගම්බා රජ සමයේ පාත්‍රා ධාතුව නිධන් කළ දාගැබේ දැනට සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රමදායකත්වය ලබා දීමට මෙම පිරිස පැමිණි ඇති බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විහාරාධිපති පූජ්‍ය බලල්ලේ රතනසාර හිමි “මේ අයට මම ට්‍රැක්ටරය පහළ දාලා එන්න කිව්වා. නමුත් ගඩොල් අදින්න තියෙන නිසා වැඩි හොඳට පිරිස සමඟ ඇවිත් තියෙන්නේ. කන්ද නගින අතරමඟදී ගියර් මාරු කරද්දී ට්‍රැක්ටරය පසු පසට ගමන් කර පැති බැම්මේ වැදිලා පෙරළිලා තියෙන්නේ” යැයි පැවසීය.

මුතූර් ශ්‍රමදානයකට ගිය ට්‍රැක්ටරය පෙරළී මරණ 3 ක්: 17 කට තුවාල

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ මූතූර් රෝහලේ දී පැවැත්වීමට නියමිත අතර මූතූර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි, සේරුවිල – සුගත් විජේකුමාර

advertistmentadvertistment
advertistmentadvertistment