මුදල් තැන්පත් කරන්න ගිය කෙසෙල් ගොවියා ළඟ හොර සල්ලි

222

තිස්සමහාරාම රාජ්‍ය බැංකු ශාඛාවේ තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් අනූ දහසක මුදලක් ගිණුම්ගත කිරීමේ දී එම මුදලෙහි ව්‍යාජ රුපියල් පන්දහසක මුදලක් තිබීම හේතුවෙන් එම මුදල බැංකුගත කිරීමට රැගෙන ගිය කෙසෙල් ගොවියකු තිස්සමහාරාම පොලිසිය විසින් (25 දින) අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ මුදල් නොට්ටුවක් ළඟ තබා ගැනීමේ චෝදනාවට පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහරාම, බෙරලිහෙල, කුඩා

ගම්මාන 05, අංක 376 යන ස්ථානයෙහි පදිංචි කෙසෙල් ගොවියෙකි.

පසුගිය 23 වන දින කෙසෙල් කැන් මිලදී ගැනීමට පැමිණි වෙළෙන්දෙකුට කෙසෙල් කැන් අලෙවිකර සැකකරු රුපියල් අනූ දහසක මුදලක් ලබාගෙන තිබේ. එම මුදල ලංකා බැංකුවේ තිස්සමහාරාම බැංකු ශාඛාවේ තැන්පත් කිරීමට රැගෙන ගොස් තිබේ. එහිදී එම මුදල් බැංකුගත කිරීමේ දී ව්‍යාජ මුදල් නොට්ටුවක් වූ රුපියල් පන් දහසේ මුදල් නොට්ටුවක් ප්‍රතික්ෂේප වී ඇත.

මේ පිළිබඳව බැංකු නිලධාරීන් විසින් තිස්සමහාරාම පොලිසිය දැණුවත් කර ඇති අතර, එහිදී පොලිසියේ නිලධාරීන් විසින් එම ගොවියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී තමන් කෙසෙල් විකුණා කෙසෙල් වෙළෙන්දාගෙන් ලබා ගත් මුදලෙහි මෙම හොර මුදල් නොට්ටුව තිබී ඇති බවට ඔහු ප්‍රකාශකර තිබේ.

තිස්සමහාරාම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබන අතර, අත්අඩංගුවට ගත් සැකකාර ගොවියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment