මුදල් අහේනිය දරුණුයි නිරෝගී බව රැක ගන්න ඔළුව අවුල් කරගන්න එපා

224

රට තුළ පවතින ආර්ථික අර්බුදය මේ වන විට අප සෑම කෙනෙකුටම එකහා සමානව බලපා ඇත. ඉන්ධන මිල ඉහළ යෑම, බස් ගාස්තු වැඩි වීම, සෑම ආහාර පානයකම මිල වැඩිවීම, ඖෂධ වර්ගවල මිල වැඩිවීම ආදී එදිනෙදා, ජීවිතයට බලපාන සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල වැඩිවීමට සමානව ආදායම වැඩි නොවී ඇති නිසා අප බොහෝ දෙනා ඊට මුහුණදීම සඳහා සිදුකරන්නේ ඒවා පරිහරණය සීමා කිරීමය.

ඉන්ධන මිල වැඩි වීම නිසා එය පරිහරණය කරන ප්‍රමාණය සීමා කළ හැකිය. ගෑස් මිල ඉහළ යෑම නිසා වෙනත් විකල්පයකට යොමුවිය හැකිය. නමුත් ආහාර පාන වෙනුවට හෝ ඖෂධ වෙනුවට අපට වෙනත් විකල්ප නැත. එනිසා බොහෝ දෙනා සිදු කරන්නේ ඒවා ගනු ලබන ප්‍රමාණය සීමා කිරීමය. ඉන් සිදුවන්නේ අපගේ ශරීර සෞඛ්‍යය දුර්වල වීමය. පවතින ආර්ථික ගැටලු හමුවේ දැඩි ලෙස මානසික පීඩාවටද පත්ව සිටින මොහොතක මෙලෙස ශරීර සෞඛ්‍යයද දුර්වලවීම අහිතකරය. එනිසා ශරීර සෞඛ්‍ය රැක ගැනීමට අප මේ මොහොතේ වැඩි අවධානයක් යොමු කළ යුතුය.

මුදල් අහේනිය දරුණුයි නිරෝගී බව රැක ගන්න ඔළුව අවුල් කරගන්න එපා

විශේෂයෙන්ම මේ වන විට සමාජයේ වැඩි පිරිසක් දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග ඇතුළු නිධන්ගත රෝගවලට
ගොදුරුව සිටිති. එම රෝග පාලනය සඳහා ඖෂධ ගැනීම අත්‍යවශ්‍යය. ගනු ලබන ආහාර පාන ගැන ද වැඩි අවධානයක් යොමු කළ යුතුය. එසේම ව්‍යායාම කිරීම රෝග පාලනය පිළිබඳ හඳුනාගනු ලබන පරික්‍ෂණ සිදු කිරීම ආදිය වැදගත්ය. පවතින ආර්ථික අර්බුදය හමුවේ මේවා අඛණ්ඩව සිදුකරගෙන යෑම සඳහා නිවැරදි පියවර අනුගමනය කිරීම මගින් නිරෝගී සෞඛ්‍ය පවත්වාගත හැකිය. එසේ නොමැතිව රෝගී වුවහොත් දැනට මුහුණදී සිටින ආර්ථික අර්බුද හමුවේ අප තව තවත් ගැටලු රැසකට මුහුණ පානු ඇත.

● ඖෂධ ලබා ගැනීම

නිධන්ගත රෝග ඇති පුද්ගලයින්ට වෛද්‍ය නිර්දේශය අනුව එම රෝග පාලනය සඳහා දිනපතා ඖෂධ ලබා ගැනීමට සිදුවේ. මේ වන විට ඖෂධ වර්ගවල මිල ගණන් ඉහළ ගොස් තිබීම නිසා ඇතැම් දෙනා ඖෂධ ගැනීම සීමා කිරීමට යොමුව ඇත. එය නොකළ යුතුය. දැනට තමා ගනු ලබන ඖෂධ වර්ගයේ මිල ඉහළ ගොස් ඇත්නම් එම වර්ගයේම මිල අඩු ඖෂධ වර්ගයක් ලබා ගැනීමට තමා ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයා හමුවී නිර්දේශ කර ගත හැකිය. ඇතැම් ඖෂධවල මිල වෙළෙඳ නාමය අනුව වෙනස්වී ඇත. එනිසා ඖෂධීය නාමයෙන් ඇති වෙනත් ඖෂධයක් ඒ සඳහා භාවිතා කළ හැකිය. ඇතැම් රෝගීන්ට හිසකෙස් යෑම ආදිය වළක්වා ගැනීම සඳහා විටමින් වර්ග ලබාදීම වැනි අමතර ඖෂධ ලබාදේ. මේ මොහොතේ තාවකාලිකව එවැනි අමතර ඖෂධ ලබා ගැනීම සීමා කර රෝග පාලනය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ පමණක් ගැනීම කළ හැකිය.

