මුදල් වංචා චෝදනාවලට සතියකට ලංගම කොන්දොස්තරලා 30 ක් ‘ඉන්ටඩික්’ – ලංගම සභාපති

174

ඇතැම් බස් මගීන්ට ටිකට් පත් ලබා නොදී ගමන් ගාස්තුව ලබාගෙන වංචා කිරීමේ චෝදනා හේතුවෙන් සතියකට ශ්‍රී ලංගම කොන්දොස්තරවරුන් 30 දෙනකු පමණ වැඩ තහනමට ලක්වන බව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා “දිවයින” ට ඊයේ (31 වැනිදා) පැවසීය.

බොහෝ විට රුපියල් 30, 50 දුරට ගමන් කරන මගීන්ට සමහර කොන්දොස්තරවරුන් ටිකට් නිකුත් නොකරන බව මෙහිදී හෙළිවී ඇතැයි ද සභාපතිවරයා කීය.

අහඹු ලෙස බස් රථවල ජංගම පරීක්‍ෂණ සිදු කරන අවස්ථාවලදී ඇතැම් ලංගම ඩිපෝවල දෛනික ආදායම රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ තුන දක්වා ප්‍රමාණයකින් ඉහළ වන බවද හෙතෙම කියා සිටියේය.

දිවයින පුරා ලංගම ඩිපෝ 107ක් ඇති බවත්, මෙම වංචාව වැඩිපුරම සිදුවනුයේ බස්නාහිර, දකුණ හා වයඹ පළාත්වල ඩිපෝවල සේවය කරන ඇතැම් සේවකයන් අතින් බවත් හෙතෙම කීය.

ලංගම බස්රථවලට ගොඩවී ගමනට අදාළ මුදල ලබාදුන් පසු කොන්දොස්තර මහතාගෙන් අනිවාර්යයෙන්ම ටිකට් පත ඉල්ලා ගන්නා ලෙස ඉල්ලා සිටි සභාපතිවරයා ටිකට් නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment