මුදල් පනත හරහා බිලියන එකසිය හතළිහක් උපයා ගැනීම රජයේ බලාපොරොත්තුවයි

130

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් පනත කළු සල්ලි සුදු කිරීම සඳහා ගෙන ආ දෙයක් නොව ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙනා පනතක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

මෙම පනත හරහා රුපියල් බිලියන එකසිය විස්සක් එකසිය හතළිහක් අතර මුදලක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ ශාන්ත බණ්ඩාර මහතා මෙසේද කීය.

කොරෝනා වසංගතය හමුවේ ආදායම් අඩුවීම නිසා රටේ ආර්ථිකය විශාල ලෙස පහත වැටුණා. එම තත්ත්වයන් තුළ රටේ ජනතාව ජීවත් කරවීමටත්, රාජ්‍ය සේවකයන්ට මෙන්ම විශ‍්‍රාමිකයන්ට වැටුප් ගෙවීමට රජයට සිදුවුණා. ඒ වගේම පීඩාවට පත් ජනතාවට සහන සැලසිය යුතුයි. ඒ සඳහා එන්නත් ගෙන ඒමටත්, ඔක්සිජන් ගෙන ඒමටත් රජයට විශාල මුදලක් වැය කරන්න සිදු වුණා. මෙම තත්ත්වය මත රටේ ආදායම විශාල ලෙස අඩු වුණා. ආර්ථිකයට එල්ල වූ බලපෑම නිසා මුදල් ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙම මුදල් පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා . මෙම පනත හරහා බලාපොරොත්තු වන්නේ මේ වනවිට හෙළිදරව් කර ගෙන නොමැති යම් යම් ස්ථානවල තිබෙන චංචල හා නිශ්චල දේපල හෙළිදරව් කර එහි වටිනාකමින් සියයට එකක බද්දක් රජයට ලබාගෙන ඉතිරි මුදල් ඔවුන්ට පරිභෝජනය කිරීමට පහසුව සලසා දීමයි.

විශේෂයෙන් මෙම පනත හරහා මුදල් විශෝධනය කිරීම වැළැක්වීමේ පනත ඇතුළු මුදල් සම්බන්ධ ඇති කිසිඳු පනතක් අහෝසි වන්නේ නැහැ. උදාහරණයක් ලෙස ගත්තොත් අද මැණික් ව්‍යාපාරිකයන් පිටරටදී මැණික් විකුණලා උපයා ගන්නා මුදල් මෙරට ගේන්න බැරි අය සිටිනවා. ඒ වගේම තේ අපනයන කරන අය ලැබෙන මුදල් නොයෙක් බාධක නිසා මේ රටට ගෙන ඒමට නොහැකි වී සිටිනවා. එම නිසා ඔවුන් එම මුදල් එම රටවල විවිධ ආයෝජනයන්ට මෙන්ම මෙරට බැංකුවල තැන්පත් කිරීමට පෙලඹී සිටිනවා. මෙම පනත හරහා එම මුදල් මෙරටට ගෙන ඒමට ඉඩ ඉඩකඩ සලසා දී තිබෙනවා.

මෙම පනත පළවෙනි වතාවට ගෙන ආපු දෙයක් නොවෙයි. පැවැති හැම ආණ්ඩුවක්ම ආර්ථිකය කඩාවැටීමට යන අවස්ථාවලදී එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙවැනි පනත් පනත් ගෙනවිත් තිබෙනවා. ඒ අනුව 13 වැනි වතාවට තමයි මෙම මුදල් පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ. විශේෂයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මුදල් ඇමතිවරයාට තිබෙන බලතල අනුව සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව මෙම පනත ගෙනත් තිබෙන්නේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment