මුදල් අච්චු ගැසීමට පාලනයක් තිබිය යුත්තේ ඇයි?

82

මුදල් අච්චු ගැසීමේ ඇත්ත-නැත්ත 03

මහ බැංකුවේ දේශීය වත්කම් ප්‍රසාරණය වීම හේතුවෙන් සංචිත මුදල්වලට සිදු වූ බලපෑම මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ක්ෂය වීම හේතුවෙන් පාලනය විය. එබැවින්, ආර්ථිකයට අලුතින් මුදල් නිකුත් කිරීමේ එක් පැතිකඩක් පමණක් විශ්ලේෂණය නොකර මුදල් අච්චු ගැසීම පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන විශ්ලේෂණවලදී මහ බැංකුව විසින් නිකුත් කරන ලද සමස්ත මුදල් තොගය පිළිබඳ සලකා බැලිය යුතුය.

වර්තමනයේදී ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයක පැවතීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකය මේ මොහොතේ අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී සිටී. රටක ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයක පැවතීම නිතර දක්නට නොලැබෙන අවස්ථාවකි. එනම්, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මුදල් තොගය විදේශීය වත්කම්වලින් නොව සම්පූර්ණයෙන්ම දේශීය වත්කම්වලින් ආවරණය කෙරෙන බව මින් අදහස් කෙරේ. ශුද්ධ පදනම මත රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රවාහයක් ලැබෙන තෙක්, මහ බැංකුවේ ශුද්ධ දේශීය වත්කම් ඉහළ මට්ටමක පවතිනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ වැඩපිළිවෙළ අනුමත කිරීම තුළින් ඒ හරහා ශ්‍රී ලංකාව වෙත වෙත ලැබෙන විදේශ වත්කම් තුළින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වේගයෙන්

ගොඩ නැගීම සඳහා මග පාදනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව, මහ බැංකුව විසින් රාජ්‍ය වියදම් මූල්‍යනය කිරීම වැළැක්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම මෙන්ම අපේක්ෂිත රාජ්‍ය ආදායම් ඉහළ යෑම සහ විදේශ මූල්‍යනය සඳහා වන අවකාශය පැවතීම හේතුවෙන් අනාගතයේදී, මහ බැංකුව විසින් රජයට මුදල් සැපයීම හරහා තවදුරටත් ශුද්ධ දේශීය වත්කම් ගොඩනැගීම වළක්වනු ඇත.

මුදල් අච්චු ගැසීමට පාලනයක් තිබිය යුත්තේ ඇයි?

රූප සටහන 2:
සංචිත මුදල් සංයුතිය: වත්කම් අංශය අනුව සංඛ්‍යා සටහන 1: සංචිත මුදල්, සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් සහ මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් තොගයේ වෙනස්වීම

සාමාන්‍ය ආර්ථික තත්ත්වක් යටතේ, රටක සමස්ත මුදල් ප්‍රසාරණය ආර්ථිකයේ ගනුදෙනුවල සමස්ත වටිනාකම සමග ගැළපිය යුතුය. පොදු පිළිගැනීම නම්, ඕනෑම අධික මුදල් අච්චු ගැසීමක් මගින් රටෙහි මුදල් සැපයුම වැඩිවීමත් එමගින් ජනතාවගේ ආදායම් මට්ටම් ඉහළ යෑම හරහා ආර්ථිකය තුළ ඉල්ලුම් පීඩන ඇති කළ හැකිය. එසේම දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුමට අමතරව, වැඩි වන ආදායමෙන් කොටසක් භාණ්ඩ හා සේවා ආනයනය සඳහා යොමු විය හැකි අතර එමගින් විවෘත ආර්ථිකයක් තුළ ගෙවුම් ශේෂය සහ විනිමය අනුපාතිකය මත වන පීඩනය ද වැඩි කළ හැකිය. ඒ අනුව, රටක සමස්ත මුදල් සැපයුම මුදල් පදනම හෝ සංචිත මුදල් මත පදනම්ව නිර්මාණය වීම සහ අධික ලෙස මුදල් අච්චු ගැසීම උද්ධමන පීඩනයට තුඩු දීම හේතුවෙන් මහ බැංකුවක් විසින් ආර්ථිකයට අලුතින් මුදල් නිකුත් කිරීමේදී පිළිපැදිය යුතු යාන්ත්‍රණයක් එනම් මුදල් සැපයුම සෘජුව පාලනය කිරීම හෝ පොලී අනුපාතික හරහා වක්‍රව පාලනය සඳහා මනා ලෙස පිළිගත් ක්‍රමවේදයක් පවතී.

මිල්ටන් ෆ්‍රීඩ්මන් පැවසූ පරිදි, “උද්ධමනය සෑම විටම සහ සෑම තැනකම පවතින මූල්‍ය සංසිද්ධියක් වන අතර උද්ධමනය නිර්මාණය වනුයේ නිෂ්පාදනයට වඩා වැඩි වේගයකින් මුදල් ප්‍රමාණයේ වැඩිවීමකින් පමණි.” එසේ වුවද, මෑත දශක කිහිපය තුළ මුදල් සැපයුම සහ උද්ධමනය අතර වන මෙම සම්බන්ධය ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද දුර්වල වී ඇත. මෙහි එක් ප්‍රතිඵයලක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා බොහෝ මහ බැංකු මැදි කාලීනව ඉලක්කගත මට්ටමක උද්ධමනය ස්ථාවර කිරීම සඳහා, උද්ධමන ඉලක්කකරණ මුදල් ප්‍රතිපත්ති රාමුව වෙත යොමු වීම දක්නට ලැබේ.

ගෝලීය මූල්‍ය අර්බුදය අතරතුර මෙන්ම කොවිඩ්-19 වසංගත කාලයේදී ලොව පුරා බොහෝ මහ බැංකු සිය ආර්ථිකයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මුදල් සැපයුම විශාල වශයෙන් ඉහළ දැමීම සිදු කරන ලද අතර එවැනි මුදල් සැපයුම් පුළුල් කිරීම් මගින් අධික උද්ධමන පීඩනයක් එම කාලය දක්නට නොලැබුණි. කෙසේ වෙතත්, එම ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්වීමත් සමග මහ බැංකුවල ශේෂ පත්‍රවල පවතින එවැනි දැඩි මුදල් ප්‍රසාරණයන් අඩු කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට එම මහ බැංකු ක්‍රියා කරනු ලබයි. එවැනි මුදල් සැපයුම් අඩු කිරීමේ ක්‍රියාවන් තුළින් අනාගතයේදී උද්ධමනය ඉහළ යෑමට හේතු විය හැකි අහිතකර උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට බෙහෙවින් උපකාරී වේ. ඒ අනුව සාමාන්‍ය ආර්ථික තත්ත්වයක් යටතේ රටක මුදල් සැපයුම අධික ලෙස ඉහළ යෑම රටක උද්ධමනයකට මඟ පෑදීමේ හැකියාවක් පවතින අතර සමස්ත ඉල්ලුම කෙරෙහි ඇති විය හැකි සෘජු බලපෑම නිසා මෙන්ම, අධික මුදල් සැපයුම මගින් විනිමය අනුපාතික පීඩන සහ උද්ධමන අපේක්ෂා මත සිදු කරන බලපෑම හේතුවෙන් ලොව පුරා මහ බැංකු ආර්ථිකයට මුදල් අලුතින් නිකුත් කිරීමේදී ඒ පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන බව මෙමගින් පෙනී යයි.

ජානක එදිරිසිංහ
අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ
මුදල් සහ බැංකු අංශය
ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

advertistmentadvertistment
advertistmentadvertistment