මුදලිගේ සිරකරන්න පොලිසිය ත්‍රස්ත පනත අයුතු ලෙස යොදාගෙන

201

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි

නිදහස් වෙද්දී තවත් නඩු 3කට ඇතුළට
මෝටිවේෂන් අප්පච්චි හා ගැමුණුගේ ප්‍රකාශ මත විමර්ශන කරලා
නිහඬ විරෝධතාව වළක්වන්න පොලිසිය කළ ඉල්ලීම අහකට
යළි ඇතුළට දැමූ නඩු 3 ට අද ඇප ඉල්ලයි
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සාක්‍ෂි නිර්මාණය කරලා

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ගොනු කර තිබූ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (31දා) නියෝග කළේය.

එම සැකකරු හෝ ඔහු නායකත්වය දුන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන කිසිදු වරදක් සිදුකළ බවට හෝ ඒ සඳහා නායකත්වය දුන් බවට කිසිදු සාක්‍ෂියක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් තම අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන වාර්තා හා සාක්‍ෂි සම්පිණ්ඩන අනුව අනාවරණය වී නොමැති බවට නිගමනය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

මුදලිගේ සිරකරන්න පොලිසිය ත්‍රස්ත පනත අයුතු ලෙස යොදාගෙන

සැකකාර වසන්ත මුදලිගේ මාස ගණනාවක් රඳවාගෙන ප්‍රශ්න කළත් එවැනි චෝදනාවක් සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂියක් අනාවරණය වී නැතත් ඔහු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් විමර්ශන නිලධාරීන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස යොදාගෙන ඇති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

ගැමැණු විජේරත්න නමැත්තා හා මෝටිවේෂන් අප්පච්චි නමැති මුලින් අරගලයට සම්බන්ධ වී සිටි පුද්ගලයකු ලබාදුන් සාක්‍ෂි පදනම් කරගෙන සැකකාර වසන්ත මුදලිගේට එකී අරගලය සඳහා දේශීය හා විදේශීය සංවිධානවලින් අතිවිශාල මුදලක් ලැබුණ බව ඒත්තු ගැන්වීමට විමර්ශන නිලධාරීන් වෑයම් දරා ඇතත් ඒ බව සනාථ කළ හැකි සාක්‍ෂි තම අධිකරණයට ඉදිරිපත් කොට නොමැති බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය.

පසුගිය මාස කිහිපය තුළ පැවති අරගල හා උද්ඝෝණවලදී සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු, පොලිස් ස්ථානාධිපතිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ රාජකාරිවලට බාධාකර පීඩා හා බලපෑම් කළ බවට සාක්‍ෂි කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් තම අධිකරණයට ඉදිරිපත් කර ඇතත් එකී සිද්ධීන් සම්බන්ධයෙන් කොටුව හා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණවලට කරුණු වාර්තා නොකිරීම අනුවම එකී සාක්‍ෂි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නිර්මාණය කළ ඒවා බවට පැහැදිලි වන්නේ යැයි ද එම නියෝගය මගින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පොලිස් නිලධාරීන්ගේ සාක්‍ෂි පරස්පර බව තම අධිකරණය නිරීක්‍ෂණය කළ බවද ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සිය නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

විමර්ශන නිලධාරීන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදනවලට පටහැනි ආකාරයෙන් සිය අධිකරණයට තොරතුරු වාර්තා හා බී වාර්තා මගින් කරුණු දක්වා ඇති බව පෙනී යන බවද සිය නියෝගය මගින් පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එල්. ටී. ටී. ඊ. වැනි ත්‍රස්තවාදී සංවිධානවල ත්‍රස්තවාදීන් සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුව විසින් හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රටේ සාමාන්‍ය නීතිය යටතේ විමර්ශනය කළහැකි කරුණුවලදී සාධාරණ හේතුවක් නොමැතිව යොදාගැනීම උචිත නොවන බවද පෙන්වා දුන්නේය.

එකී සැකකරු ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සාමාජිකයන් හා ක්‍රියාකාරීන් පැමිණිල්ල විසින් පෙන්වා දී ඇති විරෝධතාවලදී රජයේ දේපළවලට හානි සිදුකළ බවට හෝ අනර්ථකාරී ලෙස හැසිරුණු බවට සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බවට ද සිය නියෝගයෙන් නිගමනය කොට තිබිණි.

අධිකරණයේ නියෝගය පරිදි භාෂණ පරිවර්තකවරිය විසින් එම නියෝගය පුරා පැයකට ආසන්න කාලයක් වැය කරමින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය ඇමතූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන දින 89ක් රැඳවුම් භාරයේ තබාගෙන පසුව ඇප මත මුදාහළ එම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ගල්වැව සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් ද එම නියෝගය යොදාගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව පැමිණිල්ල මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය. ලබන මැයි 18 වැනිදා එම නඩුව යළි කැඳවීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරය නියෝග කළේය.

වසන්ත මුදලිගේ මෙම නඩුවෙන් නිදහස් කළ ද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අරගලයට අදාළ වෙනත් නඩු කටයුතු තුනකට අදාළව ඔහුට ඇප ලබාදීමක් මෙතෙක් සිදුකර නොමැති නිසා බන්ධනාගාර නිලධාරීහු යළි ඔහුව බන්ධනාගාරයට රැගෙන ගියහ. එම නඩු තුන මෝසම් පත්‍ර ඉදිරිපත් කොට අද (01දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා ඇප ලබාගැනීමට පියවර ගන්නා බව සැකකරුගේ නීතිඥවරු පැවසූහ.

වසන්ත මුදලිගේ ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ඒමට පෙර සිටම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැස්වූ පිරිසක් පදික වේදිකාවේ සිට පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත වූහ. එකී විරෝධතාව මහජනතාවට අවහිරයක් වන බැවින්, එය වළක්වන නියෝගයක් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. මහජනතාවට පීඩාවක් වන්නේ නම් පොලිසිය සතු බලතල අනුව කටයුතු කරනු මිස තම අධිකරණයෙන් ඒ සඳහා නියෝග ලබා ගැනීමක් අවශ්‍ය නොවන බව එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

නීතිඥ මනෝජ් නානායක්කාර, අමිල එගොඩවත්ත, ගුණරත්න වන්නිනායක, රවිහාර පින්නදූව, නුවන් බෝපගේ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.

රජයේ අධිනීතිඥ ශමින්ද්‍ර වික්‍රම, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment