මුදල් හා රන් ආභරණ සොරකමේ ගිය මෙහෙණි වෙස්ගත් කත අත්අඩංගුවට

447

මෙහෙණින් වහන්සේ නමක් ලෙසට සිවුරු පොරවා ගෙන මෙහෙණින් වහන්සේලා හා කාන්තාවන් මුලා කරමින් ඔවුන් සතු මුදල්, ජංගම දුරකථන, රන් ආභරණ හා සිවුරු සොරකම් කිරීමේ යෙදුන කාන්තාවක් බියගම පොලිසිය මගින් පෙරේදා (20දා* පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව බියගම, රග්ගහවත්ත ප‍්‍රදේශයේ නේවාසිකාගාරයක සැගවී සිටියදී මෙසේ අත් අඩංගුවට
 ගැනිණි.

එම කාන්තාව අත් අඩංගුවට ගන්නා විට ඇය ගවුමකින් සැරසී සිටි අතර එහි තිබි සිවුරක්, අඳන කඩයක් හා මෙහෙණින් වහන්සේලා භාවිතා කරන උර හිසට දමන ගමන් මල්ලක් ද හමු වීඇත. තවද එම කාන්තාව විසින් මෙහෙණින් වහන්සේලාගෙන් හා කාන්තාවන්ගෙන් සොරකම් කළ රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් වටිනා ජංගම දුරකථන හයක් හා රන් ආභරණ ද සොයා ගන්නා ලදී. එම ජංගම දුරකථන උගස් කර හා රන් ආභරණ විකුණා තිබූ අතර ඒවායේ රිසිට් පත් ඇය ළඟ තිබිණි. එම කාන්තාවට එරෙහිව ජාඇල, කතරගම හා පන්විල ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ලැබී තිබේ.

එහි පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ඒ ජේ එම් ආර් සමරසිංහ මහතාට මෙම කාන්තාව ගැන ලද තොරතුරු මත විමසිල්ලෙන් සිට මාස හයක පමණ කාලයකට පසුව ඇය අත් අඩංගුවට ගැනීමට හැකි විය.

එම කාන්තාව මෙහෙණින් වහන්සේ නමක් ලෙසට දිවයිනේ විවිධ ප‍්‍රදේශවල මෙහෙණින් වහන්සේලා වැඩ වසන විහාරස්ථාන හා ආරාමවලට ගොස් එම සිද්ධස්ථානවල තමන් කලක් නවාතැන් ගෙන සිටි බවට පවසමින් ඒවායේ නවාතැන් ගෙන එම මෙහෙණින් වහන්සේලා හා ඒවාට පැමිණෙන කාන්තාවන් මුලා කොට ඔවුන් සතු මුදල්, ජංගම දුරකථන, රන් ආභරණ හා සිවුරු සොරකම් කර හොර රහසේම පළා යන බවට හෙළිවිය. තවද එම කාන්තාව පන්විල ප‍්‍රදේශයේ ආරාමයක නවාතැන් ගෙන සිටින විට එහි සිටි මෙහෙණින් වහන්සේට තේවලට නිදි පෙති දිය කර දී උන්වහන්සේට නින්ද ගියාට පසුව උන්වහන්සේගේ ජංගම දුරකථනය, මුදල් හා සිවුරු සොරකම් කර ගෙන පළා ගොස් ඇත.

එම කාන්තාව යබරලූ‍ව ප‍්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි විවාහක කාන්තාවක් වන අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ඒ ජේ එම් ආර් සමරසිංහ, උප පොලිස් පරීක්ෂක ඞී.එම්.එස්.සී කුමාර හා කාන්තා පොකො. චමරි ( 2965 * යන නිලධාරීහු විසින් මෙ වැටලීම සිදු කළහ.

දෙල්ගොඩ ඩබ්ලිව්.ඞී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment