මුදල් ලබාගැනීමට අතරමැදියාගේ බිරිඳ හා දරුවන් සිරකළ පොලිස් සැරයන් ඇතුළු දෙදෙනා අත්අඩංගුවට

311

විදෙස් රැකියා මවා රු. ලක්‍ෂ හැත්තෑවකට විදලා

විදෙස් රටවල රැකියා සඳහා යවන බව පවසා ලක්ෂ 70 ක පමණ මුදලක් ලබාගෙන මගහැර සිටි පුද්ගලයකුගේ බිරිඳ සහ 7 සහ සිව් හැවිරිදි ඇයගේ කුඩා දරු දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටි පොලිසියේ සැරයන්වරයකු සහ ඔහුගේ බිරිඳ ඊයේ (18 දා) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න පොලිසියේ සැරයන්වරයකු සහ ඔහුගේ බිරිඳ බව පොලිසිය කීය.

සැකකාර සැරයන්වරයාගේ බිරිඳ මතුගම සහ ඒ අවට ප්‍රදේශයේ තිස් පස් දෙනෙකුගෙන් විදේශ රැකියා සඳහා යවන බවට පොරොන්දුවී රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ 70 ක් පමණ එකතුකර නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදී තිබේ. මුදල් ලබාගත් පුද්ගලයා ඔවුන් මගහැර සිට ඇති බැවින් , සැරයන්වරයා ඉකුත් 4 දා ඔහු පැහැරගෙන විත් මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේ නිවසක සිරකර ගෙන සිට ඇතැයි පොලිසිය කීය. මුදල් ලබාදීම සඳහා තමා මුදවා හරින ලෙස අතරමැදියා ඉල්ලා සිට ඇති අතර, ඒ වෙනුවට ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා මතුගම ප්‍රදේශයට ගෙන්වාගෙන සිරකර ගෙන අතරමැදියා මුදාහැර ඇති බවද පොලිසිය කීය.

දරු දෙදෙනා සහ මව දින 6 ක් කටුගහහේන ප්‍රදේශයේ නිවස සිර කරගෙන සිටියදී මෙසේ සොයාගෙන සැකකාර සැරයන්වරයා සහ බිරිඳ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය. මව සහ දරු දෙදෙනා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශයකයකු පැවසීය. සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී ජගත් විජේසුන්දර සහ දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක නුවන් කෝරළගේ, සැරයන්වරුන්වන නිහාල් (13723), සුසිල් (45783, ඉන්දික (60015), කොස්තාපල්වරුන් වන ප්‍රියන්ත (79431), කුමාර (100360), කාන්තා දිව්‍යාංජලී (11281) සහ පො.කො.රි. තිලකරත්න (80621) වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම සහ කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment