මුදල් කොල්ලයට ඇල්ලූ වඳුරඹ ක‍්‍රයිම් ඕඅයිසී සහ පීසී රිමාන්ඩ්

559

වාහනයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද වඳුරඹ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා ලබන මස 03දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, අනෙක් සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටත් බද්දේගම මහෙස්ත‍්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මහතා ඊයේ (28) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක කෝට්ටහේවා සුමිත් ආනන්ද සහ කොස්තාපල් පි.ටී.අයි.එම්. සඳරුවන් (86267) යන දෙදෙනායි. ඇප මත මුදා හරිනු ලැබුවේ වල්පලගේ ධම්මික තුෂාර නමැති අයෙකි. පොලිස් නිලධාරීන් දෙදෙනා එදින හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. මෙම ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙයට පෙර මහරගම සේවය කරමින් සිටියදි වාහනයක් මිලදී ගැනීමට අවශ්‍යව සිටි පාදුක්ක වටරැුක ප‍්‍රදේශයේ පුද්ගලයකුට මීගොඩ ප‍්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු බව කියන පුද්ගලයකු හඳුන්වා දී ඇත. බ්‍රෝකර්වරයා පවසා ඇත්තේ කළුතර හොඳ වාහනයක් තිබෙන බවය.

ඒ අනුව එම පුද්ගලයා බ්‍රෝකර්වරයා ද සමග පසුගිය 11 වැනිදා සවස කළුතරට පැමිණි අවස්ථාවේ වාහනය ගාල්ලට ගෙන ගොස් ඇති බව පවසා ගාල්ලට පැමිණ ඇත. පසුව එම දෙදෙනා මෝටර් රථයෙන් වඳුරඹ දෙසට ගමන් කරමින් සිටියදී නිල ඇඳුමෙන්ම වඳුරඹ පොලිසියේ ත‍්‍රිරෝද රථයෙන් පැමිණි සැකකාර පොලිස් නිලධාරියා සහ කොස්තාපල්වරයා මෝටර් රථය නවතා ඇති අතර ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයා එයට ගොඩවී හොර සල්ලි තිබෙන බව පවසා රුපියල් ලක්ෂ දහය උදුරාගෙන දවස් පහකින් උත්තරයක් දෙන බව පවසා අතරමගට ගෙනැවිත් දමා පලාගොස් ඇත. එහෙත් පොලිස් පරීක්ෂකවරයා කතා නොකළ නිසා ඔහු 15 වැනිදා වඳුරඹ පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර වඳුරඹ පොලිසිය විසින් පැමිණිල්ල මීගොඩ පොලිසියට යොමුකර ඇත. පසුව මීගොඩ පොලිසිය විසින් නැවත එය වඳුරඹ පොලිසියට යොමුකර ඇත.

ඒ අනුව ගාල්ල පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා විසින් පරික්ෂණ පවත්වා ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකාර ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයා ද, එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයා ද අත්අඩංගුවට ගෙන ඇත.

අහංගම-සුගතපාල දීයගහගේ සහ හිනිදුම – රවීන්ද චන්දාලාල්

advertistmentadvertistment
advertistmentadvertistment