රෝගය නිසි ලෙස පාලනය සිදුවනවානම් නිතර වෛද්‍යවරයා හමුවීම සීමා කළ හැකිය. වෛද්‍ය සායන සඳහා යොමුවීමද වෛද්‍ය උපදෙස් අනුව කාලසීමාව වෙනස් කර ගත හැකිය. වෛද්‍ය පරීක්‍ෂණ සිදුකර ගැනීමේදීද ඒ සඳහා ඇති උපරිම කාලසීමාව භාවිතා කළ හැකිය. එවිට ඒ සඳහා වැයවන මුදලද පාලනය කර ගත හැකිය. රසායනාගාර පරීක්‍ෂණවලද මිල ගණන් වෙනස්ය. එනිසා අඩු මිලකට උසස් පරීක්‍ෂණයක් සිදු කරගත හැකි රසායනාගාරයකින් එම පරීක්‍ෂණ සිදු කර ගැනීමට අවධානය යොමු කළ යුතුය.

● ආහාර පාලනය

සහල් එළවළු, මස් මාළුවල මිල ඉහළ ගොස් ඇති නිසා අප එම ආහාර ගැනීම අඩු කර ඇත. එහිදී බොහෝ දෙනා සිදු කරන්නේ එකම පෝෂණය සහිත ආහාර වර්ග කිහිපයක් එක් ආහාර වේලකට එක්කර ගැනීමය. විශේෂයෙන්ම බත් සමග මක්‍ද්fක්‍දාක්කා, අල වර්ග, දෙල්, කොස් ආදිය එක් කර ගැනීම සුලබව දැකිය හැකිය. මේවා අප බොහෝ විට එක්කරගන්නේ ව්‍යංජන ලෙසය. නමුත් මෙම ආහාර සියල්ලේම ඇත්තේ පිෂ්ඨයයි. එනිසා මෙවැනි ආහාර වේලකින් සිරුරට වැඩිපුර ලැබෙන්නේ පිෂ්ඨය පමණි.

එනිසා කළ යුත්තේ මෙම ආහාර ව්‍යංජන ලෙස භාවිතා නොකර එකක් පමණක් ආහාර වේලකට ප්‍රධාන ආහාරයක් ලෙස එක්කර ගැනීමය. බත් කෝප්පයක් ආහාරයට ගත්තේනම් ඒ වෙනුවට දෙල් හෝ මක්‍ද්fක්‍දාක්කා කෝප්පයක් ආහාරයට එක්කරගත හැකිය. එසේ නැතිනම් කොස් කෝප්ප දෙකක් පමණ එක්කර ගැනීම කළ හැකිය. ඊට කොළ පැහැති එළවළුවක් කලවම් කොළ මැල්ලුමක් ව්‍යංජනයක් ලෙස එක්කර ගත හැකිය.

මෙවැනි ආහාර වේලක් මගින් සිරුරට වැඩිපුර පිෂ්ඨය එක්වීම පාලනය කර ගත හැකිය. එසේම කොළ පැහැති එළවළු වර්ග වැඩිපුර භාවිතයට යොමුවීම මගින් සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණයද ලබාගත හැකිය.

● ව්‍යායාම කිරීම

ඖෂධ, ආහාර පාන මගින් සිරුර නිරෝගීව පවත්වා ගෙන යනු සමානව ව්‍යායාම මගින්ද නිරෝගී බව පාලනය කරගත යුතුය. මේ මොහොතේ ව්‍යායාම මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි නම් තම නිවසේ සිට ව්‍යායාමවල යෙදීම වත්තපිටිය සුද්ධ කිරීම, වගා කටයුතු කිරීම ආදිය මගින් එම පහසුකම ලබා ගත හැකිය.

නිතර සමාජ මාධ්‍ය ජාලා නරඹමින් පවතින අර්බුද ගැන අසමින් බලමින් ඒ ගැන සිහිපත් කිරීම මගින් මානසික පීඩනයද වැඩිවී විශාදය, මානසික ආතතිය ආදිය ඇතිවිය හැකිය. එම නිධන්ගත රෝග තව උත්සන්න කිරීමට හේතුවේ. එනිසා ඉන් ඈත්ව පරිසරය සමග ගැටෙමින් ඇවිදීම. වගාකිරීම ආදිය මගින් කායික සහ මානසික සුවය ලබා ගැනීමට යොමුවිය යුතුය.

සකස් කළේ
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment