මුදල් නැතිව රෝහල්වල අපද්‍රව්‍ය ගොඩ ගැසෙයි – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

120

රෝහල්වල අපද්‍රව්‍ය ඉවත් කරන සමාගමට මුදල් ගෙවීම පැහැර හැරීම නිසා රෝහල් තුළ අපද්‍රව්‍ය ගොඩගැසීමෙන් දිලීර සහ බැක්ටීරියා ආසාදිත රෝග බෝවීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

2017 වර්ෂයේ පැවැති ඩීසල් මිලට සාපේක්‍ෂව රෝහල් තුළ රෝගීන්ගේ ආසාදිත අපද්‍රව්‍ය කිලෝවක් ඉවත් කිරීම වෙනුවෙන් රුපියල් සියයක මුදලක් ලබා දුන්න ද මේ වන විට ඉන්ධන, විදුලිය, ජලය ආදී සියලු යෙදවුම් මිල වැඩිවීම නිසා ඊට සාපේක්‍ෂව මිල වැඩිකර දෙන ලෙස එම සමාගම ඉල්ලා ඇත. එහෙත් එම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද එම සංගමය කියා සිටී.

මේ නිසා රෝහල්වල අපද්‍රව්‍ය, රෝහල් තුළම ගොඩගසා ගැනීම හැර වෙනත් විකල්පයක් සොයා ගැනීමට බලධාරීන් පියවර ගෙන නැතැයි ද එම සංගමය චෝදනා කරයි.

ආසාදිත අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා පරපෝෂිත ආසාදනය, පෙනහලු ආසාදනය, බැක්ටීරියා මෙනින්ජයිටීස්, එච්.අයි.වී., හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී, දිලීර සහ බැක්ටීරියා (රුධිර ප්‍රවාහයේ බැක්ටීරියා) වැනි රෝග ඇතිවීමේ බරපතළ අවදානමක් රෝහල්වල ගොඩනැඟෙමින් පවතින බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment