මුදල් අවභාවිතයන් සිදුනොවීමට රීති හඳුන්වාදීම ඉතා වැදගත්  – අගමැති මහින්ද රාජපක්‍ෂ

199

ඉකුත් රජය සමයේ විෂය භාර ඇමැතිවරයාගේ අභිමතය පරිදි මුදල් වැය කිරීම හේතුවෙන් සිදු වී ඇති විශාල මුදල් අවභාවිතයන් තවදුරටත් සිදු නොවීමට රීති හඳුන්වාදීම ඉතා වැදගත් බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත යටතේ හඳුන්වා දිය යුතු රීති පිළිබඳව කෙටුම්පත එම කමිටුවේ සභාපති ජී. එල්. ඩබ්ලිව්. සමරසිංහ මහතා ඇතුළු කමිටුව විසින් අගමැතිවරයාට පෙරේදා (2 දා) අරලියගහ මන්දිරයේදී භාරදුන් අවස්ථාවේ අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කර ඇත.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් 2020 සැප්තැම්බර් 16 දින මෙම කමිටුව පත්කර තිබිණි.

පසුගිය ආණ්ඩුව සමයේ විෂය භාර අමාත්‍යවරයා සිය අභිමතය පරිදි මුදල් වැය කිරීම හේතුවෙන් සිදුවූ විශාල මුදල් අවභාවිතාව වැනි මුදල් අවභාවිතයන් තවදුරටත් සිදු නොවීම සඳහා මෙම රීති හඳුන්වා දීම ඉතා වැදගත් බව පෙන්වා දුන් අගමැතිවරයා විෂය භාර අමාත්‍යවරයාගේ අභිමතය මත මුදල් වියදම් කිරීම සීමා කරමින් ඒ සඳහා නියමිත ක‍්‍රමවේදයක් සැකසීම රටට ඵලදායී වනු ඇති බව කියා සිටියේය.

අගමැති උපදේශක (මහජන සම්බන්ධතා) ජී. එල්. ඩබ්ලිව්. සමරසිංහ මහතා කමිටු සභාපති ලෙස කටයුතු කළ මෙම කමිටුවේ සෙසු කමිටු සාමාජිකයන් ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජිත නන්ද කුමාර, මහාභාරකාර තැන්පත් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ (පාලන හා මානව සංවර්ධන) ඩබ්ලිව්. ධර්මදාස යන මහත්වරු කටයුතු කළහ.

මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවන ලද අවස්ථාවේ සිට මේ දක්වා පනත ක‍්‍රියාත්මක කර ඇති ආකාරය හා ඒ යටතේ නිකුත් කර ඇති චක‍්‍රලේඛ හා නියමයන් විමර්ශනයට භාජනය කරමින් ඊට සමාන්තරව හා එක්ව ක‍්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ අණ පනත් හා රීති ද සලකා බලමින් මෙම රීති කෙටුම්පත සකස් කර ඇත.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචර්ය අනුර මනතුංග, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචර්ය සෙනරත් දිසානායක, ලෝක උරුම ජාත්‍යන්තර උපදේශක ආචාර්ය ගාමිණී විජේසූරිය, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය නිමල් පෙරේරා සහ නිවාස අමාත්‍යාංශයේ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නන්දනී ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මේ සඳහා විශේෂඥ දැනුමෙන් සහය වී තිබේ.

අරමුදලේ බලතල හා වෙනත් කටයුතු සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීමේදී එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සහ ප‍්‍රධාන පරිපාලන නිලධාරියාට සහාය පිණිස විශේෂඥ කමිටුවක් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශය පරිදි ප‍්‍රධාන පරිපාලන නිලධාරියා විසින් පත් කළ යුතුය. එය කලින් කලට සමාලෝචනය කොට සංශෝධන අවශ්‍ය වේ නම් ප‍්‍රධාන පරිපාලන නිලධාරියාට එසේ කළ හැකි වීම ඇතුළු ප‍්‍රධාන රීති 16 ක් මෙම කෙටුම්පතට අයත් වේ.

මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment