මුදලිගේ නිදහස් කිරීමේ නියෝගයේ දෝෂ නිසා අභියාචනයක් ඉදිරිපත් කළා – නීතිපති උසාවියට දන්වයි

117

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය ජනවාරි 31 වැනිදා ලබාදෙන ලද නියෝගයට එරෙහිව තම දෙපාර්තමේන්තුව මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළේ එම සැකකරු නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් නොව උගත් මහෙස්ත්‍රාත්වරයා එදින ලබාදුන් නියෝගයේ පැවති නෛතික දෝෂ කිහිපයක් නිවැරදි කරවා ගැනීමේ අරමුණින් බව නීතිපතිවරයා ඊයේ (03 දා) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාට දැනුම් දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් විමර්ශන සිදුකරන යම් සැකකරුවකු නීතිපති උපදෙස් නොමැතිව ඇප මත මුදාහැරීමට හෝ මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතත්, එම නඩුවෙන් සැකකරු නිදහස් කිරීම උගත් මහෙස්ත්‍රාත්වරයා එදින ලබාදුන් නියෝගයේ ප්‍රධාන නෛතික දෝෂයක් බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ලිඛිත දේශන ලබන ජුනි 01 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට නියෝග කළ විනිසුරු සුජීව නිශ්ශංක මහතා එම අභියාචනාව එදින යළි කැඳවීමට නියෝග කළේය.

නීතිඥ දිනුෂා තිරනාදන් සමග නීතිඥ රිවිහාර පින්නදුව මහතා වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment