මුදලාලිලාගේ ඒකාධිකාරියට ඉඩ දීලා බෑ – වී අලෙවි මණ්ඩලය අනිවාර්යයෙන් වී මිලට ගත යුතුයි – එස්. එම්. චන්ද්‍රසේන

81

ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු එකතුව වී සහ සහල් ඒකාධිකාරියක් පවත්වාගෙන යන බැවින් වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් අනිවාර්යයෙන් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (09දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් මෙසේද පැවසීය.

“අපේ රටේ ගොවි ජනතාව, වර්ෂාව පැමිණියත්, නියඟයක් පැමිණියත් පීඩාවට පත්වෙනවා. පහුගිය මාස්කන්නයේ විශාල වර්ෂාවක් රටපුරා ඇති වුණා. ගංවතුර තත්ත්වයක් ඇති වුණා. අපේ කෙත්බිම් විශාල ප්‍රමාණයක් විනාශයට පත්වුණා. ඒ වගේම මේ මාස්කන්නයේ වර්ෂාව හොඳ නිසා අනතුරට ලක්වෙලා නැති වගාවන්වල අස්වැන්න දැන් ලැබෙමින් පවතිනවා. අද වන කොට වී කිලෝ එකක් ඉතාම අඩු මිලකට දෙන්න සිදුවෙලා තිබෙනවා ගොවි ජනතාවට. මේ ගැන ඉතාම කනගාටුවට පත්වෙනවා. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගොවි සම්මේලනයේ සමස්ත ලංකා සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. ඒ නිසා වගකීමක්, යුතුකමක් රජයටත්, අදාළ අංශවලටත් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම. අපි දන්නවා එදාට වඩා අද පොහොර මිල වැඩියි. ඒ වගේම කම්කරු කුලිය වැඩියි. භාවිතා කරන යන්ත්‍රෝපකරණවල මිල වැඩියි. ඒ නිසා වී කිලෝ එකක් 150ටවත් ලබාදෙන්න පුළුවන් වෙන්න ඕනෑ ගොවි ජනතාවට යම්කිසි අස්වැසිල්ලක් ලබන්න. නමුත් අද ඒ තත්ත්වය නැතිව පහළ මිලකට වී මිල බැහැලා තිබෙනවා. අපි දන්නවා අපේ රටේ සිටින ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් තමයි මේ වී ඒකාධිකාරිය, සහල් ඒකාධිකාරිය පවත්වාගෙන යන්නේ. මේ පිරිසට හොරා කන්න ඉඩදීලා රජය හැටියට පැත්තකට වෙලා සිටීම වැරදියි. ඒ නිසා අපේ රටේ තිබෙන වී ගබඩා පාවිච්චි කරලා ගොවියා රැකගන්න මේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලයෙන් අනිවාර්යයෙන්ම කළ යුතුයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment