මුදලිගේ යළි රිමාන්ඩ්

178

අරගලයට දහස් ගණනක් ආවත් සැකකරු ගැන පමණක් විමර්ශන කිරීම සුදුසුද? – මහෙස්ත්‍රාත් අසයි
සාමකාමී අරගලයට ප්‍රචණ්ඩත්වය මුසුකළේ පෙරටුගාමීන් සහ අන්තරේ
මෝටිවේෂන් අප්පච්චි ප්‍රකාශ දී තිබෙනවා – නි.සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්
තමන් අකැමැති පුද්ගලයන් රජය දිගටම රිමාන්ඩ් කරන්න හදනවා – ජනාධිපති නීතීඥ සාලිය පීරිස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (13දා) නියෝග කළාය.

අරගලයට දහස් ගණනක පිරිසක් සහභාගිවී තිබියදී එක් පුද්ගලයෙකු වන සැකකරු කොටුකර විවිධ ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩකාරි ක්‍රියා අරඹයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කිරීම සුදුසු දැයි පැමිණිල්ලෙන් විමසා සිටි අතිරේක මහෙස්ත්‍රාත්වරිය ඔහුට එරෙහිව සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අවවාද කරමින් එම රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය නිකුත් කළාය.

අරගලය හොඳ දෙයක් ලෙසට සමාජයේ පිළිගැනීමක් ඇතත් රජයේ දේපළවලට අලාභහානි කරමින් මුදාහළ ප්‍රචණ්ඩත්වය කිසිවකු පිළිනොගන්නා බවත් එබැවින් අරගලය හා ප්‍රචණ්ඩත්වය කිසිවකු පිළිනොගන්නා බවත් එබැවින් අරගලය හා ප්‍රචණ්ඩත්වය එකට පටලවා නොගත යුතු බවත් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වාදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සැකකාර වසන්ත මුදලිගේ අරගල ක්‍රියාවලියට ප්‍රචණ්ඩත්වය ආරෝපණය කිරීමට උත්සාහ දරා ඇති බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි මේ වනවිටත් අනාවරණය වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

අරගලය හා විරෝධතා පැවැත්වෙන ස්ථානවලට ජනතාව රැගෙන යෑම සඳහා බස් රථ ලබාදෙන ලෙසත් විදේශ රටවල විවිධ සංවිධානවලින් ලැබෙන මුදලින් ඒ සඳහා කළ යුතු ගෙවීම් සිදු කරන බවත් පවසමින් වසන්ත මුදලිගේ තමන්ගෙන් බස් රථ ඉල්ලා සිටි බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශයක් ලබාදී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.

රටේ ජනතාවට බලපාන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා දියත් කළ අරගලයේදී ඉදිරියේදී ඕනෑම දෙයකට තමන් සූදානම් බවට එම සැකකරු පෙර දින අධිකරණයෙන් නික්ම යනවිට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවත් ඔහු අධිකරණය හමුවට රැගෙන පැමිණි මොහොතේ සිට ආපසු රැගෙන යනතුරුම විරෝධතා පුවරු තබාගෙන අධිකරණයට කළ බලපෑමක් නොවන්නේ දැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමසීය.

පසුගිය සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදුවූ විරෝධතා රැසක් හා පසුගිය ජුලි 9 වැනිදා අරලියගහ මන්දිරය හා ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීම ඇතුළු සිද්ධි මාලාවක් පැමිණිල්ල ඉදිරිපත් කර ඇතත් සැකකරු එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට නිශ්චිතව කරුණු ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරීන් අපොහොසත්වී ඇති බව පැවසූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කුමන වගන්ති යටතේ ගැනෙන වැරදි සිදුකර ඇත්තේද යන්නෙන් පැමිණිල්ල සඳහන් කර ඇතැයිද පැවසීය.

මෙයට මාස කිහිපයකට පෙර ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව හා රටපුරා පැවැති ජන අරගල විරෝධතා අනුමත කරමින් මේ වනවිට රටේ ඉහළම තනතුරු දරන අය සහ විවිධ දේශපාලනඥයන් ප්‍රකාශ නිකුත් කර ඇති බැවින් ඒ අයගෙනුත් ප්‍රකාශ සටහන් කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිමය පියවර ගත යුතු නොවේ දැයි ජනාධිපති නීතිඥවරයා විමසීය.

ත්‍රස්ත විමර්ශන පනත ඇමුණු පමණින් ඉදිරිපත් කරනා ඕනෑම අයකු රක්‍ෂිත බන්ධනාගාර ගත යුතු යැයි සිතනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් උත්සාහ කරනුයේ එමගින් අධිකරණ බලය අවභාවිත කිරීමකට වන බැවින් විමර්ශන නිලධාරීන්ගේ එම උත්සාහයට ඉඩනොදී අධිකරණය සතු බලතල භාවිතා කර සැකකරු මුදාහරින ලෙසද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අරගලයට සම්බන්ධවූ සමහර පුද්ගලයන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ තනතුරු ලබාදී ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා රජය මේ උත්සාහ දරනුයේ තමන් අකමැති පුද්ගලයන් දිගින් දිගටම රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමේ ක්‍රියාවලියට යැයිද අධිකරණයට පෙන්වා දුන්නේය. තමන් ඇතුළු පිරිසක් ඉතාමත් සාමකාමීව පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට එක්වු සැකකරු ප්‍රමුඛ අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලය හා පෙරටුගාමී පක්‍ෂය අරගලය තමන් ඇතුළු පිරිසගෙන් පැහැරගෙන ඉතාමත් අන්තවාදී ලෙස හා ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කළ බවට අරගලය ක්‍රියාකාරියකු ලෙස කටයුතු කළ “මෝටිවේෂන් අප්පච්චි” නමැත්තා ප්‍රකාශ ලබාදී ඇතැයිද අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහාත සැකකරු වෙනුවෙන් සිදුකළ නීති විරෝධී ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනා ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රජයේ අධිනීතිඥ ශවින්ද්‍ර වික්‍රම, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජයනී වෑගොඩපොල මහත්මිය ඇතුළු රජයේ නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර පොලිස් අධිකාරි රත්නායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජනය කළහ.

නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ තනුක නන්දසිරි ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment