මුදල් කොල්ල කෑ හොරු අල්ලා ඒවා රටට නැවත ලබා ගන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

101

සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ දේශපාලනීකරණයට ලක් නොවූ වැඩපිළිවෙළක් හරහා ඉතාම ස්වාධීන පරීක්‍ෂණයක් මගින් අනිවාර්යෙන්ම මේ රටේ මුදල් කොල්ල කෑ හොරු අල්ලා එසේ හොරා කෑ මුදල් නැවතත් මේ රටට ලබා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජනබලවේගයේ මැදවච්චිය ආසන බල මණ්ඩලය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එම බල මණ්ඩල රැස්වීම අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මැදවච්චිය ආසන සංවිධායක රෝහණ බණ්ඩාර මහතා විසින් සංවිධානය කොට තිබිණි.

එහිදී වැඩිදුරටත් කතා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

මුදල් කොල්ල කෑ හොරු අල්ලා ඒවා රටට නැවත ලබා ගන්නවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දැන් සමහරු අහනවා විපක්ෂ නායකව සිටියදී මට මෙච්චර වැඩ කිරීමට සල්ලි කොහෙන්ද කියලා. ඒ මොන පිස්සු කථාවක්ද, මොන කුහක කතාවක්ද? පසුගිය දවසක මම දුටුවා පොහොට්ටුවේ අතකොළුවෙක් මාධ්‍ය හමුවක් තියල අහනවා සජිත්ට කොහෙන්ද සල්ලි කියල. මම ඒ අයට කරුණු දෙකක් කියන්න කැමැතියි. පාසල්වලට බස්රථ ලබාදීමට අපි කිසිම කෙනකුගෙන් අතට මුදල් ඉල්ලන්නේ නෑ. දානපතියා කෙළින්ම අදාළ බස්රථ නිෂ්පාදනය කරන ආයතනයට මුදල් දෙනව. එම ආයතනයේ තිබෙන බස්රථ අපි ගෙනැවිත් පාසල්වලට පරිත්‍යාග කරනවා. කොහෙන්ද සල්ලි.

දානපතියෝ විශ්වාස කර තිබෙනවා සජිත් ප්‍රේමදාස කියන්නෙ සියයට දහය, සියයට විස්ස සහ සියයට තිහ ගරන පගාකාරයෙක් නොවන බව. මම පගාව සහ කොමිස් ගහන්නෙ නැති නිසා මම රටේ මුදල් හොරා කන්නෙ නැති නිසා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන විට මට ඔවුන් උදව් කරනව. මා කෙරෙහි විශ්වාස කොට මිනිස්සු අපට බස් රථයක් දෙන්න කියල ඉල්ලනව. මොකක්ද ඒකෙන් කියන්නෙ. මහජන විශ්වාසය. මේ විශ්වාසය විපක්ෂයේ වෙනත් පක්ෂයකට තියෙනවද? ඇත්ත වශයෙන්ම නෑ.

අනික් අයගෙ තියෙන්නෙ කයිවාරුව. ශෝභනය. මහ බර වචන ටිකක් විතරයි. හැබැයි රටට අවශ්‍ය වැඩ. මේ රටේ නායකයෝ බිහිවෙලා තිබෙනවා පක්‍ෂ භේදයකින් තොරව. හැම නායකයකුටම ගරු කරනව හැබැයි මගේ ඉලක්කයක් තිබෙනවා. ඒ ඉලක්කය තමයි මේ රටේ බිහිවූ හැම නායකයකුම රටට කළ ඒ සංවර්ධන ක්‍රියාදාමයට වඩා වැඩි කාර්යභාරයක්. ඒ නායකයො කරපු හැම දේටම වඩා අතිවිශිෂ්ට සේවයක් කිරීම තමයි අපේ සිහිනය. අපේ වැඩපිළිවෙළ.

ආණ්ඩුව රාජපක්ෂ පවුල බේරා ගැනීමට හා ඒ පරපුර රැක ගැනිමටත්, රාජපක්ෂලා හොරා කෑ සල්ලි ටික එලෙසම ඔවුන්ට සින්නක්කර අයිතියෙන් තියා ගැනීමට ඉඩදීමටත් කටයුතු කරමින් සිටිනවා. අපේ ආණ්ඩුවක් තුළ අනිවාර්යයෙන්ම දේශපාලනීකරණයට ලක් නොවූ වැඩපිළිවෙළක් හරහා ඉතාම ස්වාධීන පරීක්‍ෂණයක් තුළින් හොරු අල්ලනවා පමණක් නොවෙයි මේ රටේ හොරා කාපු සල්ලි නැවතත් වරක් අපේ රටට ලබා ගන්නවා ගන්නවාමයි.

වර්තමාන ජනාධිපතිතුමාට කදිම අවස්ථාවක් තිබෙනවා. හොරු අල්ලපු ශානි අබේසේකර මහතා දැන් ඉන්නව කිසිම වගකීමක් නොමැතිව. ජනාධිපතිතුමාට දැන් හැකියාව තිබෙනව තමන්ව පත්කළ හොරු අල්ලන ශූරයා ශානි අබේසේකර මහතාව සම්බන්ධ කරගෙන මේ රටෙන් හොරා කාපු මේ රටේ මහා භාණ්ඩාගාරය හිස්කර මේ රට මංකොල්ල කෑ හොරු රැල ඇල්ලීමේ වගකීම ඔහුට භාරදීමට. ඇයි එහෙම නම් නොදෙන්නෙ.

එයට හේතුව මේ ආණ්ඩුවේ වගකීම රට ස්වයංපෝෂිත කිරීම හෝ රටේ ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කිරීම නොවෙයි. මේ රටේ ජනතාවට කන්න බොන්න ආහාර ටික ලබාදීම නොවෙයි. රැකියා ලබාදීම නොවෙයි. මේ ආණ්ඩුවේ වගකීම රාජපක්ෂ පරපුර සහ හොර රැල රැක ගැනීමයි. තමන්ව පත්කළ මන්ත්‍රීවරු එකසිය තිස්හතර දෙනාට ආරක්ෂකයන් ලබාදීමයි. වන්දි ලබාදීමයි. ආණ්ඩුවේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළින්ම තියෙන්නෙ ඒකයි.

අපි ආණ්ඩුවට කියන්නෙ මැතිවරණයක් තියන්න කියල. එම මැතිවරණයේදී අපි අනිවාර්යෙන්ම ජනහිතකාමී පොදුජන ආණ්ඩුවක් බිහි කරනවා කරනවාමයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment